පුරාණ භාරතීය පඬිවරයකු සිහිගන්වන ගුරු දෙවියා | සිළුමිණ

පුරාණ භාරතීය පඬිවරයකු සිහිගන්වන ගුරු දෙවියා

“බෙහෙවින් ම නිහඬ, එමෙන් ම නිහතමානී මහාචාර්යවරයකු බවට පත් වූ හේමපාල විජයවර්ධන හොරණ තක්ෂිලාවේ ඉගෙන ගත් කුඩා ශිෂ්‍යයෙක් විය. සරසවි ඇදුරු පදවියට දැක්වූ වැඩි මනාපය නිසා එළඹුණ වාරය ප්‍රතික්ෂේප ඔහු සිවිල් සේවකයකු ලෙසින් තෝරා ගනු ලැබූ එකම තක්ෂිලා ශිෂ්‍යයා යැයි සිතමි.”

මහාචාර්ය හේමපාල විජයවර්ධන ගැන පන්ති සගයකු වූ කලා විචාරකයකු ලේඛකයකු කීර්තිමත් ගුරුවරයකු වූ ඩී.බී. කුරුප්පු මහතා තම ජීවිත අත්දැකීම් ගැන ලියූ “හැන්දෑවට පායන හිරු” කෘතියේ සඳහන් කර තිබුණි. මේ අනුව මහාචාර්ය විජයවාර්ධන ගේ පන්ති සගයන් වී ඇත්තේ කරුණාසේන ජයලත්, පුෂ්පකුමාර වී. ප්‍රේමරත්න මහාචාර්ය විජයවර්ධන (ලංකා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්ය ධූරයක් දරා ඇත. ) හා කුරුප්පුය.

හේමපාල විජයවර්ධන නම සාහිත්‍ය ලෝකය හඳුනා ගන්නේ 1955 වසරේ මහරගම සමන් ප්‍රකාශකයන් විසින් මනහර මුද්‍රණයෙන් නිකුත් කළ පරිවර්තන කෘතියක් වූ “සාර භූමි” තුළිනි. පසුව 1959 වසරේ සමන් ප්‍රකාශනයක් වූ “ගසක කඳුළු” පරිවර්තන කෘතිය සමඟ ය. මහාචාර්ය විජයවර්ධන මේ කෘති දෙක ම පරිවර්තනය කළේ ඌරාපොළ හේමාලෝක හිමියන් සමඟ වීම තවත් විශේෂයකි.

සුප්‍රකට ඇමරිකානු නවකතාකාරියක වූ පර්ල් ඇස්. බක් ගේ “ ගුඩ් අර්ත් Good Earth නම් නොබෙල් ත්‍යාගය හිමි වූ නවකතාව මේ පරිවර්තකයන් තෝරා ගෙන ඇත්තේ ඒ ත්‍යාග හිමි වුණ නිසාම නොවන බවත් සාහිත්‍ය‍යක් කියවීමේ දී ලබන “විනෝදය යනු ජීවන විවරණයක්” යන කියමන ඌරා බැලීමට බව කියති. “වාංලුං” නමැති චීන ගොවියාගේ චරිතය පසුබිම් කර ගත් මේ නවකතාව සමස්ත ආසියාතික ගොවි ජීවිතයට හෙළූ තියුණු බැල්මක් බව ද ඔවුන් සඳහන් කරති.

“වාංලුං නමැති චීන ගොවියකුගේ චරිතය පසුබිම කරගත් මේ “සමස්ත ආසියාතික ගොවි ජීවිතයට හෙළූ තියුණු බැල්මක්’ වැන්න. මේ ග්‍රන්ථය මුල සිට අග දක්වා කියවන සිංහල පාඨකයෙකුගේ වුව ද සිහියට නැ‍ඟෙන්නේ “මේ අපේම ගොවි ජීවිතයෙහි තොරතුරු නොවේද” යන හැඟුමකි. කෙසේ නමුත් මේ නවකතාව මිනිසාගේ සිත හොරකමට නොව- කොල්ල කෑමට නොව - අලසකමට නොව ධෛර්යට - උත්සාහයට උද්‍යෙ­ාගයට ගෙන යන බව අපට නොරහසකි.

