එෆ්.එම්. නාලිකා නරකට මෙහෙයවපු හැම මිනිහෙක් ම අද ළතවෙනවා | සිළුමිණ

එෆ්.එම්. නාලිකා නරකට මෙහෙයවපු හැම මිනිහෙක් ම අද ළතවෙනවා

කවියකු, නවකතාකරුවකු, නාට්‍ය නිෂ්පාදකවරයකු, තිර රචකයකු, කෙටිකතාකරුවකු, ගීත රචකයකු, ගුවන්විදුලි පූරකයකු, පරිවර්තකයකු, ජනශ්‍රැති පර්යේෂකයකු, සන්නිවේදන පර්යේෂකයකු ඈ නන්විධ කේෂ්ත්‍ර ඔස්සේ නිර්මාණකරණයෙහි නිරත වන දුර්ලභ ගණයේ මහාචාර්යවරයෙක් අපට සිටියි. හේ ජනසන්නිවේදන විෂය කේෂ්ත්‍රය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියෙක් ද වෙයි. පෘථුල දැනුමකින් හෙබි, නිරන්තර දැනුම් පිපාසාවෙන් යුතු ව ඥාන ගවේෂණයේ යෙදෙන ඔහු අප ගුරුවර මහැදුරු සුනන්ද මහෙන්ද්‍රයෝ ය. හේ නිරන්තර නව අත්හදාබැලිීම් කරන්නේ ය; නව ආඛ්‍යාන රටා සොයා යන්නේය. නව විෂය පථ සොයා යන්නේය; බාල පණ්ඩිත භේදයකින් තොර ව කෙනකුගේ මුවඟින් ගිලිහෙන වදනක අරුත් නිරුත් සොයා යන්නේ ය. තනිව ඒවා ග්‍රහණය කර නොගන්නා හෙතෙම ඒ පිළිබඳ අප ද දැනුම්වත් කරන්නේ ය.

අද වන විට ඉතා ජනප්‍රිය විෂය ධාරාවක් වන ජනසන්නිවේදනය ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ කිහිපදෙනා අතරින් එක් අයෙක් වන්නේ ඔබයි.

1974 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇහුවා, යම්කිසි විශ්වවිද්‍යාලයකට පුළුවන්කමක් තියෙනවද ප්‍රධාන විෂය ධාරා දෙකක් උගන්වන්න කියලා. ඒ සංස්කෘතික අධ්‍යයනය සහ සන්නිවේදන අධ්‍යයනය කියන විෂය ධාරා දෙක. මේකට හේතු වුණේ මුළු ලෝකයේ ම මාධ්‍ය ව්‍යාපෘතියක් අැති වීමත් සමඟ ඊට අනුබද්ධ සාධක දහයක් ගැන ලෝකයේ පුළුල් සාකච්ඡාවක් ඇති වීමයි. ඒවා භාෂා භාවිතය, භාෂණ භාවිතය, රෝපණය, පර්යේෂණය, ලේඛනය, නිර්මාණය, තාක්ෂණය, විවරණය, අන්තර් සංස්කෘතික අවබෝධය සහ අනාගත දැක්ම කියන කාරණායි. මාධ්‍ය භාවිතය නොමඟට ගියොත් ඒකට හේතුව මේ එකක් හෝ අඩු වීමයි. භාෂා කුසලතා, නිර්මාණාත්මක කුසලතා, පර්යේෂණ කුසලතා, පරිකල්පන කුසලතා නැත්නම් එය මාධ්‍ය භාවිතයට හානිකරයි. මේ සඳහා කමිටුවක් පත් කළ යුතුයි කියලා තීරණය වුණා. මමයි, ම‍ගේ මිත්‍ර ජේ. බී. දිසානායකයි තවත් කිහිපදෙනකුයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන අංශයේ මාධ්‍ය භාවිතය, ජනමතය, භාෂා භාවිතය හා පර්යේෂණ ක්‍රම කියන අංශ සඳහා මේක සැලසුම් කළා.

