පාස්කු ප්‍රහාරයේ අළු මතින් රට නැඟෙන හැටි! | සිළුමිණ

පාස්කු ප්‍රහාරයේ අළු මතින් රට නැඟෙන හැටි!

තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් විසින් ඉකුත් පාස්කු ඉරිදා දිනයෙහි එල්ල කරන ලද අශිෂ්ට හා ම්ලේච්ඡ ප්‍රහාරයට මසක් සම්පූර්ණ වී තිබේ. ඒ මෘග ත්‍රස්තවාදයට බිලි වූ මෙන්ම ඉන් ආබාධයට පත් වූ සියලු ජනතාවගේ දුක්, සුසුම් හා කඳුළු යළිත් අලුත් වූ අයුරු ද රට ම රූපවාහිනී හා මුද්‍රිත මාධ්‍යයෙන් බලා සිටියේ වේදනාත්මක සැමරුම් මැඩගෙන ය. ලංකාව තුළ ක්‍රියාත්මක වූ ඒ ක්‍රෑර ත්‍රස්තවාදයේ වගකීම බාරගත් අබූබකර් බැග්ඩෑඩ් නමැති අධම රකුසාගේ කටහඬ යළිත් ඇසූ ඇමරිකාව ප්‍රමුඛ බොහෝ රටවල් තවමත් විස්මයට පත්ව සිටියි. එයට හේතු වූයේ අයි.එස්. නායකයා ලෙස කුප්‍රකට ව සිටි ඒ අබූබකර් නමැති ත්‍රස්තයා මිය ගිය බවට ඇමෙරිකානු ඔත්තු සේවා විසින් කරන ලද අනුමානය බිඳ වැටීම ය. දැනට වාර්තා වී තිබෙන ආකාරයට නම් මේ ත්‍රස්තවාදී නායකයා අවසන් වරට සිය හඬ අවදි කර ඇත්තේ 2014 ජුලි මාසයේදීය. කෙසේ හෝ ඒ කුප්‍රකට ඝාතකයා විසින් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් එල්ල කරන ලද ඒ ප්‍රහාරය සාමාන්‍ය ගණයේ ත්‍රස්තවාදී ප්‍රතිචාරයක් නොවන බව තවමත් වටහා නොගත් පිරිස් ද සිටිති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා (18) වලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පැවැත්වුණු වෙසක් පොහොය නිමිත්තෙන් පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවයේදී සඳහන් කළේ ද අප්‍රේල් 21වනදා එල්ල වූ එ් ප්‍රහාරය පිළිබඳ වැරදි අර්ථ කථන සමාජගත වූ බව ය. ජනාධිපතිවරයා නිවැරදි ව දැක් වූ පරිදි ම එය ආගමික අන්තවාදයක් පමණක් නොව, නව මාදිලියක අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව අප වටහා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ බිහිසුණු ලේ වැගිරීම් දෙකක අමිහිරි අත්දැකීම් අපට තිබේ. ඉන් පළමුවැන්න 1971 කැරැල්ල ය. දෙවැන්න ඒ හා සැසඳිය නොහැකි ලොව භීතියෙන් මුසපත් කළ මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළ කුප්‍රකට ප්‍රභාකරන්ගේ තිස් අවුරුදු ම්ලේච්ඡ ත්‍රස්තවාදයයි. එහි තෙවැන්න ඒ අවිචාර භීෂණයටත් නෑකම් කියන එහෙත් ඊට වඩා ගුප්ත හා සංකීර්ණ මේ අන්තවාදී නව ත්‍රස්තවාදයයි. ප්‍රභාකරන් යනු මනුෂ්‍ය ඝාතනය හා රාජ්‍ය පාලනය අකර්මණ්‍ය කිරීම පිළිබඳ බිහිසුණු ම මතකයකි. විවිධ ජනසංහාර, සමාජ, දේශපාලන හා ආගමික සංස්කෘතීන් සමූල ඝාතනය එකල මහා පරිමාණයෙන් සිදු විය. එහෙත් මේ පාස්කු ප්‍රහාරය අප කෙසේ තේරුම් ගත යුතුද? කිතුනු බැතිමතුන් හා සංචාරක ආර්ථිකය කේන්ද්‍ර කරගත් මෙකී ප්‍රහාරයේ මෙහෙයුම, උල්පත මතු පිටින් දිස්වන මුස්ලිම් ආගමික අන්තවාදය ම ද යන ප්‍රශ්නය ගැඹුරින් විමසා බැලීම ද මෙහිදී අතිශයින් ම වැදගත් වේ.