ගත් කතුවරයෙකු වශයෙන් ද ලොව පුරා පැතිර ගිය කිත් සිරුරක් ඇති ශ්‍රී නේරු, අවසන් හුස්ම හෙළන්නට ආසන්නව සිටි සිය ප්‍රියාව වූ කමලා නේරුට කියවන්නට දුන්නේ ද පර්ල් බක්ගේ “ගුඩ් අර්ත්” නමැති නවකතාව බව ශ්‍රී නේරු ගේ “ඉන්දියාව සොයා ගැනීම” (Glimpses of World History) නමැති ග්‍රන්ථයේ පවසයි. මෙයින් පැහැදිලිව ප්‍රකට වන කරුණක් නම් ජීවිතය ගැන මාන්නයෙන් ඉදිමුණ එකකුගේ ඉදිමුම නැති කර ගන්නට මෙන්ම ජීවිතය ගැන කළ කිරුණ එකෙකුගේ සිත සනසා ගන්නට ද මේ පොත වහල් කරගත හැකි බව ය.”

මීට වසර 15 කට පමණ පෙර මම රෝගී ව සිටි මහාචාර්ය විජයවර්ධන හමුවීමට හොරණ කුඩා උඩුවේ නි‍ෙවසට ගියෙමි. එහි මා කුතුහලයෙන් ඔහුගෙන් ඇසුවේ “ඔබ සමඟ පරිවර්තනය කිරීමේ යෙදුණු ඌරපොල හේමාලෝක හිමියන් දැන් කොයි කොහිද?” කියා ය.

“උන්වහන්සේ මීට අවුරුදු 25 කට පෙර (1979 දී) අපවත් වූවා. හොරණ කුඩා උඩුවේ ගමේ පිරිවනේ පරිවෙනාධිපති වශයෙන් ඉන්න කාෙල් මම උන්වහන්සේ සමඟ එක් වී “සාර භූමි” පොත පරිවර්තනය කළා. හේමාලෝක හාමුදුරුවෝ ඉංග්‍රීසි හා වංග භාෂා දැනුම අතින් පාණ්ඩිත්‍ය ප්‍රකට කළ යතිවරයෙක්. ගැටවර වියේ නිවාඩුවට හොරණ මහ ගෙදරට ගිය පසු මම පන්සලට ගිහින් සාහිත්‍යය ගැන කතා කර කර ඉන්නවා. අපවත් වීමට පෙර “ග්‍රීම් සුරංගනා” කතා පළ කළ උන්වහන්සේ 1961 අවසන් වරට පරිවර්තනය කළේ තාගෝර්ගේ “ගෝරා” නවකතාව ධර්මදාස ගුණවර්ධන මහතා සමඟ.

1954 වසරේ “ගුඩ් අර්ත්” පොත තෝරා දී පරිවර්තනය කිරීමට සමන් මුද්‍රණාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් තෝරා දුන්නේ කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ එම්. ජේ. පෙරේරා මහතා. ඒ මහතා මා ගැන මෙන්ම එකල ගුවන් විදුලියේ “විශ්ව සාහිත්‍යයෙන්” වැඩ සටහනින් විදේශ කතා ගැන කතා පැවැත් වූ හේමාලෝක හාමුදුරුවන්ව ගැනත් විශ්වාසය පළ කොට පරිවර්තන කාර්යය පැවරුවා.

“සාර භූමි” සාර්ථක වූ නිසා ඒ මහතා විකී බෝම් මැතිනිය ලියූ The Weeping Wood කෘතිය පරිවර්තනය කිරීමට අපට බාර දුන්නා. ඒ පොත “ගසක කඳුළු” නමින් අප පරිවර්තනය කළා. එය මුද්‍රණය වුණාම පිටු 761 පොතක් වුණා. මේ පොත් අලංකාර ලෙස මුද්‍රණය කළේ සමන් මුද්‍රණාලයේ මුද්‍ර‍ණ අධිකාරි බී. නිශ්ශංක ජයවර්ධන මහතා.”

