පාස්කු දා ප්‍රහාරය විපතක් කළා වගේම අපේ ඇසුත් ඇරියා | සිළුමිණ

පාස්කු දා ප්‍රහාරය විපතක් කළා වගේම අපේ ඇසුත් ඇරියා

රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මඟින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව විධියට මුහුණ දෙන්නේ කෙසේද?

ඔහුට එරෙහිව පවතින කරුණු පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට පසුගිය දා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව විශ්වාසභංගයට ප්‍රථමයෙන් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වනවා. එහිදී ඔහු වරදකරු වුණොත් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. විශ්වාසභංග යෝජනාවට දින නියම වූ පසු ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ සාකච්ඡා කරනවා.

විශ්වාසභංගය විභාගයට නොගෙන තේරීම් කාරක සභාවක් පත් කරන්නේ කල්මැරීමට බවට චෝදනාවක් නැ‍ඟෙනවා...

එහෙම කල්මැරීමක් මෙතන නෑ. සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් කරන්න ඕනෑ. රිෂාඩ් ඇමැතිවරයාට එරෙහිව පවතින චෝදනා ඔහු පිළිගන්නේ නෑ. එහෙම නම් ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න ඕනෑ. පරීක්ෂණයෙන් වැරදිකරු වුණොත් අනිවාර්යෙන්ම රිෂාඩ් ඇමැතිවරයා ඉවත් වෙන්න ඕනෑ.

මොකක්ද මේ රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයාට ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් වන ලෙස ආරාධනා කර ඇතැයි කියන ප්‍රකාශය?

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයා කිව්වා ඔහුට ඒකාබද්ධ විපක්ෂය හා එක් වන ලෙස ආරාධනා ලැබී ඇති බව.

එක් අතකින් විශ්වාසභංග ගෙනඑන අතරේ අනෙක් පැත්තෙන් තම පාර්ශ්වය හා එක් වන ලෙස ආරාධනා කිරීම පරස්පර විරෝධි නොවේද?

මේ රටේ දේශපාලනයේ හැටි තමා ඔය. හැම කෙනෙක්ම හදන්නේ බලය ලබාගැනීමයි. රිෂාඩ්ට විල්පත්තුවේ ඉඩම් දුන්නේ කවුරුද? ඔහුම කියනවා එජාප රජයෙන් එයාට බිම් අඟලක්වත් නොලැබුණු බව. මා ළඟ තිබෙනවා වීඩියෝවක් බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා විල්පත්තුවේ පල්ලි 240ක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි එයා හැදුවා කියලා.

පාස්කු ඉරිදා ප්‍රහාරය කලින් දැනගැනීමට ලැබිලාත් ක්‍රියාත්මක වුණේ නෑ කියා රජයට ප්‍රබල චෝදනාවක් එල්ල වනවා. නඩු කීපයකුත් උසාවියට ගොනු කර තිබෙනවා නේද?

මේ ප්‍රහාරය නතර කරගන්න හැකියාව තිබුණා නම් ඉතා හොඳයි. ඒත් ලෝකයේ කොහේවත් මෙවැනි ප්‍රහාර නවත්වාගන්න හැකියාවක් ලැබී නෑ. ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ සංකීර්ණයට ගැහුවා. ප්‍රංසයට ගැහුවා. පාකිස්තානයට ගැහුවා. නවසීලන්තයේ පල්ලියකට පහර දුන්නා. මේ වගේ සිද්ධි හැම රටකම සිදු වෙලා තියනවා. බුද්ධි අංශ කොච්චර දියුණු වුණත් ඒ රටවලටත් ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර එල්ල වුණා. හැබැයි මේ ප්‍රහාරයෙන් පස්සේ අපේ ආරක්ෂක අංශ ත්‍රස්ත්‍රවාදීන් පසුපස හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගත්තා. මෙහෙම දෙයක් වුණේ නැති නම් ඊටත් වඩා විනාශයක් ඉදිරියේදී වෙන්න තිබුණා. මේ ප්‍රහාරය නොවුණා නම් මෙලෙස ත්‍රස්ත්‍රවාදීන් හොයන්නේ නෑ නේ? එහෙනම් අපි 21 පාසල් පටන් ගන්නවා. මැයි 1 කම්කරු දිනය සමරනවා. එවැනි අතිවිශාල සෙනඟක් එක් වූ තැනකට ප්‍රහාර එල්ල කළා නම් මීට වඩා විශාල විනාශයක් සිදු වනවා. දැන් මුස්ලිම් සමාජයෙන්ම කියනවා බුර්කාව අයින් කරන්න කියලා. මේ අන්තවාදී මුස්ලිම් පිරිස් අත්අඩංගුවට ගන්න, අන්තවාදි මුස්ලිම් පල්ලි ඉවත් කරන්න ආදි දේ කියන්නේ මේ ප්‍රහාර වුණ නිසයි.

මේ ප්‍රහාරය ගැන බලවත් ලෙසම කනගාටුවට පත් වනවා. තුවාල වූ අයට ඉක්මන් සුව පතනවා. හැබැයි ප්‍රහාරයෙන් පසු ජාතික සමඟියකුත් ඇති වුණා. කතෝලික, මුස්ලිම් පල්ලිවල වෙසක් කූඩු එල්ලුවා. ඒවා හොඳ දේවල්. මා නම් හිතන්නේ මේ රට හදන්න නම් සියලු දේශපාලන පක්ෂ එක්ව තනි ආණ්ඩුවක් හදලා ඒ ආණ්ඩුව වසර පහළොවක්වත් රට පාලනය කරන්න ඕනෑ කියලයි.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් ද?

මේ ආණ්ඩුව බලයට පත් වූ පසු විශ්වාසභංග කීපයක්ම ආවා. ඒ හැම විශ්වාසභංගයක්ම අප ජයග්‍රහණය කළා. ඒ වගේ ජවිපෙ ගෙන එන විශ්වාස භංගයත් අප ජයග්‍රහණය කරනවා.

පසුගිය දිනවල වයඹ පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස ඉන්නේ ආණ්ඩුව කියලාත් චෝදනා නැ‍ඟෙනවා. එහි ඇත්තක් තිබෙනවාද?

විපක්ෂයට ඕනෑ කරලා තිබෙන්නේ මේ රටේ පසුගියදා පැවැති අස්ථාවර තත්ත්වය දිගටම ඇදගෙන යන්නයි. පාසල්වලට ළමයින්ට එන්න එපා කියන එක පිටුපස්සෙත් ඉන්නේ විපක්ෂයයි. මේ තත්ත්වය ඊළඟ ජනාධිපතිවරණය දක්වාම ඇදගෙන යන්නයි එයාලට ඕනෑ.

ඊළඟ ජනාධිපතිවරණයට අප එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම පුද්ගලයා ඉදිරිපත් කරනවා. ඔහු පොදු අපේක්ෂකයකු බවට පත් වනවා. සෙසු පක්ෂවලත් සහාය ඇතිව අප අපගේ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවනවා. ඒකාබද්ධ විපක්ෂය - පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂලාටම සීමා වූ පක්ෂයක් මිස, ජනතා අභිලාෂයන් මුදුන්පත් කරන පක්ෂයක් නෙවෙයි.

Comments