දේශපාලන, සමාජ ක්ෂේත්‍ර වල පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු වූ බොහෝ සංවාද නිසරු ප්‍රලාප වලට වඩා වැඩි දෙයක් නොවූ බව අපගේ අදහස ය. ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයාට පැවරීමේ අභිලාෂය පමණක් නොව එයට මුවා වී පටු දේශපාලන අරමුණු දිනා ගැනීම හා වෙනත් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමටද සමහරු නොපසුබට වූහ. තවත් සමහරු ජනාධිපති, අගමැති යන දෙදෙනාට ම චෝදනා පත්‍ර ඉදිරිපත් කළහ. එසේම රාජපක්ෂවරුන්ටත් ගලක් දෙකක් ගැසීමට ද සමහරුන්ට අවශ්‍ය විය. එහෙත් රටේ බහුතර ජනතාවගේ මෙන්ම ආගමික නායකයන්ගේ ප්‍රතිචාර එයට ඉඳුරා වෙනස් වූ බව අපි දිටිමු. මානව දයාවෙන් විපත දෙස බැලීමටත් විපතට පත් වූවන්ගේ කඳුළු වල, ලේ වල හා සුසුම් වල වර්ගවාදී හා ආගම්වාදී ලකුණු නොවූ බව වටහා ගැනීමටත් බොහෝ දෙනෙක් සමත් වූහ.

මෛත්‍රීපාල ජනාධිපතිවරයා හාත්පස කෙරෙන චෝදනා, ගැරහුම් අවමන් නොතකා වහ වහා අවශ්‍ය පියවර ගැනීමට සමත් වීම මේ විපතින් මෙසේ ගොඩ ඒමට මනා පිටුවහලක් විය. ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමත් පොලිසියට හා සිවිල් ආරක්ෂක අංශ කළමනාකරණය කිරීමත් අකුරට ම සිදු විය. සමාජ ජාලා හා කට කතා ගෙන යන සුළඟ ද අක්‍රිය වන තරමටම ආරක්ෂක අංශවල හා පොලිසියේ මෙහෙයුම් ජාලය ප්‍රබල විය. ආරක්ෂක ප්‍රධානීන් සමග නිබඳ සාකච්ඡා කිරීම මෙන්ම දේශපාලන ආගමික නායක සමුළු ක්‍රියාත්මක වීමද නිසි අයුරින් සිදු විය. තානාපති අංශ සමගද ප්‍රබුද්ධ සබඳතා ගොඩනැඟී තිබුණි. ප්‍රහාරයේ සියලු රහස්, මෙන්ම අවි ආයුධ ඇතුළු බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය. ප්‍රාදේශීය වශයෙන් ජනතා කුපිත කරවීමේ ප්‍රාථමික සැලසුම් ද පරාජය කළ හැකි විය.