මහාචාර්ය විජයවර්ධනයන් කියන පරිදි විකී බෝම් මැතිනියට මේ පොත ලිවීමට අදහස පහළව ඇත්තේ 1935 – 1936 වසරවල ඈ මලයාවේ, ජාවා රටේ, සුමාත්‍රවේ, සියමේ හා ප්‍රංස ඉන්දු චීනයේ රබර් වතුවල සංචාරය කළ දිනවල බවයි.

කතුවරිය පොත ලිවීම සඳහා කියවූ පොත්, සොයා ගත් කරුණු, කරන ලද පර්යේෂණ, හමු වූ විශේෂඥයන් ආදිය ඇයට උසස් උපාධියක් ලැබීමට තරම් ප්‍රම‍ාණවත් බවයි. සම පරිවර්තක විජයවර්ධන පවසා ඇත්තේ ය.

“ සංස්කෘත කාව්‍ය විචාර මූලධර්ම” ( 1967), කාව්‍ය විචාර ගවේෂණ (1968) මහාචාර්ය විජයවර්ධන ලියූ පර්යේෂණාත්මක ශාස්ත්‍රී කෘතින් ය. 1985 වසරේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමය මගින් පළ කළ ‘සද්ධර්මරත්නාවලී’ සංස්කරණය (1985) කෙරෙහි සිත් යොමු වූ බව පවසන මහාචාර්ය ඒ. වී. සුරවීරයෝ මේ කාර්යයේදී මහාචාර්ය එම්. බී. ආරියපාල මහතා මූලික වූ බව සැබෑ වුවත් එහි වැඩි බර ඉසුලුවේ විජයවර්ධනයන් බව අප්‍රකට සත්‍යයක් බව පවසති. එපමණක් නොව 1948 මහාචාර්ය ජී.බී, මලලසේකර මහතාගේ සුප්‍රකට ගුණසේන ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය 1994 දී යාවත්කාලීන කිරීමේ කාර්ය පැවරුණ බව කියන මහාචාර්ය සුරවීර, සම්භාව්‍ය සිංහල සාහිත්‍ය‍යත්, නූතන සාහිත්‍යයත්, ජන සංහිත්‍යයත් පිළිබඳ විජයවර්ධනයන් සතු වූ පටුත්වය නිසාම මලලසේකර ශබ්දකෝෂය සංශෝධනය සම්පූර්ණ වූ බව පවසා තිබුණි. මහාචාර්ය විජයවර්ධන 1977 වසරේ popular Sanskrit text (ම.ව. සුගතපාල ද සිල්වා සමඟ) lsdhoo Loamaafaanu 1986 (හසන් ඒ. මනිකු සමඟ) හා “සියම් - ශ්‍රී ලංකා ආගමික සම්බන්ධතා” 1993 (මහාචාර්ය පී.බී. මීගස්කුඹුර සමඟ) ලියූ කෘති අතර වඩාත් කැපී‍ පෙනේ.

මට මහාචාර්ය විජයවර්ධන මහතා මුල්වරට හඳුනාගන්ට ලැබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ දීය. ඒ 1970 වසරේ දීය. මහාචාර්ය ‍ජේ.බී. දිසානායක හා මහාචාර්ය සුචරිත ගම්ලත් යන විද්වතුන් විසින් ය. ඒ අහිංසක සිනහවකින් මට සංග්‍රහ කළ මේ විද්වතා “ඉඳ ගන්නැයි” තම මේසය ඉදිර‍ියේ තිබූ අසුන පැනවීය. ඒ හැඳින ගැන්ම ප්‍රයෝජනයට ගනිමින් “නවයුගය” හා “සරසවිය” පත්‍රවලට මම සංවාද ඇසුරෙන් විශේෂාංග ලිවීමි. තව දිනක මට එතුමා හමු වූයේ නුගේගොඩ දොස්තර රන්ජන් අ‍බේසිංහ මහතාගේ දන්තාගාරයේදීය. ඔහුගේ උකුළ මත තිබ‍ුණේ හම ගිය ලොකු බෑගයකි. එහි වූ පොතක් කියවමින් සිටි ඔහු තුළින් දුටුවේ අහිංසක අව්‍යාජ ගැමියෙකි.

“හුඟක් වෙලා ද සර් ඇවිත්.”

