සංස්කෘ­තික කාන්තා­ර­යක අත­රමං වූ නූතන දරුවා වෙනු­වෙන් ළමා හා යොවුන් සාහිත්‍ය සමු­ළුව 2019 | සිළුමිණ

සංස්කෘ­තික කාන්තා­ර­යක අත­රමං වූ නූතන දරුවා වෙනු­වෙන් ළමා හා යොවුන් සාහිත්‍ය සමු­ළුව 2019

ළමා සාහි­ත්‍යය වූකලී ප්‍රබ­න්ධ­ක­ර­ණ­යෙහි මූලික අඩි­තා­ල­මයි. තම ම­වු­පි­ය­න්ගෙන් හා පරි­ස­රය ඇසු­රෙන් ලෝකය වටහා ගන්නා දරුවා සිය පරි­ක­ල්පන ශක්තිය පුබු­දුවා ගනුයේ ළමා කෘති කිය­වීම් මඟින්ය. එහෙ­යින් කුඩා කල ළමා මන­සට ඇතුළු වන දේ පිළි­බඳ අප බොහෝ සේ සැලකිලිමත් විය යුතුය. දරුවා සමඟ එකට හිඳි­මින් ඔවු­නගේ ලෝකය නිර්මා­ණා­ත්මක බවින් පිරි­පුන් පරි­ක­ල්පන ලෝක­යක් කරා රැගෙන යා යුතුය. දරු­වාගේ හැඟීම්, දැනීම් සංවේදී වනුයේ එවිට ය. අද වන­ විට අපගේ දරු­වන් වැඩි­හි­ටි­යන් බවට පත්ව ඇත. වැඩි­හි­ටි­යන් දරු­වන් බවට පත්ව ඇත. මේ අාස්ථාන දෙක ම රටක අාධ්‍යා­ත්මික සංව­ර්ධ­න­යට කිසි ලෙස­කින් හෝ සහය වන්නේ නැත.

අධ්‍යා­ත්මික සංව­ර්ධ­නය පිරි­හුණු කල්හි භෞතික සංව­ර්ධ­න­යෙන් ද අපට කිසිදු ඵල ප්‍රයෝ­ජ­න­යක් නැත. එහෙත් මේ තත්ත්ව පිළි­බඳ අප එත­රම් සැල­කි­ල්ලක් දක්වන බවක් නොපෙනේ. ළමා මනස හා ම­වු­පි­යන් පිළි­බඳ වැඩ­ස­ට­හන් සෑම දින­කම පාහේ මුද්‍රිත මාධ්‍ය­ය­න්ගෙන් මෙන්ම විද්‍යුත් මාධ්‍ය­යන් තුළද සාක­ච්ඡා­වට බඳුන් වේ. එහෙත් ඒ අද­හස් සීමා වනුයේ ඒ වැඩ­ස­ට­හන් වලට පමණි. ඉන් එහා ගිය ක්‍රියා­ත්මක ක්‍රම­වේ­ද­යක් අප සතුව නැත. එහෙ­යින් අප හැම­දි­නම කතා කර­නවා විනා ඒ සම්බ­න්ධ­යෙන් කිසිදු ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් ‍හෝ ආචාර විද්‍යා­ත්මක තීර­ණ­යක් ගන්නේ නැත.

එහිදී අස­රණ වනුයේ කුඩා දරුවා ය. සැබ­වින් ම ලාංකික සන්ද­ර්භය තුළ ප්‍රබ­න්ධ­ක­ර­ණ­යෙහි දි අප අම­තක කොට ඇත්තේ කුඩා දරුවා මුල් කොට ගත් ළමා සාහි­ත්‍ය­යයි. ළමා සාහි­ත්‍යය වෙනු­වෙන් වෙන්වූ කිසිම මාර්ගෝ­ප­දේ­ශ­යක් අප සතුව නැත. එහෙ­යින් සංඛ්‍යා­ත්මක වශ­යෙන් ළමා සාහි­ත්‍යය යන උද්ධෘ­තය යටතේ සැල­කිය යුතු කෘති රාශි­යක් වස­ර­කදී එළි දැක්වු­වද ඒවා­යින් සෑහෙන ප්‍රමා­ණ­යක් ළමා සාහි­ත්‍යය ලෙස සැබෑ ලෙස හඳුනා ගත නොහැ­කිය. එහෙත් ළමා සාහි­ත්‍ය­යෙහි ප්‍රමි­තිය පිළි­බඳ කිසිදු හර­වත් සාක­ච්ඡා­වක් සිදු­වන්නේ නැත. එවැනි මොහො­තක IBBY (The international Board on Book for young people) ආය­ත­නයේ ශ්‍රී ලංකා සංවි­ධා­නය මඟින් සංවි­ධා­නය කරන ලද ළමා හා යොවුන් සාහිත්‍ය වැඩ­මු­ළුව ඒ හිඩැස පිර­වී­මට ගත් ප්‍රශස්ත උත්සා­හ­යක් ලෙස අගය කළ හැකිය.

