නාන්නට නම් වතුරට බැසිය යුතු ම ය | සිළුමිණ

නාන්නට නම් වතුරට බැසිය යුතු ම ය

බුදුන් වහන්සේට පවා වෙදකම් කළ ජීවක නම් වෛද්‍යවරයා ඉගෙනීම ලද්දේ තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යවරයා යටතේ යැයි අප අසා තිබේ‍. දීර්ඝ කාලයක් අධ්‍යාපනය ලැබීමෙන් පසු ජීවක සිය ඇදුරුතුමන් හමුවී තමා හදාළ ශාස්ත්‍රයේ ප්‍රතිඵල සිය රටවැසියන් වෙත ලබාදෙනු කැමැත්තේ; ගම් රට බලා යෑමට අවසර ඉල්ලීය. දිසාපාමොක් ඇදුරුතුමන් ඒ අවසරය ජීවක වෙ‍දැදුරන්ට ලබාදී ඊට ප්‍රථම ව කළ යුතු කාර්යයක් පැනවීය. ඒ මුළු තක්සලා භූමියෙහි ම සරා, බෙහෙතකට ගත නොහැකි පැළෑටියක් ගෙනවුත් තමාට පෙන්වන ලෙසයි. මෙකල්හි මෙන් නොව එකල්හි තක්සලා භූමිය ගොඩනැගිලිවලට පමණක් සීමා වූවක් නොවේ; පරක් තෙරක් නොපෙනෙන ඉඩ වපසරියක් මෙන් ම දස දහස් ගණන් පැලෑටි හා ගස් වර්ග ඇති භූමියකි.

අනිද්දා වන විට ගම් රට බලා යෑමට පුළුවන් යැයි සිතූ ජීවක වෙදැදුරු ප්‍රීති ප්‍රමෝදයෙන් ඔපවත් ව හිමිදිරි උදෑසන ම බෙහෙතක් නොවන පැළෑටියක් සොයා තක්සලා භූමිය පිරික්ස‍ීම සඳහා නික්ම ගියේ ය. තක්සලාව පුරා ඔහුට දස දහස් ගණන් පැළ‍ෑටි නම් හමුවුව ද ඒ හැමකකින් ම කිසියම් ම හෝ බෙහෙතක් සාදාගත හැකි බව ජීවක තෙමේ අත්වින්දේ ය. රෑ බෝවීමෙන් හා වෙහෙසින් පීඩාවට පත්ව‍‍ූ හිසින් යුතුව ජීවක වෙදැදුරු දිසාපාමොක් ගුරුතුමන් හමුවට හිස් අතින් ගියේය.

“ආචාර්යතුමනි මුළු තක්සලා නුවර ම ඇවිද්දත් බෙහෙතකට ගත නොහැකි එකදු පැළෑටියක් හෝ හමු ව‍ූයේ නැත.”

ජීවක සිතූ පරිද්දෙන් ආචාර්යවරයා කම්පා ව‍ූයේ නැත. ඉමහත් සතුටට පත් හෙතෙම,

“හොඳයි ජීවක, ඔබ වෛද්‍ය වෘත්තියේ යෙදීමට සුදුසු සහතිකය ලබා තිබෙනවා. ඒ නිසා දැන් ඔබට ඔබේ රටට ආපසු යෑමට හැකියි” පැවැසීය.

සාහිත්‍ය නිර්මාණ සඳහා අත්‍යවශ්‍ය අත්දැකීම් ගැන කිව හැක්කේ ද මෙයම ය. අත්දැකීම් සෑම තැනක ම ද ස‍ෑම ඉසව්වක ම ද තිබේ. ඒවා ඔබ මේ දැන් කරන නිර්මාණයකට අවශ්‍ය නොවූවත් කෙදිනක හෝ කරන නිර්මාණයකට අවශ්‍ය වන බැව් සහතික ය. සෑම අහුමුල්ලක ම අත්දැකීම් පිරී පවතින බව මා ඔබට කියන්නේ ඒ නිසා ය.

‍පියදෝර් දොස්තයෙව්ස්කි සියවසක් පුරා බිහි වූ විශිෂ්ටතම ලේඛකයෙකි. එහෙත් ඔබ දන්නා පරිද්දෙන් ම ඔහු සිය ජීවිතය ගෙවා දැමුවේ පාදඩයකු ලෙස ය. පොත් ලියා දෙන බවට පොරොන්දු වෙත ඔහු පොත් ප්‍රකාශකයන්ගෙන් අත්තිකාරම් ලෙස මුදල් ලබා ගත්තේ ය. සූදු කප්පිත්තකු වූ ඔහු ඒ සියලු මුදල් පැරදී දඩාවතට වැටෙයි. එවිට සිය මුදල් සඳහා ඔහු ලිවීමට පො‍රොන්දු වූ පොත් ඔහුව කාමරයක දමා සිර කර පොත් ප්‍රකාශකයෝ ලියවා ගනිති. අප විස්මයෙන් අලළා කෘති ඔහු අතින් ලියැවී ඇත්තේ එසේ සිරකොට තිබියදී ය. සිතන්න ඔහු ඒ අප පිළිකුල් කරන පාදඩ ජීවිතයෙන් ලද අත්දැකීම් නොවන්නට, සිරගත කර සිටියදී එවැනි ශ්‍රේෂ්ඨ කෘති ලිවිය හැකි වේද? කවදා කෙදින හෝ ලබා ගන්නා අත්දැකීම් නිර්මාණකරණයේදී වැදගත් වන්නේ ඒ නිසා ය.