“පැය බාගයක් විතර වෙනවා”

“ඇයි සර් ඩොක්ටර් ඔබ තුමාගේ මිත්‍රයානේ. ඇයි කිව්වේ නැද්ද?”

“නෑ මෙතන හුඟක් ලෙඩ්ඩු ඉන්නවා. මම එතුමාට කරදර කරන එක අසාධාරණයි. මගේ වාරේ එනකල් පොතක් කියවනවා.”

1935 ජනවාරි 01 වැනි දා හොරණ කුඩා උඩුවේ උපත ලැබූ ගම‍ගේ හේමපාල විජයවර්ධන තම දෙමාපියන් ගුරුවරුන් වීම නිසා අනාගත ජීවන වෘත්තිය ලෙස ගුරුවරයකු වීමට සිතා ගත්තේය. 1958 සිවිල් සේවා විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වූ විජයවර්ධන මහතාට මුල් ම රැකියාව ලෙස මහා භාණ්ඩාගාරයට පත්වීමක් ලැබුණ ද එය අතහැර පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් 1958 වසරේ සිංහල විශේෂ උපාධිය පළමු පන්තියෙන් ප්‍රථමයා ලෙස සමත් ව කථිකාචාර්ය පදවිය ලබා ගත්තේ ගුරු වෘත්තියට ඇති ආශාව නිසා ය. එතුමා විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ ඉතා අඩු වයසක නිසා ප්‍රශ්නයක් වී ඇත. ඔහු ප්‍රමාණයෙන් කුඩා ලු.

විජයවර්ධන මහතා තම විශ්වවිද්‍යාල ජීවිතයේ වාර්තා කිහිපයක් ම තබා ඇත්තේය. පාලි භාෂාව හා සාහිත්‍යය සඳහා පිරිනැමෙන පිලිප් විජයවර්ධන ත්‍යාගය හා සී.ඊ. ජයනායක ත්‍යාගය හෙතෙම දිනා ගෙන ඇත.

භාරතයට වැඩි දුර ශාස්ත්‍රීය පර්යේෂණ අධ්‍යාපනයට ගිය ඒ මහතා එහිදී පුනා විශ්වවිද්‍යාලයේ සංස්කෘත අලංකාර ශාස්ත්‍රය හදාරා ඇත. ආචාර්ය ඒ. ශංකර්න් මහතාගෙන් සංස්කෘත අලංකාර ශාස්ත්‍රය හැදැරූ විජයවර්ධනයන් තම දරුවකුට මෙන් සැලකූ ගුරුවරයා, “ඔබ තමයි මගේ අන්තිම ගෝලයා” යි කීවේය. පසුව මේ ගුරුවරයා මදුරාසි විශ්වවිද්‍යාලයේ මහචාර්ය පදවිය ලබා වයස්ගතව 1963 දි මිය ගොස් ඇත. මහාචාර්ය විජයවර්ධන සංගීත විෂයට ඇලුම් කළ කලා රසිකයෙකි. 1956 ඔහු විශ්වවිද්‍යාලයේ ගන්ධර්ව සභාවේ ක්‍රියාකාරි සාමාජිකයෙකි. දක්ෂ තබ්ලා වාදකයකු වූ විජයවර්ධනගේ කුසලතා දුටු මහාචාර්ය සරච්චන්ද්‍රයන් 1956 වසරේ ‘මනමේ’ නාට්‍යයේ වාදක මණ්ඩලයට තෝරා ගත්තේ ය.

“මනමේ නාට්‍යය මගේ කලා ජීවිතයේ සුවිශේෂ කඩ ඉමක්. චාල්ස් සිල්වා ගුරුන්නාන්සේයි මම යි මද්දල වාදනය කිරීමට මගේ ජීවිතේ අමතක නොවන අවස්ථාවක්. මුල් මනමේ නාට්‍යයේ සිට දර්ශන 25කට මද්දල වාදනයට සහාය වුණා.” වරක් එතුමා මට කීවේය.