මේ සියල්ලෙහි අග්‍රඵලය වූයේ මාසයක් වැනි කාලයක් ඇතුළත සමාජගත වූ බිය දුරු වීමත් ජන ජීවිතය ක්‍රමයෙන් සමාන්‍ය තත්ත්වයට පත්වීමත් ය. අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ මෙන්ම දේශීය වශයෙන් ඒවා අතැඹුලක් සේ දන්නා විශේෂඥයන් ලෙස පිළිගත් අයගේ නර්මාලාප හා වහසි බස් ද ශුන්‍ය කරමින් මෛත්‍රී ජනාධිපතිවරයා ඒ අර්බුදයට සාර්ථකව මුහුණ දුන් බව අද කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ජනාධිපතිවරයාට මෙරටේ ත්‍රස්තවාදය පිළිබඳ වූ ප්‍රාමාණික අවබෝධය මෙන්ම ඔහු සතු දේශපාලන විඥානය ද මේ කාර්යභාරය නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ඉවහල් වූ බව නිසැක ය. 1971 කැරැල්ලේදී නිරපරාදේ හිරගෙයක රැඳ වූ ඔහුට ප්‍රභාකරන්ගේ ජනඝාතක භීෂණයේදීත් විවිධ අත්දැකීම් ලැබුණි. එමතු නොව ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගෙන් ජීවිතය රැකගැනීමේ භාග්‍යය ද හිමි විය. මේ ලේ වැගිරීම් දුටු අයෙක් ලෙස මෙන්ම ඒවා පිළිබඳ ගැඹුරු කියැවීමක් ද සහිත දේශපාලන විචක්ෂණ භාවයකින් යුතු නායකයකු ලෙස ද පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීමට ඔහු සමත් විය. ආණ්ඩුව තුළින් ද බොහෝ විට විවේචන එල්ල විය. විපක්ෂයෙන් ද එබඳු ම ප්‍රතිචාර ලැබුණි. එහෙත් නොසැලී ඒ සියල්ල දරාගෙන රට ක්‍රමයෙන් උඩට ගැනීමට මෛත්‍රී ජනාධිපතිවරයා සමත් විය. ප්‍රහාරයේ වගකීම හා එහි ව්‍යාප්තිය පිළිබඳ රටට හෙළි කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කමිටු වාර්තාවේ ඇතැම් නිර්දේශ ද මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ අතර නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලින් උපුටා දැමීමේ ක්‍රියාදාමයක් ද සැකැසෙමින් තිබීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. ජනාධිපතිවරයා මේ ප්‍රහාරය හැඳින්වූයේ නව මාදිලියේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාදාමයක් ලෙස ය. බොහෝවිට මතුපිටින් පෙනෙන මුස්ලිම් අන්තවාදය ඉක්මවා ගිය අන්තර්ජාතිකතලයේ කොතැනක හෝ මුල් ඇද තිබෙන බිහිසුණු ප්‍රචණ්ඩත්වයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය ජනාධිපතිවරයා නිවැරදිව තේරුම් ගෙන ඇත. දේවස්ථාන හා සංචාරක හෝටල් කීපයක් වෙත අනපේක්ෂිත ලෙස මෙබඳු ප්‍රහාරයක් එල්ල වීමට තිරසාර විසඳුමක් අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ද එනිසා ම ය. මේ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අලුතින් නීතිරීති අවශ්‍ය බව ද මෛත්‍රී ජනාධිපතිවරයා වටහා ගෙන සිටියි. වාර්ගික හා ආගමික සුහදතාව වර්ධනය කිරීම සඳහා මේ අලුත් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතු බව ජනාධිපතිවරයාගේ දේශපාලන ආස්ථානය වී තිබේ.

ශ්‍රී ලාංකික ජාතියක් හා එක රටක් ගොඩනැඟිය යුතු බවට වේදිකාවල ඇසෙන අඬහැරවලද අඩුවක් නැත. එහෙත් කිසිදු දේශපාලන සමාජ සංවිධානයක් ඒ සඳහා සාධනීය මැදිහත් වීමක් කර තිබේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ සඳහා වු යෝජනාවලියක් සම්පාදනය වී ඇත්තේ ඒ සමාජ දේශපාලන අභිලාෂය යථාර්ථයක් කරවීමට ය. මේ වන විට එකී යෝජනාවලිය ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවේ සභාපති මලිත් ජයතිලක මන්ත්‍රීවරයා වෙත බාර දී ඇතැයි ද වාර්තා වේ. සත්තකින් ම ශ්‍රී ලංකාව රටක් ලෙස ජාතියක් ලෙස සුරැකීමටත් ස්ථාවර කිරීමටත් නීති පද්ධතියක් අත්‍යාවශ්‍ය බව රහසක් නොවේ. මෙබඳු නව මාදිලියේ ප්‍රහාර වලට මුහුණ දීමට නම් එබඳු ශක්තිමත් ආරක්ෂාවක් රටට තිබිය යුතු ම ය. අපේ සියලු වාර්ගික හා ආගමික කණ්ඩායම් එකමුතු කිරීම, එක පෙළට සිටුවීම මෙන්ම ඒ ඒ කණ්ඩායම් වල අනන්‍යතාව සුරැකීම ද ජාතික ආරක්ෂාවේ පදනම ලෙස ජනාධිපතිවරයා තේරුම් ගෙන සිටියි. ප්‍රචණ්ඩත්වය හා වෛරය පතුරුවමින් ජනතාව භේද භින්න කරන දේශපාලනය අවසන් කළ හැක්කේද එබඳු සම්මුතියකින් පමණි.