ඒ කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යයන අංශයත් අතු ඉති විහිදමින් වැඩෙනවා. මටත් විමල් දිසානායකටත් ආරාධනාවක් ලැබුණා, මෙබඳු අධ්‍යයන අංශයක් අත්හදා බැලීමේ පුරෝගාමී මෙහෙයක් කරන්න පුළුවන් ද කියලා. ඒ සඳහා විෂයය නිර්දේශයක් සකස් කළ යුතු වුණා. මේකට විමල්ට අමතරව මහාචාර්ය සරච්චන්ද්‍ර, එඩ්වින් ආරියදාස, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, ඩී. සී. රණතුංග වගේ අයත් සහභාගී වුණා. මේ ගැන අපි පර්යේෂණ කරනකොට තේරුණා මෙය බහු විෂයය ධාරාවක් බව. සන්නිවේදන අධ්‍යයන හුදෙකලාව කරන්න බැහැ. භාෂාව, ඉතිහාසය, පර්යේෂණ ක්‍රම, නිර්මාණාත්මක ප්‍රවේශය, සමාජ අත්දැකීම් මේ සියල්ල ම මේ විෂය ධාරාවට අනුව දැනගත යුතුයි. මේවා හැදෑරීමට එතෙර රටවලට යෑමේ අවස්ථාව අපට හිමි වුණා. අපි හදපු විෂය නිර්දේශය බොහෝ ඇගැයුමට ලක්වුණා. සමාජ විද්‍යා විෂය ඉම පුළුල් වෙනවා කියලා බොහෝ අය පැවසුවා. අප මෙය කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කළා. අදටත් ජනසන්නිවේදනය සඳහා විශේෂවේදී ගෞරව උපාධියක් ලබා දෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලය විතරයි.

 

නිර්මාණාත්මක සන්නිවේදනය හා අන්තර් සංස්කෘතික සන්නිවේදනය යන විෂය ධාරා ද්විත්වය ලංකාවට හඳුන්වා දෙන්නේත් ඔබයි.

ඔව්. මම තමයි අලුතින් ම ඒ විෂයය ධාරා හඳුන්වා දුන්නෙ. දැන් මම ඒ විෂයයන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේත් උගන්වනවා. කැලණිය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල උගැන්වීමෙන් තරම් මම වෙන කිසි දෙයකින් සතුටක් ලැබුවේ නැහැ. දැන් පුවත්පත් මණ්ඩලයේ උගැන්වීමත් එහි පාඨමාලා අධ්‍යක්ෂ ව‍ශයෙන් කටයුතු කිරීමත් සතුටක්. මම මේ පිරිසට කියන්නේ නිර්මාණාත්මක සන්නිවේදනය ඉගෙන ගන්නවා නම් ජීවිතයත් හරි පහසුයි කියලයි. අපේ පුවත්පත් කලාවේදීන් තීරු ලිපි, කවි, නවකතා, විශේෂ ප්‍රවණතා, විශේෂ යෙදුම්, ගෝලියකරණයේ නව ප්‍රවණතා වගේ දේවල් ඉගෙන ගන්න ඕන. හැකිතාක් කෙටියෙන් ලියන්න ඉගෙන ගන්න ඕන; ප්‍රශ්න නඟන්න ඉගෙන ගන්න ඕන. තමන්ගේ ම නව නිර්මාණයක් කරන්න ඉගෙන ගන්න ඕන‍. මේවා ඉගෙන ගන්න නම් ඒ ප්‍රවේශ උගන්වන්න ඕන‍.

 

චිරන්තන ගද්‍ය, පද්‍ය සාහිත්‍යයෙන් ලද ඇසුර ඔබේ නිර්මාණ රැසකට පාදක වී තිබෙනවා. නව නිර්මාණකරුවකුට මේ අපේ පැරැණි සාහිත්‍යයෙන් ලද හැකි අාභාසය කවරාකාරද?

චිරන්තන ගද්‍ය සාහිත්‍යයටත් වඩා පද්‍ය සාහිත්‍යය පුදුමාකාරයි. ගුත්තිලය වගේ නිර්මාණයක් කරන්න කොතරම් ප්‍රතිභාවක් තිබිය යුතු ද? ධර්ම ප්‍රදීපිකාව, සද්ධර්මරත්නාවලිය වගේ නිර්මාණ නැවත නැවත කියවා, නැවත නැවත වෙනත් වේශයන්ගෙන් ලිවිය යුතුයි. මේ පැරැණි සාහිත්‍ය නැවැත ලිවීම පිළිබඳ ඉන්දියාව අපට උගන්වනවා. නොබෙල් ත්‍යාගය දිනාගත් රබින්ද්‍රනාථ ඨකූර් ඔහුගේ නිර්මාණ සකස් කරගෙන තිබෙන ආකාරය බලන්න. මහා භාරතය. රාමායණය, පංචතන්ත්‍රය, භගවත් ගීතාව වගේ නිර්මාණවලින් හා ජනශ්‍රැති ඇසුරෙන් ඔහු බෙහෙවින් ආභාසය ලබනවා. මේවා නිරන්තරයෙන් කියැවිය යුතුයි. ඇසුරු කළ යුතුයි. එතකොට බාල, පල් හෑලි ලියන්නෙ නැහැ.