සංස්කෘත විචාර කලාව විෂයය භාරතයේදී විධිමත් අධ්‍යයනයක් ලැබූ එක ම ලාංකීකයා මහාචර්ය විජයවර්ධන ය. ඔහු භාරතයේ වසර තුනක අධ්‍යයන කටයුතුවල යෙදී ලංකා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේ The Influene of Sanskrit Alamkara sastra on Early Sinhalese poetry නම් කෘතිය වෙනුවෙනි. 2003 වසරේ මහාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලය සාහිත්‍ය සූරී උපාධිය පිදුම් ලැබීය.

2007 මාර්තු 12 වැනිද හේමපාල විජේවර්ධන නම් මහා පඬිවරයා ජීවිතයෙන් සමු ගත්තේය.

විසි වැනි සියවසේ මෙරට පහළ වූ අග්‍රගණ්‍ය පඬිවරයණ කෙනකු වූ මහාචාර්ය හේමපාල විජයවර්ධන ගැන එතුමාගේ අභාවයෙන් දෙවසරකට පසු 2009 වසරේ රෝහිණි පරණවිතාන හා සමන්ත හේරත් විසින් සම්පාදනය කළ “ හේමපාල විජයවර්ධන ආලෝචනා” ග්‍රන්ථය නිකුත් විය. එහි මෙසේ සඳහන් වී තිබුණි.

කීර්තිශේෂභාවෝපගත මහාචාර්ය හේමපාල විජයවර්ධන විසිවැනි සිය වසේ ශ්‍රී ලංකාද්වීපයෙහි පහළ වූ දුර්ලභ ගණයේ පඬිවරයාණ කෙනෙකි. භාෂා සාහිත්‍ය කලා විෂයක සුනිශිත ඥනයෙන් එතුමෙන් සමෘද්ධයහ. පෙරදිග කලා විචාර න්‍යාය ස්වකීය ප්‍රමුඛ පර්යේෂණ ක්ෂේත්‍රය බවට පත් කොට ගත් එතුමෝ ඒ පිළිබඳ ප්‍රජානනයෙන් විඥා විශුද්ධ ශාස්ත්‍ර පාරගත්වයෙන් අග්‍රේසරයහ. අර්ධ ශතවර්ෂාසන්න කාලයක් මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය ශෝභාවත් කරමින් සේවා නියුක්ත වූ එතුමාණන්ගේ අසහාය පාණ්ඬිත්‍යය, භාෂා වෛශාරද්‍යය හෝ ශාස්ත්‍රකාර්ය සාධනය බහු ජන සමාජය තුළ ප්‍රකට වූයේ නැත. විජයවර්ධන ජීවන චර්යාව ඔවුන්ට සුවිශේෂී වූ අසම අප්‍රමාණ ගති ලක්ෂණවලින් සමුපේත ව තිබිණ. දෘශ්‍යමානයෙහි වූ සාතිශය සරල භාව නිහඬ භාවයෙන් විනිවිද ගිය අදෘශ්‍යමාන ගැඹුර විජයවර්ධන චරිතය තුළ වූ විපුල විශිෂ්ටත්වයයි.”

මහාචාර්ය විජයවර්ධන විසින් ලියන ලද ශාස්ත්‍රීය ලිපි ලේඛන අතර “ සාධාරණීකරණය පිළිබඳ අදහස් කිහිපයක්” යන ලිපියෙන් සාහිත්‍යාදි කලාවන් ගැන අගනා අදහස් කිහිපයක් ඉදිරිපත් කරයි. මේ එහි ආරම්භක ජේදයය.

“භාරතීය කලා විචාරයට අනුව කිසියම් කලා කෘතියකින් අපේක්ෂිත සෞන්දර්යමය ප්‍රතිඵලය නම් රස ජනනය යි. සංස්කෘත විචාර ඉතිහාසයේ සෞන්දර්යාත්මක කාර්යය වශයෙන් ප්‍රථ‍මයෙන් කල්පනය කරන ලද අතර, පසුව මෙය ගද්‍ය පද්‍යමය ශ්‍රව්‍ය කාව්‍යයෙන් ද, සංගීත නර්තනාදී වෙනත් කලා මාධ්‍යයන්ගෙන් ද සිදු විය යුතු සේ සැලකීමෙන් මේ සංකල්පය සියලු කලාවන් කෙරෙහි ව්‍යාප්ත විය. රස යනුවෙන් අදහස් කරන ලද්දේ කිසියම් ආස්වාදනීය ලෙසකින් ජනත භාව හෙවත් හැඟීම් සමුද්‍රයකි. සාහිත්‍යාදි කලාවන්ගෙන් සිදු වනුයේ ලෝකස්වභාවය කලාත්මක අයුරකින් විවරණය කිරීමෙන් රසිකයා තුළ ආවේගමය ප්‍රතික්‍රියාවක් ප්‍රසාද ජනක ලෙසකින් ජනනය කිරීමයි. රසිකයාගේ ආවේගයෙන් සියුම් ලෙස ආලෝලනය කිරීමෙන් ඔහු තුළ ප්‍රසාදමූලක මනසක් ජනිත කර වීමයි.