ශ්‍රී ල.නි.ප. යෝජනාවලිය ලෙස ඉදිරිපත් වන්නේ ජාතික සමගිය ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය සමාජ නිර්ණායක ය. අද අපේ අධ්‍යාපනයේ සැබෑ චිත්‍රය කුමක්ද? යටත් විජිත ක්‍රමයට ගැළපුණු ඒ අධ්‍යාපන වර්ග කිරීම් වලින් අත්මිදීම කාලීන අවශ්‍යතාවකි. සියලු දරුවන්ට එක වහලක් යට එකට හිඳගෙන අධ්‍යාපනය ලැබීමේ අවකාශ අද නැත. විෂය නිර්දේශ වල අප්‍රමාණ භේද පමණක් නොව ජාතික සංස්කෘතික අනන්‍යතාව බිඳ හෙළන පෙලඹවීම් ද ඇත. ඉතිහාසය හා සමාජ සංස්කෘතික උරුමයන් විෂය නිර්දේශ වලින් සියුම් ව ඉවත් කරනු ලැබ තිබේ. මෙරටේ පෙර පාසැල් අධ්‍යාපනයේ ද පූර්ණ විප්ලවයක් අවශ්‍ය ය. උසස් අධ්‍යාපනය ඇතුළු පාඨමාලා සඳහා ජාතික වටිනාකම් මිණුම් දණ්ඩක් ලෙස ගැනීමේ වගකීමෙන් ද අපේ අධ්‍යාපනය ඈත් වී තිබේ. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් ලෙස සලකා කටයුතු නොකිරීමේ වරද නිවැරදි විය යුතුය යන්න ජනාධිපතිවරයාගේ ආස්ථානයයි.

අප්‍රේල් 21දා ප්‍රහාරයත් සමඟ ආන්දෝලනාත්මක මාතෘකා බවට පත්ව තිබෙන මද්‍රසා පාසැල් හා මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය බිහිව ඇත්තේ නව මාදිලියේ ත්‍රස්තවාදයට අවශ්‍ය මානසික විකෘතීන් වර්ධනය කිරීමට බව ද තහවුරු වෙමින් තිබේ. මද්‍රසා නමැති අරාබි පැසල් වලට එල්ල වී තිබෙන චෝදනා පත්‍රය සුළුපටු එකක් නොවේ. මද්‍රසා යනු අන්තවාදී මුස්ලිම් ඉගැන්වීම් සිසුන්ගේ මනසට රිංගවන ආයතන බව හඳුනා ගෙන තිබේ. මෙරටේ මද්‍රසා පාසල් 250ක් පමණ ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ ව අප විසින් කරන ලද විමසුමකදී අනාවරණය වූයේ මද්‍රසා පාසැල්වල හිස්ල් හා කිතාබ් වශයෙන් විෂය මාලා දෙකක් තිබෙන බව ය. කුරාණය කටපාඩම් කිරීම හිස්ල් විෂය මාලාවට ඇතුළත් ය. කිතාබ් හදාරා මව්ලව් කෙනෙකු විය හැකිය. මෙරටේ පළමු මද්‍රසා පාසැල පුත්තලම ප්‍රදේශයේත් තවත් පාසලක් පානදුර ප්‍රදේශයේත් තිබෙන බවත් හෙළිවී ඇත. පිරිමි පාසල්වලට අමතරව ගැහැනු ළමයින්ට වෙන ම පාසල් තිබෙන බව ද කියති. මේ හැම පාසැලක ම දැඩි පාලන නීති ක්‍රියාත්මක වීම ද පොදු ලක්ෂණයකි. ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව තහනමට ලක් වුවත් එම සංවිධානවල ජාතික තව්හිද් ජමාත් හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆී සෙයිලාන් සංවිධානවල දේශකයන් හා ගුරුවරුන් ද මේ සමහර පාසල්වලට සෘජු ව ම සම්බන්ධ වී සිටි බව ද කියති. එපමණක් නොව මෙ රටට පැමිණි ජාතික හා ආගමික සංස්කෘතික දේශකයන්ගේ වැඩ මුළු පවා සමහර ආයතනවල සිදුවන බව ද හෙළි වී තිබේ.