 

අද බොහෝ නිර්මාණකරුවන් මේ දේශීය මූලාශ්‍රයවලට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ බටහිර මූලාශ්‍රය සොයා යන කෘතිවලට නොවේද? ඔබේ "ජීවක වත" නිර්මාණ කෘතිය බොහෝ විචාරකයන් හැඳින්වූයේ කාව්‍ය ග්‍රන්ථයක් ලෙසයි. කුවේණි අස්න, සද්ධර්මාලංකාරය වැනි ග්‍රන්ථවල ස්වරූප එයින් විද්‍යමාන වූ බවවත් ඔවුන් තේරුම් ගත්තේ නැහැ නොවේද?

"ජීවක වත" කියවපු මහාචාර්ය සරච්චන්ද්‍ර මට එවපු ලියුමක් තියෙනවා. "පැරැණි පොතපත කියවා මෙතරම් හාස්කම් ඔබට පෑ හැකි ද යන්න මා තුළ ඇති ‍කළේ සැකයක්. මගේ මුළු ජීවිත කාලය ම මා ගත කළේ එබඳු කාර්යයන් සඳහා ය. බාගදා මේ පොත ජනතාව වැලඳගතහොත් ඔබට මහා කවියකු වීමට නියත විවරණ සැපයෙනු ඇත." මට ඒ ප්‍රීතිය ඇතිවුණාට මොකද, මගේ මිත්‍රයෝ බොහොමයක් ඒ කෘතිය ගැන ප්‍රමාණවත් සැලැකිල්ලක් දැක්වූවේ නැහැ. හැබැයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා මේ ගැන නිතරම කතා කරන කෙනෙක්. "රශ්මි" වැනි කාව්‍ය ග්‍රන්ථයක් ලියපු කෙනකුට මේ තත්ත්වය තේරෙනවා. නමුත් හුඟ දෙනකුට මේක තේරෙන්නේ නැහැ. ලංකාවේ කවීන් බොහොමයක් පැරැණි සාහිත්‍යයෙන් ආභාසය ලැබූවන් නොවෙයි. ඉන්දියානු නූතන කවියෝ එහෙම නොවෙයි. ඔවුන්ගේ ප්‍රධාන ධාරාව සම්භාව්‍ය සාහිත්‍යය හා ජනශ්‍රැතිය. මේ දෙක ම දන්නෙ නැතිව නිර්මාණකරණයේ යෙදිලා වැඩක් නැහැ. මේ කරුණු දන්නෙ නැතිව "විචාරය" කරන්න යෑමත් හොඳ නැහැ. මෙය සංස්කෘතික අමාත්‍යාංශයට අයිති කරුණක්. අද වෙනකොට සංස්කෘතික අමාත්‍යාංශය තමන්ගෙන් කෙරෙන්න ඕන කාර්යයන් අමතක කළ ‍බවක් පෙනෙනවා.

 

චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය හෝ බෞද්ධ සාහිත්‍යය පදනම් කරගත් නිර්මාණ යළිත් පාඨකයන්ට සමීප කරවන ඔබේ මේ ප්‍රතිනිර්මාණිත වෑයමට අනුව, මේ පාදක සිද්ධීන් කාලයත් සමඟ පරිණාමය වී ඇත්තේ සිද්ධියේ බාහිර ස්වරූපයෙන් පමණක් ය කියා ඔබ සිතනවා ද?