භාරතීය සෞන්දර්යවාදීන්ගේ මේ ‍සොයා ගැනීම අනුභූතිය පදනම් කොට ගෙන සිදු වූවකි. හොඳ නාට්‍යයක් නරඹන විට, සාහිත්‍ය කෘතියක් පරිශීලනය කරන විට, සංගීත නිර්මාණයකට සවන් දෙන විට රසික සිතෙහි සියුම් කම්පනයක් ජනිත වෙයි.

භාවනාත්මක අයුරකින් සිත ඒ කෘතිය සමඟ සංවේදී තත්ත්වයකට පත් වෙයි. රසිකයාගේ සිතෙහි අවස්ථානුරූප පරිදි සියුම් ශෝකයක්, විස්මයක් වැනි හැඟීමක් හට ගනියි. මේ හැඟීම් රසික සිතෙහි රැව් පිළිරැව් දෙමින් ඔහු තුළ ආස්වාදනීය වින්දනයක් ලබා දෙයි.

මෙය වෙනත් කිසිදු ලෝකීය අත්දැකීමක් හා සමාන වන්නක් නොවන බැවින් අලෞකික සේ හඳුන්වනු ලැබේ. හොඳ කලාකෘතියකින් ප්‍රත්‍යක්ෂයෙන් සිදු වන මේ කාර්යය විග්‍රහයට හසු කරන්නට - මානසික ප්‍රවෘත්තියක් වාචික වශයෙන් ප්‍රකාශ කරන්නට - උත්සාහ දරන භාරතීය විචාරකයන් අතින් රස නැමති සංකල්පය බිහි විය. කලාවන්ගේ අරමුණු වනුයේ ලෝකස්වාභාවය පදනම් කොටගත් කිසියම් භාව ප්‍රකාශනයකැයි යන්න රස සංකල්පයට කේන්ද්‍රීය වූ අදහස වේ.”

මහාචාර්ය හේමපාල විජයවර්ධන තක්ෂිලාවේ ප්‍රේම කළ ග්ලැඩිස් ප්‍රනාන්දු මහත්මිය පසුව විජයවර්ධනයන් සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවා ය. විවාහ වූ පසු ඇය ගුරුවරියක් ලෙස සේවය කළා ය. එතුමිය හොරණ කුඩා උඩුවේ නිවෙසේ දරු මුනුපුරන් සමඟ සන්ධ්‍යා සමය ගත කරන්නී ය.

විජයවර්ධන යුවළට දරුවෝ තිදෙනෙකි. වැඩිමහල් දියණිය ප්‍රදීපා මොරටුව විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිනියි. අනෙක් දියණිය හර්ෂණි එංගලන්තයේ සිවිල් ඉංජිනේරු මහාචාර්යවරියකි. බලා පුතා රවි කාන්ත සුමේධ විදුලි ඉං‍ජිනේරුවකු ලෙස ලෙකෝ ආයතනයේ සේවය කරයි.

බොහෝ ඇසූ පිරූ තැන් ඇති මහා ප්‍රාඥයන් සමඟ සරසවියේ සිංහල අංශයේ වැජැඹුණ මහැදුරු විජයවර්ධනගේ ශිෂ්‍යයන් වන මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර ගැන ආඩම්බරයෙන් කතා ඇත. වරක් මහාචාර්ය ජේ.බී. දිසානායක තම ගුරුවරයා ගැන මෙසේ සඳහන් කළේය.