ළමා සාහි­ත්‍ය­යෙහි මෙන්ම ‍යොවුන් සාහි­ත්‍ය­යට පොදුවූ සෑම අංශ­යක් ම ආව­ර­ණය කිරී­මට ඒ සමුළු සංවි­ධා­ය­ක­යන් විසින් පිය­වර ගෙන තිබීම පැස­සුම් කට­යු­තුය. IBBY ආය­ත­නය දිගු අතී­ත­යක් සහිත සංවි­ධා­න­යකි. 1969 දී ෆ්‍රැන්ක්ෆ­ර්ටිහි ළමා සාහිත්‍ය පර්යේ­ෂණ ආය­ත­නය මඟින් පැවැත්වූ සම්ම­න්ත්‍ර­ණ­යේදී සම්මත වූ යෝජ­නා­වක් අනුව 1970 දී බිහිවූ ළමා සාහිත්‍ය සඳහා වූ අන්තර්ජාතික පර්යේ­ෂණ සංස­දය (International Research Society For Children’s Literature IRCL) එහි මූලික අඩි­තා­ල­මයි. එහි පර­මා­ර්ථය වූවේ ලෝකයේ විවිධ රට­වල ළමා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පර්යේ­ෂ­ණ­ව­ලට සහ­යෝ­ගය ලබා­දීම හා ප්‍රව­ර්ධ­නය කිරීම වූ අතර එය සීඝ්‍ර­යෙන් ලොව පුරා ප්‍රච­ලිත විය. එහි ශාඛා­වක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරී­මට බොහෝ කාල­යක් තිස්සේ උත්සාහ කළ ද එය සාර්ථ­ක­ත්ව­යට පත් ‍නොවීය. එහෙත් අව­සා­නයේ ඒ ක්‍රියා­දා­මය ක්‍රියා­ත්මක ක්‍රම­වේ­ද­යක් බවට පත්වීම සතුටු විය යුතු කරු­ණකි.

IBBY ශ්‍රී ලංකා සංවි­ධා­නය සමඟ එක්ව සිටින ජාතික පුස්ත­කාල හා තොර­තුරු විද්‍යා ආය­ත­නය, ජාතික අධ්‍යා­පන ආය­ත­නය සහ Room to Read සංවි­ධා­නය මේ වෙනු­වෙන් ලබා­දෙන සහ­යෝ­ගය ඉතා විශාල ය.

දෙවන ලෝක සංග්‍රා­ම­යෙන් පසු ළමා පොත පත වර්ධ­නය කිරීම හරහා අන්ත­ර්ජා­තික සාමය ‍ගොඩනැ­ඟීමේ අර­මු­ණින් බිහිවී ඇති IBBY අන්ත­ර්ජා­තික සංවි­ධා­නය ළමා සාහි­ත්‍ය­යෙහි ගුණා­ත්මක බව මෙන්ම එහි විශ්ව ව්‍යාප්තී බව අර­භයා සිදු කරනු ලබන මැදි­හත් වීම ශ්‍රී ලංකාව අව­ශෝ­ෂ­ණය කර ගැනීම වූ කලි ළමා පොත පත වෙනු­වෙන් කැප­වෙන සියලු දෙනා­ගේම අව­ධා­න­යට ලක්විය යුත්තකි. මේ සංවි­ධා­න­යට ජාතික මට්ටමේ සහ­යෝ­ගය ලැබීම ද එහි වැඩ කට­යුතු අඛණ්ඩ ව පවත්වා ගෙන ය‍ෑමට ලැබෙන මනා පිටු­ව­හ­ලකි.

මන්ද එවැනි ජාතික මට්ටමේ සහ­යෝ­ග­යක් නොලැ­බෙ­න්නට එහි කට­යු­තු­ව­ලට යම් ආකා­ර­යක ප්‍රායෝ­ගික දුෂ්ක­ර­තා­ව­ලට මුහුණ දීමට සිදු­විය හැකි බැවිනි. අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජාතික පුස්ත­කාල හා තොර­තුරු විද්‍යා ආය­ත­නය, ජාතික පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩ­ලය IBBY Srilanka ආය­ත­නයේ නිල­ධාරී මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ය­න්ගෙන් සම­න්විත ළමා සාහිත්‍ය සමුළු කමි­ටුව ඔවු­නගේ මූලික අර­මුණ සැබෑ යථා­ර්ථ­යක් බවට පත් කිරී­මට දරන උත්සා­හය සැබ­වින්ම අනා­ගත ළමා පර­පුර වෙනු­වෙන් සිදු­ක­රනු ලබන ඉතා වැද­ගත් ආයෝ­ජ­න­යකි.