අපේ චින්තනය දල්වලා තියෙන්නේ විදේශික දැනුමකින් කියන එක මම ප්‍රතික්ෂේප කරනවා. ඔබත් මමත් මේ කතා කරමින් සිටින වෙලාවේදී අපේ ස්වදේශික දැනුම දල්වලා තියෙන්නේ මේ පොළොවේ පස් මතයි. මම ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙක්නෙ. මට නම් ලැයිස්තුවක් දෙන්න පුළුවන්; මෙන්න මේ බටහිර පොත් ටික කියවන්න කියලා. ඒත් මම ප්‍රතික්ෂේප කරන්නෙ නැත්තේ ඇයි; ගුත්තිලය, හංස සන්දේශය, සද්ධර්මරත්නාවලිය, ජාතක පොත කියවිය යුතු ය කියන එක. අපි මේ ‍කරුණ නැවත නැවත සිතන්න ඕන. ඉතාමත් ම ඉහළ පෙළේ ජනමාධ්‍යකරුවෝ මේක හිතුවා.

මාර්ටින් වික්‍රමසිංහ, ඩී. බී. ධනපාල, බී. ඒ. සිරිවර්ධන, හේමපාල මුනිදාස, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පෙරමුණේතිලක වගේ අය ලියපු ලේඛනවලින් ඔවුන්ගේ දැනුම පෙනුණා.

පසු කාලයේ හරියට එෆ්. එම්. නාලිකා ආවා වගේ විනාශකාරී කර්තෘවරු ටිකක් ඇවිල්ලා මේ උතුම් කලාව විනාශ කරලා දැම්මා. බොහෝ දෙනෙක් මීමන ප්‍රේමතිලක විවේචනය කෙරුවට ඔහු හරිම ස්වදේශික කැක්කුමක් තිබුණු පුද්ගලයෙක්. ඔහු සිළුමිණ පුවත්පතේ විවාද මණ්ඩපයක් නිර්මාණය කළා. ඔබ පෙර සඳහන් කළ අය ඉදිරියට යා යුත්තේ මෙහෙමයි කියලා තරුණ පරපුරට දොරක් විවර කරලා දුන්නා. තරුණ පරම්පරාව නියෝජනය කරන ඔබ වැන්නන් මේ යන්නේ ඒ විවර කර දුන් මාවතේ. එය බටහිරින් ගත් චින්තනයක් නොවෙයි. ප්‍රාචීනවාදී චින්තනය ඥානවන්ත විදියට හසුරුවන්න, පෝෂණය කරගන්න ඔබ දැනගත යුතු වෙනවා.

වැඩිමහල් වුණාම ඔබේ මනසටත් ඉබේ ම මේ ප්‍රශ්නය ඒවි. "මා අතින් සිදු වූයේ අපරාධයක් ද? එසේ නැති නම් සාධාරණ යුක්තිසහගත ජීවන රාමුවක් මැවීම ද?" හැම ජනමාධ්‍යකාරයෙක්ට ම තමන්ගේ මනසින් ඔය ප්‍රශ්නය ගොඩනැ‍ඟෙනවා. එෆ්. එම්. නාලිකා නරකට මෙහෙයවපු හැම මිනිහෙක් ම අද ළතවෙනවා.

 

ඔබ පරාක්‍රම කොඩිතුවක්කු නිර්මාණකරුවාගේ "ඔබ සමඟ" කෘතියේ කතිකාවේදී හරවත් නිර්මාණ බිහි නොවීමෙන් මිනිස් මනසට මේ නිර්මාණ අපථ්‍ය විය හැකි බව පැවැසුවා. ලියෝ තෝල්ස්තෝයිගේ "ගුණාගුණ" නම් ලියැවිල්ල උපුටා දක්වමින් ඔබ කළ මේ ප්‍රකාශය වත්මන් ලේඛක පාඨක දෙපාර්ශ්වයට ම වැදගත් බවයි අපේ හැඟීම.

අද බොහෝ විට තිබෙන්නේ අපථ්‍ය ආහාර. නිර්මාණත් එහෙමයි. අපි සුන්දර දේවල් පවා නිර්මාණය කරන්නේ වැරැදි විදියට. අපි හැමෝම මේ උත්සාහ කරන්නේ අපථ්‍ය ආහාර වත්මන් පරපුර වෙත යෑම වළක්වාලීමටයි. අපි මේ මුළු ජීවිත කාලය ම ගත කරන්නේ අපථ්‍ය නිර්මාණවලින් මිනිස් මනස බේරාගැනීමටයි. තිස්පන් දාහක්, හතළිස් දාහක් විකිණෙන බාල නවකතාවක් මට ලියන්න බැරි ද? ඒ වගේ එකක් ලිව්වොත් ලියලා ඉවර වුණාම මට නින්ද යන එකක් නැහැ නේ. අපට හොඳ බෙහෙත් ටිකක් ගන්න පුළුවන්කම තාමත් තියෙනවා. තාමත් හොඳ නිර්මාණ බිහිවෙනවා. මිනිසුන්ට මේවා අපථ්‍ය ආහාර කියලා තේරෙන්නෙ නැත්තේ ඇයි?

