ආදරණීය ආනා, ඔබට නිවන් සුව! | Page 3 | සිළුමිණ

ආදරණීය ආනා, ඔබට නිවන් සුව!

ඒ එක්දහස් නවසිය අනූඅට වසරයි. සවස ජනතා පුවත්පතේ සේවය කළ අප පුවත්පත් කලාවට ආධුනිකයෝ වීමු. එකල ජනතා පුවත් පතේ නිදහස් මාධ්‍යවේදීන් ලෙස ආශිර්වාදිනි හෙට්ටිආරච්චි, සිරිංජනී කුමාරි සහ මම සේවය කළෙමු. පුවත්පතේ වෙනත් ලිපි ලිවීම හැරුණු විට උසාවියේ, පොලිසියේ, ප්‍රවෘත්ති වාර්තා කිරීමද අපට පැවරුණ රාජකාරි විය. එවකට ජනතාවේ ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළේ පාලිත ධර්මරත්න මහතාය. එකල නිතර ඔහු හමු වීමට අමුතුම ආකාරයට සිංහල උච්චාරණය කරන ගැඹුරු හඬක් ඇති ගාම්භීර මහත්මයකු පැමිණෙයි. ඔහු පාලිත මහතාගෙන් හොඳ හොඳ ප්‍රවෘත්ති තෝරාගෙන යයි. ඔහු කවුද කරන්නේ කුමක්ද යන්න එවකට නොදත්තෙමි. ඔහු කවුදැයි හඳුනාගන්නට ලැබුණේ අහම්බෙනි.

දිනෙක මේ මහතා මට කතා කොට පුවත්පතක් අත තැබුවේය.“ඔයාගේ නිව්ස් එක තමයි අද අපේ ලීඩ් එක.” ඒ මහතා පැවැසුවේ ළෙන්ගතු සිනහවක් පාමිනි. එය ඊවිනින් ඔබ්සවර් පුවත්පතකි.

ඉන්පසු කිහිප වරක්ම මා ලියු ප්‍රවෘත්ති මෙන්ම ඡායාරූපද සවස ඉංග්‍රිසි පුවත්පතේ පළ විණි. ඒ පළ වූ හැම විටෙක ඒ මහතා අප සොයා විත් පුවත් පතක් ද ගෙනවිත් දුන්නේය. ඒ මහතා වෙන කිසිවෙකු නොව එස්. ආනන්ද කුමාර් මහතාය. එදත් අදත් අප ආදරයෙන් අමතන ඔහු ආනා ය. ලේක්හවුසියේ කොයි කාගෙත් හොඳ හිත දිනු ‘ආනා‘ කාගේ වුවද ඉල්ලීමකට සවන් දෙන්නේය. ඒ ඉල්ලීම ඉටුකරන්නේය. එමෙන්ම පුවත් පතේ ප්‍රවෘත්තිය පළ වූ විට පුවත් පතද ගෙනැවිත් දෙන්නේය. අද අප අතර සිටින බොහෝ දෙනෙකුට එවැනි පුරුද්දක් නැත.

නොබෝදා අපෙන් සමුගත් ආනන්ද කුමාර් මහතා අසූව දශකයේ මැද භාගයේදි පමණ ලේක්හවුස් ආයතනයට බැදුණේය. ඔබ්සවර් සවස පත්තරයේ මෙන්ම ඔබ්සවර් ඉරිදා පත්තරයේද සේවය කළ ඔහු පසුව ඔබ්සවර් පුවත්පතේ සහකාර කතුවරයා ලෙස කටයුතු කළේය. ඔහු එදා මෙදාතුර ඔබ්සවර් පුවත්පතට නැතිව බැරි අයෙක් විය. ඔහුට විවේකයක් නැති තරම්ය. කොයි මොහොතේත් කාර්ය බහුලය. අධික ලෙස රෝගි වන තුරුම ඔහු කාර්යාලයට පැමිණියේය. වෛද්‍යවරුන් විවේක ගන්න කිය තිබියදී ද ඔහු තම වෘත්තිය වගකීම්වලට මුල්තැන දුන්නේය. ඔහුගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා දැමුවේ තම වෘත්තීය වෙනුවෙන්ය. එය වසර 35කට වැඩිය. ඔහු සොඳුරු මිනිසෙකි. කැපිලි කෙටිලි වැඩි පත්තර ලෝකයේ ආනන්ද කුමාර් යනු හැම විටම නවකයන්ට අතහිත දුන් මහත්මයෙකි. මේ ලියන මොහොතේත් මැවී පෙනෙන්නේ ආනා පත්තරයේ යම් කටයුත්තකට සෙමෙන් ඇවිදිමින් කොරිඩෝවේ එහි මෙහා යන අයුරුයි.

“මම මැරුණමත් මා ගැන ලියන්න” ආනන්ද කුමාර් මහතා විහිළුවට මෙන් කීවේ මීට දෙවසරකට පෙරය. එය එලෙසින්ම ඉටු කළද අපට සතුටක් නැත. ඒ පත්තර මහගෙදර කවුරුත් ආදරය කළ, කාටත් උදව් කළ ඉංග්‍රිසි පත්තරයේ ලොකු මහත්තයා නැති බැවිනි. ඔහුගෙන් හිස් වූ තැන අඩුව පුරවන්නට ද දැන් කෙනෙක් නැත.

ආදරණීය ආනා, ඔබට නිවන් සුව!

-ඉසවි

Comments