අහ­ම්බ­ය­කින් ජන­ප්‍රිය තරු­වක් වුණු වේට­ර්ව­රයා : රෝසි ඛාන් | සිළුමිණ

අහ­ම්බ­ය­කින් ජන­ප්‍රිය තරු­වක් වුණු වේට­ර්ව­රයා : රෝසි ඛාන්

ගේම් ඔෆ් ත්‍රෝන් (GAME OF THRONE) කතා මාලාව මෙලොව නිර්මාණය වූ හොඳම රූපවාහිනී කතා මාලාව ලෙසින් හඳුන්වනු ලබනවා. ජෝර්ජ් R. R. මාටින්ගේ A Song of Ice and Fire කෘතිය ඇසුරෙන් HBO ආයතනය නිර්මාණය කළ මේ ටෙලි කතා මාලාවේ පළමු කථාංගය 2011 වසරේ අප්‍රේල් මස 11 වැනි දින විකාශය වී තිබෙන අතර වසර 9ක් පුරා කථාංග 71ක් ප්‍රේක්ෂකයන් වෙත ලබාදීමෙන් පසුව පසුගිය සතියේදී නිමාවට පත්විය. රජ පවුල් කිහිපයක් සිහසුන ලබාගැනීමට තරග කරන අයුරු මේ කතා මාලාවෙන් දිස් වූ අතර එහි එක් ප්‍රබල රජ පවුලක් වූ ලැනිස්ටර් පවුලේ සාමාජිකයකු වූ ටිරියන් ලැනිස්ටර් (Tyrion Lannister) යන චරිතයට සියලු දෙනාගේම ආදරය හිමි වූයේ ඔහුගේ බුද්ධිය හා උපායශීලීබව නිසායි. අස්වාභාවික ලෙසින් මිටි පුද්ගලයකු වන මේ චරිතයට පණ පොවන ලද්දේ 49 හැවිරිදි ඇමෙරිකානු ජාතික නළුවකු වන පීටර් ඩින්ක්ලේජ් (Peter Dinklage) විසිනි.

මේ අතර පාකිස්තානයේ කුඩා ආපන ශාලාවක වේටර්වරයකු ලෙසින් රෝසි ඛාන් සේවය කරන්නේ වසර ගණනාවක සිටයි. ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාව හෝ ටිරියන් ලැනිස්ටර් චරිතය පිළිබඳව කිසින් නොදැන සිටි ඔහු සාමාන්‍ය ලෙසින් තම ජීවිතය ගෙන ගොස් තිබේ. ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාව ක්‍රම ක්‍රමයෙන් ලොව පුරාම ජනප්‍රියත්වයට පත්වෙමින් පැතිරීමෙන් අනතුරුව මෙම කතා මාලාව නැරඹූ මෙම ආපනශාලාවේ හිමිකරුගේ පුත්‍රයා විසින් රෝසි කාන් හා ටිරියන් ලැනිස්ටර් පෙනුමෙන් සමාන බව නිරීක්ෂණය කර තිබේ. ඔහු රෝසි ඛාන්ගේ ඡායාරූපයක් සමාජ ජාල වෙබ් අඩවියක් වෙත නිකුත් කර තිබෙන්නේ ඉන් පසුවයි. මෙම ඡායාරූපය නිකුත්වීමත් සමඟ පාකිස්තාන තරුණයන් අතර රෝසි ඛාන් තරුවක් වී තිබේ. එක් වරම තමන් සමඟ ඡායාරූප ගැනීමට මිනිසුන් පැමිණෙන්නේ ඇයිදැයි ඔහු දැන සිටියේ නැත. එක්වරම හිමිවූ ජනප්‍රියත්වය නිසා ඔහු අපහසුතාවට පත් වූවත් දැන් නම් ඒ සඳහා ඔහුගේ අකැමැත්තක් නැත. මුහුණුවර පමණක් නොව මොවුන් දෙදෙනාගෙ ශරීර උසත් එක සමාන (සෙන්ටි මීටර 135, අඩි 4 අඟල් 5ක්) වීම නිසා මොහුව දැන් බොහෝදෙනා හඳුන්වන්නේ පාකිස්තානයේ ‘ටිරියන් ලැනිස්ටර්‘ ලෙසිනි. මේ අතර රෝසි ඛාන් බැහැදැකීමට හා ඔහු සමඟ ඡායාරූප ගැනීමට ඔහු සේවය කරනා ආපන ශාලාවට ඔහුගේ රසිකයන් පැමිණෙනවා. මේ නිසා එම කුඩා ආපන ශාලාවද දිනෙන් දින ජනප්‍රිය වන අතර ආදායමද ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස අහම්බයකින් ලැබුණු ජනප්‍රියත්වයත් සමඟ රෝසිට සැබෑ ලෙසම රංගනයේ යෙදෙන්නට අවස්ථාවක් උදාවනවා. 26 හැවිරිදි රෝසි ඛාන් තම රංගන ජීවිතය ආරම්භ කරන්නේ මීට සති කිහිපයකට පෙර පාකිස්තානයේ එක්තරා ආයතනයක වෙළෙඳ දැන්වීමකට සහභාගී වීමට අවස්ථාව උදා කර ගනිමිනි. තමාට ලැබුණු ප්‍රසිද්ධියත් සමඟ රෝසි කාන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් නැරඹීමට පටන්ගෙන තිබෙන අතර දැන් මොහු සිනමා තරුවක් වීමට සිහින දකිමින් සිටියි. මීට අමතරව යම් දිනක සැබෑ ටිරියන් ලැනිස්ටර් එනම් පීටර් ඩින්ක්ලේජ් හමුවීමට රෝසි කාන් විසින් දැඩිව අදිටන් කරගෙන සිටියි. 

Comments