“විජයවර්ධන මහාචාර්යතුමා දැනුම නිසා හිස උදම්මා ගත්තෙක් නොවේ. ඔහු දැනුමෙන් වැඩෙත්ම වඩ වඩාත් නිහතමානී බවට පත් වෙයි. ඔහු කොතරම් නිහතමානී වූයේ ද යත්, ඔහු වැඩිපුර ගමන් කළේ බස් රියෙනි. ඉඳ හිට රිය­ැදුරු අසුන ළඟ තිබුණු පෙට්ටියක් මත වාඩි ගෙනයි. මේ දුටු ඇතැමුන් සිතුවේ මොහු තාමත් රැකියාවක් නැතිව එහෙ මෙහෙ දුවන්නකු ලෙස ය. වරක් විජයවර්ධන මහතා කී කතාවක් මගේ සිහියට එයි. අවේලාවේ බස් රියෙන් යනු දුටු එක් මගියකු ඔහුට අනුකම්පා කොට “ඇයි මහත්තයෝ හැමදාම එහෙ මෙහෙ දුව ඇවිදින්නෙ? නරකද මොකක් හරි රස්සාවක් හොයා ගත්ත නම්” යනුවෙන් ඇසීය. ඔහු සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. ඔහු සිංහල අංශයෙහි කාමරයෙහි නිහඬ ව වැඩ කරනු දකින හැම විටම මගේ සිහියට එන්නේ පුරාණ භාරතීය පඬිවරයකුගේ ප්‍රතිරූපයයි. එතුමා සිංහල අංශයට නාවත් එතුමාගේ සංවේදී හදවතේ සිසිලස මට දැනේ. ඔහු වැනි නිහතමානි ගුරු දෙවියකු මේ සසර ගමනෙහිදී ඇසුරු කරන්නට මට ලැබීම මගේ පෙර පිනකැයි මට සිතේ.”

මහාචාර්ය විජයවර්ධනයන් සමඟ ලංකා විශ්වවිද්‍යාලයේ අරුණාචලම් ශාලාවේ එකම කාමරයේ නේවාසිකව සිටි බර්ටි විජේසිංහ මහතා (ආනන්ද විද්‍යාලයේ අපගේ සිංහල ආචාර්යවරය වූ ඔහු පසුව විදුහල්පතිවරයකු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුව සිටියේය) අපට කීවේ මේ තරම් නිහතමානී දැනුමෙන් පෝෂිත මහාචාර්යවරුන් අතර සිළුමිණක් වූ ප්‍රඥයෙක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ සිටියානම් එය අල්පයක් බවය. අද බොල් පිළිම නෙළන ඇතැමුන්ට කදිම පාඩමකි.

මහාචාර්ය ඒ. වී. සුරවීරයන්ගේ මේ උද්ධෘතයෙන් මේ ලිපිය අවසන් කරමු.

“අනුන්ගේ දුක සැප සම‍ සේ බෙදාගෙන දුකේ දී පිහිටවීමෙන් ඔහු තෘප්තිමත් වූයේය. තමන්ට මුහුණ පාන්නට සිදු වන ගැටලු හා ව්‍යසන කෙරෙහි නොසැලී ඒවා විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ඉවසා සිටීම ඔහුගේ චරිතයේ විශේෂ ගති ලක්ෂණයකි. ඔහු කිසිදා තමන්ගේ ගැටලු, දුක් කරදර ආදිය සතුටින් විඳ දරාගත්තා මිස සමීප හිතවතෙකුටවත් හෙළි කළේ නැත.

කිසිදා කිසිවකුට දෝෂාරෝපණය කළේ ද නැත. හේමපාල විජයවර්ධනයන්ගේ චරිතයෙහි මා දකින්නේ ආදර්ශවත් මහාචාර්යවරයෙකුගේ හා පඬිවරයෙකුගේ ගති ලක්ෂණ අභිබවා ඉස්මතු වන මහත්මා ගුණයයි. “පි‍රුණු කළේ දිය නොසැලේ” යන ආප්තය මූර්තිමත් වන්නේ එතුමාගේ චරිතය දෙස බලන කල්හිය.”

 

මෙවන් උතුම් මහාචාර්යවරු

මතු මතුත් වාසනා!

අදහස්