ලාංකික ළමා සාහි­ත්‍යය පිළි­බඳ අව­ධා­නය යොමු කිරී­මේදි අපට පැහැ­දි­ලිව පෙනී යන ලක්ෂ­ණ­යක් වනුයේ අපට ඉතා නිර්මා­ණ­ශීලී වූත් වැද­ගත් වූත් ළමා සාහි­ත්‍ය­ය­කට අප උරු­ම­කම් කියූ බවයි. සිබිල් වෙත්ත­සිංහ නම් පූර්ව­ගාමී ළමා සාහි­ත්‍ය­වේ­දි­නිය එහි අග්‍ර­ඵ­ලය බව අප කොයි කවු­රුත් දන්නා කරු­ණකි. ජාතික වශ­යෙන් පම­ණක් නොව ලාංකික ළමා කතා කලාව අන්ත­ර්ජා­තික තල­යට රැගෙන යෑමේ මූලික ගෞර­ව­යට ඇයට හිමි වන අතර ඇය ගේ අතින් ළමා කතා­වට පම­ණක් නොව ළමා චිත්‍ර­යට ද හිමි වූ සුවි­ශේෂි ස්ථානය ශත වර්ෂ ගණ­නා­වක් යන­තුරු පවා නොනැසී පව­තියි. සැබ­වින් ම ලාංකික ළමා සාහි­ත්‍ය­යෙහි අන­න්‍ය­තාව සට­හන් කරන ලද්දේ ඇය විසිනි. එහෙත් ඇය­ගෙන් පසු­වද විවිධ ලේඛක ලේඛි­කා­වන් විසින් ළමා සාහි­ත්‍ය­යට සිදු­ක­රන ලද මෙහෙය අප­මණ ය. ඒ කිසිදු නිර්මා­ණ­යක් පුළුල් වශ­යෙන් ජාතික මට්ටමේ සංවා­ද­ය­කට ලක්වූයේ නැත. මේ තත්වය සැබ­වින් ම විමසා බැලිය යුතු කරු­ණකි.

අපගේ ළමා සාහි­ත්‍ය­යෙහි කිසි­යම් දුර්ව­ල­තා­වක් ඇත්තේ නම් එය සොයා බලා එයට අවශ්‍ය පිය­වර ගැනීම අප සතු යුතු­ක­මකි. එහිදී තාක්ෂ­ණික ලෝකය තුළ බිහි­වන දරු­වාගේ නූතන සමාජ වට­පි­ටාව ද අප අම­තක නොකළ යුතුය. එයට සම­ගා­මීව අපගේ නූතන ළමා සාහි­ත්‍යය ගොඩ­නැ­ගිය යුතුය. නො එසේ නම් කොප­මණ ප්‍රමා­ණ­යක් ළමා සාහිත්‍ය කෘති බිහි කළ ද එය එත­රම් වැද­ගත් ව්‍යායා­ම­යක් බවට පත් නොවේ. මෙය දෙමළ සාහි­ත්‍ය­යට ද පොදු ය.

ළමා සාහි­ත්‍ය­යෙහි ප්‍රධාන සංර­චකය වන්නේ දරුවා වුවද දරුවා වෙනු­වෙන් ආ‍යෝජ­නය කර­නුයේ වැඩි­හි­ටියා ය. එහෙ­යින් දරු­වාට ප්‍රථම අප වැඩි­හි­ටි­යන් ආම­න්ත්‍ර­ණය කළ යුතුය. ළමා සාහි­ත්‍ය­යෙහි අගය අප පළ­මුව ඔවු­නට වටහා දිය යුතුය. මන්ද වර්ත­මාන වැඩි­හි­ටියා යනු ද දරුවා මෙන් ම තාක්ෂ­ණික මෙව­ලම් පිළි­බඳ පූර්ණ විශ්වා­සය තබා ඇති සමාජ සත්ත්ව­යකු වන බැවිනි. සම­හර ම­වු­පියෝ ළමා සාහි­ත්‍ය­යක් අප සතුව පව­තින බව පවා දන්නෝ නොවෙති. ළමා සාහි­ත්‍යය දරුවා මුල් කොට ගෙන බිහි වුවත් එහි ප්‍රායෝ­ගික සාර්ථ­ක­ත්වය රඳා පව­ති­නුයේ ම­වු­පි­යන් අත ය.

