රටේ ආර්ථිකය කඩාවැටුණේ ප්‍රහාර එල්ල වෙන්න කලිනුයි! | සිළුමිණ

රටේ ආර්ථිකය කඩාවැටුණේ ප්‍රහාර එල්ල වෙන්න කලිනුයි!

රජයට එරෙහිව හදිසියේ විශ්වාසභංගයක් ගෙනාවේ ඇයි?

මේ වෙනකොට ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව කෙරෙහි තිබුණු විශ්වාසය දිගින් දිගට කඩවීමක් තිබෙනවා. 2015 ජනවාරි 8 වැනිදා ජනතාව බලාපොරොත්තු වුණු වෙනස දකින්නට නැහැ. ජනාධිපතිවරයා එක් පැත්තකටත් අගමැතිවරයා තවත් පැත්තකටත් යන තත්ත්වයකුයි දකින්න තිබෙන්නේ. ආණ්ඩුවක් නැති තත්ත්වයක් දකින්න තිබෙන්නේ. ඒ නිසයි අයිඑස්අයිඑස් අන්තවාදී ත්‍රස්තවාදීන්ට හැකියාව ලැබුණේ මෙරට සුළු මුස්ලිම් පිරිසක් හා එක්ව මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ සිද්ධිය වුණාට පසුව වුවත් වගකිව යුතු අය ජනතාව ඉදිරියේ නිර්දෝෂි වෙමින් වෙනත් රජයේ නිලධාරීන් ඒ සඳහා වගකිව යුත්තන් කරන්න උත්සාහ ගත්තා. සිද්ධියෙන් පසුව වුවත් සාධාරණයක් ඉටු වුණේ නැහැ. ඒ නිසා ජනතා විශ්වාසයක් නැති මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවේ ඒ නිසයි.

විශ්වාසභංගයේ අරමුණ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් ලෙස රජය හෝ ජනාධිපතිවරයා හෝ ලක් කිරීමද?

මා මුලින් කීවාක් මෙන් ජනතාවට රජය කෙරෙහි විශ්වාසයක් නැහැ. මුස්ලිම් ජනතාව වසර 1,500ක පමණ කාලයක් තිස්සේ මේ රටේ සහෝදරත්වයෙන් ජීවත් වුණා. අද විශ්වාසය තබන්න ආණ්ඩුවක් නැති ප්‍රශ්නෙයි තිබෙන්නෙ. ඒ නිසා අලුත් ආණ්ඩුවක් පත් විය යුතුයි. ඒ සඳහා ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අරගෙන පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන එක. අනිත් එක පවතින ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙනැවිත් ආණ්ඩුව පරාජයට පත් කර, වෙනත් ආණ්ඩුවක් පත් කරගැනීම‍. මේ ආණ්ඩුව මැතිවරණයකට යන්න සූදානමක් නැහැ. ඒ නිසා විශ්වාසභංගයක් මඟින් ආණ්ඩුව ගෙදර යවා, අලුත් ආණ්ඩුවක් බිහි කිරීමයි අපේ අරමුණ වන්නේ. විශ්වාසභංගයෙන් පෙන්වන්නේ ආණ්ඩුවට ඇති ජනතා විරෝධයයි.

ඒත් ඒකාබද්ධ විපක්ෂය මේ වන විට රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැවිත් තිබෙනවා. ඇයි ඒ අස්සේ මේ විශ්වාසභංගයත් ගෙනාවේ?

විවිධ දේශපාලන කණ්ඩායම් මේ කතාව මතු කරනවා. ඒක හොඳයි. ජනතාවට එයින් හොඳ දේශපාලන දැනුමක් ලැබෙනවා. ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංගයක් තිබෙනකොට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බැහැ කියල කොහේ වත් නැහැ නෙ. ඒ විශ්වාසභංගය ගෙනැවිත් තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය නේ... මේ විශ්වාසභංගය ගේන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. අප ඒකාබද්ධ විපක්ෂයේ සමිතියක්, එහෙමත් නැත් නම් එයාලගේ ශාඛාවක් නොවෙයි නේ... ඒක වෙනම විභාග වෙයි. මේක වෙනම විභාග වෙයි.

එහෙත් ඒ විශ්වාසභංගය මඟින් ඔබ පක්ෂය ආණ්ඩුවට කඩේ යනවා කියලා චෝදනාවක් නැ‍ඟෙනවා...