සාමාන්‍ය පිළිගැනීම අනුව නවකතාවක අත්දැකීම් වපසරිය පටුවන විට එහි පැතිරීම ද සීමාවෙයි. සමාජ පෘථුලකරණය රස වින්දනය සඳහා අනිවාර්යයෙන් බලපෑම් කරයි. පෘථුල අත්දැකීම් ලබාගන්නට නම් නිර්මාණකරුවා ‍මහ සමාජයේ සැරිය යුතු ම ය. රාමායණය, මහාභාරතය, යුද්ධය හා සාමය, අම්මා වැනි කෘති අත්දැකීම් අඩු, අල්ප සමාජාශ්‍රයක් ඇති තැනකින් බිහිවේ යැයි සිතිය නොහැකි ය. ඒවායේ කියැවෙන සමාජ යථාර්ථය කොතරම් ගැඹුරු ද යන්න එවැනි කෘති පරිශීලනය කළ ඔබ දනී. මහ සමාජයක, විසල් අත්දැකීම් වපසරියක් විඳින්නකුට හැරෙන්නට එවැනි ලෝක පූජිත පොත් ලිවීමට වෙනකකුට නොහැකි ය. දාර්ශනිකයන්ගේ පවා සවිඥානික සිතිවිලිවල වැඩි හරියක් ස්වාභාවික ඥානය පිළිබඳ ක්‍රියාවලියෙහි ලා ගිණිය හැකි යැයි ෆෙඩ්රික් නීට්ෂේ පවසන්නේ එබැවිනි.

මේ පොදු අත්දැකීම් පිළිබඳ කතාවෙන් ඔබ්බට යන අතිශය විරල අවස්ථා ද තිබේ. ලෝකයේ හොඳම නවකතා ගණයට ගැනෙන එමලි බ්‍රොන්ටේ ලියූ ‘වදරින් හයිට්ස්’ නවකතාව ඊට කදිම උදාහරණයකි. ඉගෙනීම සඳහා බ්‍රසල්ස්හි ගත කළ කෙටි කාලයක් හැරුණු විට අෑ සිය ජීවිත කාලය ම ගත කළේ සිය පියාගේ දේවස්ථානයේ සිරකාරියක ලෙස ය. ස්වල්පයක් වූ පෞද්ගලික අත්දැකීම් මිස එහි පෘථුල සමාජ අත්දැකීම් නැත.

එහෙත් ඒ පෞද්ගලික අත්දැකීම් පොදු අත්දැකීමක් බවට පෙරළා ගැනීමේ ශක්‍යතාව ඇගේ නිර්මාණ බසේ දැවටී තිබිණි. මෙබඳු ම ශ්‍රේෂ්ඨ නවකතාවක් සේ ප්‍රචලිත ‘මැඩම් බෝවාරි’ ලියූ ගුස්තාව් ෆ්ලෝබෙයාර් පවසන්නේ ද මෙය සිය අත්දැකීම්වලින් ඔබ්බට ගිය මනෝ මූලික කෘතියක් බවයි. එහෙත් ඒ මනෝ මූලික කාරණා සුන්දර ව පොදු අත්දැකීම් බවට පත් කරන්නට කතුවරයා සමත් ය. මේවා පොදු මහ සමාජයේ ජනප්‍රිය අත්දැකීම් නොවුව ද වරින්වර චූල සම්ප්‍රදායේ අත්දැකීම් බවට පත්වූ එවා ය. කෙසේ වෙතත් යම් කිසි ඕනෑම අවස්ථාවකදී නිදහසේ ලද අත්දැකීම් එකී කතුවරුන්ට මඟ පෙන්වන්නට ඇති බව නම් නිසැක ය.

ලේඛකයන්, නිර්මාණකරුවන් සිය අත්දැකීම් නිසි පරිදි නිසි තැනට යෙදිය යුතු ම ය. නැත්නම් ඒ අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත්වී අපට එනම් පොදු පාඨකයාට සෙවණ සලසා දෙන්නේ නැත. තේක්ක ගසෙන් ලබාගත යුත්තේ ගසේ කඳ ය.

කෙසෙල් ගසෙහි ක‍ඳෙන් ප්‍රයෝජනයක් නැත. කිතුල් ගසෙහි කිතුල් ගෙඩිවලින් ඇති ඵලක් නැත. එලෙසම නිර්මාණයට උචිත අත්දැකීම ඒ ඒ අවස්ථානුකූලව යෙදිය යුතු ය. නොගැළපෙන තන්හි යෙදුවාට නිර්මාණයෙන් පලක් වන්නේ නැත. ඔබේ අත්දැකීම් නමැති ගබඩාවෙන් අත්දැකීම් තෝරා බේරා ගත යුත්තේ උචිත අනුචිත බව ගැන නිවැරැදි අවබෝධයෙන් ම ය. මේ තෝරා ගන්නා ක්‍රමවේදය හරියට ම දැනෙන්නේ නිර්මාණයක් කරන විටදී ය. කෙසේ නමුත් නිර්මාණකරණයේ රන්සුනු සොයායන ඔබට කිව යුතුම දෙයක් තිබේ. ඒ නාන්නට නම් වතුරට බැසිය යුතු සේ ම මේ සියල්ල තේරෙන්න නම් නිර්මාණකරණයේ නිරත විය යුතු ම බවයි.

 

[email protected]

අදහස්