මීට කෙටි කල­කට ඉහත පවා අප සතුව ළමා පුව­ත්පත් සංස්කෘ­ති­යක් ද පැව­තිණි. මිහිර පුව­ත්පත යනු එහි අග්‍ර ඵල­යයි. සැබ­වින්ම අපගේ පර­ම්ප­රාව ළමා සාහි­ත්‍ය­යෙහි ඇති වටි­නා­කම අව­බෝධ කර ගනු ලැබුවේ “මිහිර” පුව­ත්පත මඟිනි. එය අපගේ මන­සෙහි තව­මත් ඉති­රිව පවතී. “මිහිර” පුව­ත්පත කිය­වන තුරු එ දවස ළමයි නොඉ­ව­සි­ල්ලෙන් පසු­වූහ. එද­වස දරුවා කිය­වී­මට හුරු වූයේ ළමා පුව­ත්පත් ඇසු­රෙනි.

එහෙ­යින් ඔවු­නගේ කිය­වීම අඛණ්ඩ ව පැව­තිණි. අද පවා නිර­න්තර කියැ­වී­මක යෙදෙන පර­ම්ප­රා­වෙහි මුල් කිය­වීම ළමා පුව­ත්ප­තයි. එහෙත් එවැනි පසු­බි­මක් අද නැත. IBBY ශ්‍රී ලංකා සංවි­ධා­නය මේ පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු කිරීම වැද­ගත් ය. අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ද සහ­යෝ­ගය ඇතිව ජාතික මට්ටමේ ළමා පුව­ත්ප­තක් බිහි කිරී­මට ඔවුන් උත්සාහ ගන්නේ නම් එය දරු පර­පුර වෙනු­වෙන් කරනු ලබන මහත් වටි­නා­ක­ම­කින් යුත් ජාතික කර්ත­ව්‍ය­යකි.

ළමා පුව­ත්පත් සංස්කෘ­ති­යක් පම­ණක් නොව ළමා නාට්‍ය සංස්කෘ­ති­යක් ද පසු­ගිය දශක කිහි­පයේදී ‍ගොඩ නැ‍‍ඟෙමින් පැව­තුණි.

සෝම­ලතා සුබ­සිංහ නාට්‍ය­වේ­දි­නියගේ අප්‍ර­ති­හත කැප­වීම මෙහිදී අපට සිහි­පත් වේ. වර්ත­මා­නය වන­ විට ඒ තත්ත්වය ද ඇන­හිට ඇත. පාසැල් පෙළ පොත් සඳහා නිර්දේ­ශිත හා විවිධ පොත් පත් ඇසුරෙන් ඉඳ­හිට හෝ නාට්‍ය­යක් නිර්මා­ණය වුව ද ඒවා­යෙහි නිෂ්පා­දන මට්ටම් පව­ති­නුයේ ඉතා පහළ තත්ත්ව­යක ය.

එහෙ­යින් දරු­වාගේ නිර්මා­ණා­ත්මක ලෝකය ඒ නිෂ්පා­දන නැර­ඹී­මෙන් මොට වී යයි. එවැනි පසු­බි­මක පූජිත ද මෙල් ගේ “පුංචි ළමා නඩේ” වැනි නාට්‍ය කණ්ඩා­ය­ම්වල සේවය අගය කළ හැකි වුවත් කිසිඳු පහ­සු­ක­මක් හෝ අනු­ග්‍ර­හ­යක් නොලැ­බීමේ හේතු­වෙන් එවැනි උත්සා­හ­යන් ද අත­ර­මග ඇන හිට ඇත.

එමෙන්ම ළමා චිත්‍ර­පට යන ලේබ­ලය යටතේ විවිධ චිත්‍ර­පට නිර්මා­ණය වීම අද බහු­ලව සිදු වුව ද ඒ බො‍හෝ චිත්‍ර­පට ළමා චිත්‍ර­පට ලෙස හඳු­නා­ගත නොහැ­කිය. ඒ නිර්මාණ වැඩි ප්‍රමාණයක් දරු­වන් රංග­න­යෙහි යෙදෙන වැඩි­හිටි චිත්‍ර­පට වේ. මේ සෑම කරු­ණ­කින්ම පෙනී යනුයේ නූතන දරුවා සංස්කෘ­තික කාන්තා­ර­යක අත­රමං වී ඇති බවයි. යෞවන සාහි­ත්‍යය මෙන් යෞව­න­යාගේ තත්ත්ව­යද එසේ ම ය. මේ කරුණු සම්බ­න්ධව IBBY ආය­ත­න­යෙහි ශ්‍රී ලාංකික සංවි­ධා­නය අව­ධා­නය යොමු කරන්නේ නම් පසු­ගිය දින ඔවුන් පැවැත්වූ ළමා සහ යොවුන් සාහිත්‍ය සමු­ළුව සැබෑ යථා­ර්ථ­යක් බවට පත්වනු ඇත.

සුලෝ­චන වික්‍ර­ම­සිංහ

අදහස්