ඔය කතාව කියන්නේ ඒකාබද්ධ විපක්ෂය නේ... එයාල එහෙම කියන්න ඕනෑ තමයි. මොකද, ඊළඟට බලයට එන්න බලාගෙන ඉන්න පක්ෂය හැම තිස්සෙම කියන්නෙ ආණ්ඩුව එළවන්නෙ අපි, ආණ්ඩුවට විරුද්ධ අපි කියන එක නේ! අනෙක් හැම පක්ෂයක්ම ආණ්ඩුවට කඩේ යන අය ලෙසයි පෙන්වන්න ඕනෑ. ඒකට එයාලාගේ න්‍යායපත්‍රයට අනුව වැඩ කරන මාධ්‍ය ආයතන කිහිපයක් -විශේෂයෙන්ම විද්යුත් නාළිකා කිහිපයක්- සමඟ ඒ කටයුත්ත කරනවා. ඒක ඒ අයගේ දේශපාලන න්‍යායපත්‍රය. අපි මේ ආණ්ඩුවටමයි විශ්වාසභංගය ගේන්නෙ. ඒකාබද්ධ විපක්ෂය හදන්නේ ආණ්ඩුවේ සේරම පව් එක ඇමැතිවරයකු හරහා යවන්න. ඇමැතිවරුත් සියලු දෙනාම මේ සියලු ව්‍යසනවලට වගකිව යුතුයි. ඒත් ආණ්ඩුවටමයි අපි විශ්වාසභංගය ගෙනැවිත් ඇත්තේ. හරි නං ඒකාබද්ධ විපක්ෂයයි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ගෙන ආ යුත්තේ.

ඇමැතිවරුන් සියලු දෙනා වගකිව යුතු බව පවසනවා නම්, රිෂාඩ් බදූර්දීන්ට එරෙහි විශ්වාසභංගයේදී ඔබ පක්ෂය ඡන්දය භාවිත කරනවාද?

පැහැදිලිවම, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන එන අපට ඒ ආණ්ඩුවේ ඉන්නා සියලු මැති-ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කළ හැකියි. ඒක එක් ඇමැතිවරයකුට කියා වෙනසක් නැහැ. හෙට තවත් අයකුට ගේන්න, අප ඊටත් සහාය දෙනවා.

ඒත් එස්බී දිසානායක මහතා පැහැදිලිවම පවසා තිබෙනවා ඔවුන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ඡන්දය නොදෙන බවක්...

එක එක පුද්ගලයන්ට න්‍යායපත්‍ර තිබෙනවා නේ. අපටත් න්‍යායපත්‍රයක් තියෙනවා. ඒත් පක්ෂයක් විදිහට අපට පෞද්ගලික න්‍යායපත්‍ර නැහැ. එස්බී හිටපු ඇමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නේ. ඒ කියන්නෙ ජනාධිපතිතුමා නියෝජනය කරන්නෙ. ඒ නිසා ඒ අයට එක එක න්‍යායපත්‍ර ඇති. අපි ඒ ගැන කතා කළ යුතු නැහැ. අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගයටත් අප ඡන්දය දුන්නා.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන ඔබ පක්ෂය සෑහීමකට පත් වනවාද?

රටක ජාතික සමඟියක් නැති වන විට අන්තවාදි කල්ලි හිස ඔසවනවා. එවිට මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව නිසි පරිදි ස්ථාපිත කරන්න බැහැ.

අලුයට ගිනිපුපුරු වගේ මේ දේවල් තිබෙන්න පුළුවන්. සිංහල ජාතිවාදීන් යවලා ඡන්ද කොල්ල කන්න බලාගෙන ඉන්න සිංහල දේශපාලනඥයන් ටිකක් ඉන්නවා. ඒ වගේම තමයි මුස්ලිම් ජාතිවාදීන් යවලා ඡන්ද කොල්ල කන්න බලාගෙන ඉන්න මුස්ලිම් දේශපාලනඥයන් ටිකකුත් ඉන්නවා. මේ අන්තවාදී බලවේග සමඟ ආරක්ෂාවක් ගැන හිතන්න බැහැ. කොහොම නමුත් අපේ ආරක්ෂක අංශ මේ වන විට පසුගියදා ඇති වූ සිද්ධීන් වෙනුවෙන් උපරිම කැපවීමක් දරා ආරක්ෂාව යම් දුරකට තහවුරු කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ ස්තුතිය පළ කරනවා.

රටක විවිධත්වයක් තිබිය යුතුයි. එහෙත් රටේ නීතිය හා සංස්කෘතිය එකක් විය යුතුයි. මම ගෙදර ඉන්න විදිහට මට පාරේ යන්න බැහැ. ඒ තත්ත්වය අපි හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි.

රටේ ආර්ථිකය නැංවීම ගැන පක්ෂය කරන යෝජනාව කුමක්ද?

මේ ප්‍රහාර එල්ල වන්නත් කලින් සිටම රටේ ආර්ථිකය කඩාවැටිලා තිබුණේ. ඒ ගැන යළිත් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මේ සිදුවීම් නිසා එය තවත් පහළට වැටුණා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය පහළටම වැටුණා. අපේ අන්තවාදීන් කල්පනා කළ යුතුයි මේ අවස්ථාවේ මැද-පෙරදිග අපේ රටේ අය ලක්ෂ 20ක් පමණ සේවය කරන බව. ඒ වගේම අපේ අපනයන රැසක් මැද-පෙරදිගට යනවා. අපේ ආර්ථිකය තවත් පහළට යන දේවල් තමයි අපිට පහුගිය 13 වැනිදා සිට දකින්න ලැබුණේ. ඒ වගේ සිදුවීම් නිසා ආර්ථිකය තවත් පහළට වැටෙනවා. ඒවා කළේ සංවිධානාත්මක සිංහල අන්තවාදී පිරිස් විසින්.

Comments