මේ සියල්ල නිවැරදි කර ගැනීම සඳහා ජාති, ආගම් අනුව තිබෙන අමත්‍යාංශ වෙනුවට එක් ප්‍රධාන ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටු වීමට ද ශ්‍රී ල.නි.පය යෝජනා කර තිබේ. එසේම විවිධ රටවලින් මෙරටට ගලා එන අරමුදල් සඳහා නිසි අධීක්ෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් ද වේ. ආගමික සිද්ධස්ථාන හා යාඥා මධ්‍යස්ථාන පිළිබඳ පොදු නීතිරීති මාලාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ද ඔවුහු පෙන්වා දෙති. මෙහි ඇතුළත් අගනා යෝජනාවක් නම් ජාති, ආගම්, කුල, ප්‍රදේශ පදනම් කරගත් දේශපාලන පක්ෂ ලියා පදිංචිය වැලැක්වීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමය. ඒ අදහස සමාජ, දේශපාලන හා ආගමික කේෂ්ත්‍ර වල ද මතු වී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිංහල බෞද්ධ හා කිතුනුවන් මෙන්ම දෙමළ, හින්දු හා මුස්ලිම් ජන කොටස් වලටද තම හෘදය සාක්ෂිය සමඟ සංවාදයකට අවකාශ සැලසුණු බව ද අපි දනිමු. විශේෂයෙන් මුස්ලිම් සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ මුස්ලිම් නායකයන්ගේ අවධානය යොමු වීම ද යහපත් ප්‍රවණතාවකි. බුර්කා, නිකාබ්, හිජාබ් වැනි සංස්කෘතික අංග ශ්‍රී ලාංකිකත්වයට යෝග්‍ය වන ආකාරයට සකසා ගැනීමේ වගකීම ඒ සමාජ ක්‍රියාධාරීන්ගේ වගකීමකි. කිසියම් සංස්කෘතික අනන්‍යතාවක් ප්‍රතිසංශෝධනය විය යුතු නම් එයට පරිබාහිර අය අත පෙවීම් නොකළ යුතු බව සැබෑ සිංහල බෞද්ධයෝ දනිති. ඔවුන්ට ඒ සඳහා වචීපරම දේශපාලනඥයන්ගේ ව්‍යාජ මඟ පෙන්වීම් අවශ්‍ය ම නැත. අනාදිමත් කාලයක සිට මෙරටේ ජීවත් වූ මුස්ලිම් ජනතාව සමග සිංහල සමාජය ගොඩනඟා ගත් සහජීවනය බිඳ දැමූ දේශපාලන මෙහෙයුම් කළ අය එයට වගකිව යුතු වෙති. එසේම ලංකාව මිදුල කරගෙන අරාබිය නිවස කර ගැනීමේ මුස්ලිම් අන්තවාදය මේ සංහිදියාව බිඳ දැමු බවද මතක් කළ යුතුය.

මේ මුස්ලිම් අන්තවාදයේ කුරිරුම ප්‍රතිඵලය ලෙස බිහි වූ තව්හිද් ජමාත් කල්ලියේ විෂබීජ මර්දනය කළ යුතු බවට විවාදයක් නැත. මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිධුර හෙබ වූ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතැම් මුස්ලිම් නායකයන්ට නමින් ම කරන චෝදනා ගැන ද අවධානය යොමු කළ යුතුය. එසේම යහපාලන ආණ්ඩුව සමග එදා සිට ගත් අතුරලියේ රතන හිමියන්ගෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් වූ මුස්ලිම් දේශපාලන චරිත කීපයක් ද වෙති. එමතු නොව පාර්ලිමේන්තුව උණුසුම් කළ විශ්වාසභංග යෝජනා වලට මුහුණ දී ජනමනස තුළ තිබෙන අඳුර දුරලීම ද ආණ්ඩුවේ වගකීමකි.

ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගැනීමට මැලිවන ඇන්ජීඕ නඩ පමණක් නොව දේශපාලන විකට රූප ද ජනතාව ඉඳුරා දනිති. මේ සිංහල බෞද්ධ විරෝධය හීන් නූලෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට රිංගවා ගැනීමට ගෙන ගිය ව්‍යාපාරය පරාජය වුවද එය යළි ඕනෑම ආකාරයකින් මතු විය හැකි බව ද අප තේරුම් ගත යුතුය. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ස්වදේශීය නැඹුරුව හා ජාතික සමගිය තහවුරු කිරීමේ දේශපාලන ප්‍රබුද්ධත්වය සමහරුන්ට නොදිරවන බව ඉතා පැහැදිලිය. මෛත්‍රී දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රබල ප්‍රතිපත්ති බවට පත්ව තිබෙන මත් ජාවාරම් මැඩලීම මෙන්ම, දුගීභාවය තුරන් කිරීම මත පදනම් වූ ග්‍රාමශක්ති වැඩ සටහන හා සමාජ සාරධර්ම ඔසවා තබන බක්මහ දිවුරුම වැනි සාධනීය සැලසුම් සියල්ලක් ම දුබල කිරීමේ අවශ්‍යතාවක් ද නව ත්‍රස්තවාදී අන්තවාදයට තිබුණු බව කල්පනා කළ හැකිය. 2015 බල පෙරළිය සඳහා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගත් මෛත්‍රීගෙන් බටහිර අධිරාජ්‍යවාදයට හා දෙමළ බෙදුම්වාදයට එල්ල වූ ප්‍රබල විරෝධය බටහිරයන් මෙන්ම දෙමළ ඩයස්පෝරාව ද අපේක්ෂා නොකළ එකකි. ආණ්ඩුව හා ජනාධිපතිවරයා අතර ඇති වූ ප්‍රතිපත්තිමය ගැටුම රටේ යහපතට ඉවහල් වූ ආකාරය ජනතාවද දන්නා කරුණකි. ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇතැයි විලාප නගමින් ගෙන ගිය පුහු ඝෝෂාව මැඩගෙන රටත් ජනතාවත් මේ ඛේදවාචකයෙන් මුදා ගැනීමට තරම් ප්‍රබල දේශපාලන විඥානයක් හා රාජ්‍යතාන්ත්‍රික දැක්මක් මෛත්‍රී සතු වීම බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ දෙයකි. ආණ්ඩුව සම්බන්ධයෙන් අද ජනතාවට තිබෙන විවේචනය, රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීගේ ඇඟට දමා අත සෝදා ගැනීමට ආණ්ඩුවේ ම සමහරුන්ට ඕනෑ වී තිබෙන බව ද පෙනේ. රට අස්ථාවර කර සිය දේශපාලන ඉලක්ක සපුරා ගැනීමේ දේශපාලන බොරදිය පොකුණ සකස් කර ගැනීමට ද සමහරු ප්‍රිය කරති.

පහළ මධ්‍යම පන්තියේ බහුතරයක් මෙන්ම ඉහළ පන්තියේ සෑහෙන පිරිසක් ද මේ ආණ්ඩුව පිළිබඳ ව කලකිරී සිටින බවද සැඟවිය නොහැකිය. ශ්‍රී ල.නි.පය මත පදනම් ව ඒ සමාජ පන්තිය විසින් අත්පත් කර ගන්නා ලද බොහෝ ජයග්‍රහණ අද අහිමි වී තිබෙන බව ද ඔවුහු වටහා ගෙන සිටිති. ශ්‍රී ල.නි.ප. බිඳ ගෙන ගොඩ නැංවු පොහොට්ටුව තුළ වුව ද ඇත්තේ ඒ සමාජ තීරූව මිස අලුත් ශක්තියක් නොවේ. මේ ශක්තීන් දෙකම එක්තැන් කළ යුතු බව නිවැරදිව තේරුම් ගත් පිරිසක්ද සිටිති.

Comments