අපට අපථ්‍ය ආහාර සංස්කෘතියක් හැදුවා. ඕන ජරාවක් කියවන්න බලන්න පුළුවන් සමාජයක් නිර්මාණය කළා. වගකිවයුතු සමහරු තාමත් ඉන්නවා. යහපත් නිර්මාණ හෝ හොඳ ගුරුවරු අද නැතිවෙලා ගිහින්.

 

ප්‍රාචීනවාදය අද වන විට ‍මතවාදයක් වශයෙන් යුරෝපයේ ප්‍රචලිත වෙලා තියෙනවා. ප්‍රාචීනවාදී බලපෑම බටහිර නිර්මාණ සඳහා බලපෑවේ කෙසේ ද? මෙය ලංකාවේ නිර්මාණකරුවන්ට නම් අලුත් දෙයක් නො වෙයි...

මැක්ස් මූලර්, ලියෝ ෙතාල්ස්තෝයි, ටී. එස්. එලියට් වගේ අය තම නිර්මාණ සඳහා පාදක කරගත්තේ ප්‍රාචීනවාදය. එලියට් අවසානයේ "ඕම් ශාන්ති ශාන්ති ඕම්..." කියලා කියනවා. ඒක ගත්තේ උපනිෂද්වලින්. ඩී. එච්. ලෝරන්ස් ලංකාවට ඇවිත් "විස්මයජනක මිනිස්සු මේ රටේ ඉන්නේ. හඳ එළියේ බණ අහන මිනිස්සු. මිනිස්සු මැරුණම අඬන මිනිස්සු. ඊට පස්සෙ අනිත්‍ය ගැන බණ අහලා ඔවුන් සිත සනසවාගන්නවා" කියලා කිව්වා. මේ වෙනකොට බටහිර ඔළු නරක් වෙලා තියෙන්නේ. ඔවුන් මේවා සොයා එන්නේ ඒ නිසා.

 

මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, කුමාරතුංග මුනිදාස වගේ පඬිවරුන් මෙය තේරුම්ගෙන නිර්මාණකරණයේ යෙදුණා නේද?

ඔව්. හැබැයි මේ ඔක්කොටමත් වඩා මට සිතෙනවා පියදාස සිරිසේන නැවත සොයා යා යුතුයි කියලා. ඔහු ලියලා තියෙන පොත්වල රහස් පරීක්ෂක තේමාව බටහිරින් අරන් තියෙනවා කියලා කියනවනේ. ඔහු ගත්තේ උම්මග්ග ජාතකය. ‍මහෞෂධ පඬිවරයා තමයි ඔහුගේ නිර්මාණවල එන වික්‍රමපාල. අපි මේවා අර්ථකථනය කරගත යුතුයි.

ඔහුගේ මේ ශෛලිය වැහුණේ ජාත්‍යානුරාගය සහිත ලේඛන නිර්මාණය කිරීම නිසා. දැන් අපේ මනස සකස් කරන්නේ මොනවයින්ද? බටහිර අනුකාරකවලින්. අපට අද පථ්‍ය ආහාර ගත් හොඳ නිර්මාණකරුවන්ගේ හිඟයක් තියෙනවා. වැරැදිලා හරි අද මාර්ටින් වික්‍රමසිංහ කෙනෙක්, සරච්චන්ද්‍ර කෙනෙක්, සෙනරත් පරණවිතාන කෙනෙක්, ආනන්ද කුමාරස්වාමි කෙනෙක්, මුනිදාස කුමාරතුංග කෙනෙක්, කේමදාස කෙනෙක් බිහිවේවි ද? ශ්‍රී රාහුල හාමුදුරුවෝ එදා මෙහෙම කිව්වා. "පොත් නූස්සයි, කද උස්සයි" කියලා. එදා පොත් උස්සන්න පුරුදු නොවුණු කෙනාට කද උස්සන්න වෙනවා. අද එහෙම නෑ.

අදහස්