ජවිපෙ විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගෙදර යවන්න හැකි වේවි | Page 2 | සිළුමිණ

ජවිපෙ විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගෙදර යවන්න හැකි වේවි

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙන ඇමැති රිෂාඩ් බදූර්දීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොන වගේද?

ඇත්තටම අප ඒ පිළිබඳ තවම තීරණයකට පැමිණ නෑ. මේ සඳහා සහාය දෙනවාද, විරුද්ධ වනවාද යන්න පිළිබඳ අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වනවා. කෙසේ වෙතත් ලබන 18-19 මෙය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. වරදක් කර තිබෙනවා නම්, නීතියට අනුව එය ඔප්පු වී තිබෙනවා නම් අප ඒ වෙනුවෙන් ගන්නා තීරණවලට ඕනෑම අවස්ථාවක එකඟයි. හැබැයි මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදු කෙරෙනවා. පරීක්ෂණවලින් පසුවයි අප නිගමනවලට එන්න ඕනෑ කියන-එක මගේ මතයයි. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අප ඕනෑම තීරණයක් ගන්න ලෑස්තියි. මොකද, අවශ්‍ය තීන්දුව අවශ්‍ය වේලාවට රට වෙන‍ුවෙන් අප ගන්නවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. ඇතැම් දේශපාලනඥයන් සඳහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මෙය ගෙන ආවේ ආණ්ඩුව රකින්න කියලායි. ඇත්තද මේ කතාව?

මම ඒක පිළිගන්න ලෑස්ති නෑ. මොකද, මේ රජයට විරුද්ධව මීට කලිනුත් විශ්වාසභංග ඉදිරිපත් වුණාම ඒවා ජයග්‍රහණය කිරීමට මන්ත්‍රී ධුර ගණන මදි වුණා. එහෙත් මෙවර ජනතා විමුක්ති පෙරමුණත් රජයට විරුද්ධව ඡන්දය දේවි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න ඕනෑ කියන එක තමයි අප පැහැදිලිව කිව යුතු.

විශ්වාසභංගයක් ඕනෑම වේලාවක ගේන්න පුළුවන්. මෙය ඕනෑම අවස්ථාවක ඕනෑම විදියකට විග්‍රහ කළ හැකියි. මෙච්ච්ර කල් ආණ්ඩුව රකින්න කටයුතු කරපු ජනතා විමුක්ති පෙරමුණ දැන් ආණ්ඩුවට විරුද්ධ වෙලා තිබෙනවා. මේක හොඳ ප්‍රවණතාවක්. ඒ අනුව ඕනෑම කෙනකුට පැහැදිලි විය යුතුයි මේ ආණ්ඩුව දැන් ගෙදර යන්න ඕනෑ කියන-එක. මේ ආණ්ඩුව තව ටික දිනකින් අවසන් කියන පණිවිඩය මෙහිදී නිකුත් වනවා.

මේ ආණ්ඩුවෙන් රටට ලොකු හානියක් සිදු වූ බව පෙනෙනවා. මේ නිසා විපක්ෂය හැටියට අප බෙදි-බෙදී නොසිට ශක්තිමත් විපක්ෂයක් හැටියට එකට අත්වැල් බැඳගෙන මේ ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරමු කියන යෝජනාව මම ඉදිරිපත් කරනවා.

බොහෝ දේශපාලනඥයන් තවමත් ඔබට චෝදනා එල්ල කරනවා අත්අඩංගුවේ සිටින පුද්ගලයන් හයදෙනකු නිදහස් කරන්න කටයුතු කළා කියලා. ඇත්තක්ද මේ චෝදනාව?

බොහොම පැහැදිලිව මට මේකට උත්තර දෙන්න පුළුවන්. ඔය කියන චෝදනාව පට්ටපල් බොරු. කුලියාපිටියේදී ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය අතරතුර බිංගිරිය නගරය අවට හටගත් සිද්ධියකට සම්බන්ධව බිංගිරිය පොලීසිය විසින් තරුණයන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අයගෙන් හයදෙනකු හෙට්ටිපොළ පොලීසිය වෙත රැගෙනයන්න පොලිසිය කටයුතු කළා. මේ නිසා ජනතාව කලබල වුණා. එය බරපතළ තත්ත්වයක් බවට පත් වන්නට ඉඩ තිබුණා. මා එහිදී වහා ක්‍රියාත්මක වී පොලීසියේ අවසර ඇතිව හෙට්ටිපොළ පොලීසියේ සිටි තරුණයන් හයදෙනා බිංගිරිය පොලීසිය වෙත ගෙනැවිත් බාර දුන්නා. මෙහෙම නොකළා නම් ජනතාව කුපිත වෙලා මහා විනාශයක් සිදු වන්න තිබුණා. මෙන්න මේ සිද්ධිය තමයි පටු දේශපාලන වාසි වෙනුවෙන් බොරු චෝදනා එල්ල කරමින් ප්‍රචාරය කරන්නේ.

ආණ්ඩුවෙන් දිගින් දිගටම විපක්ෂයට චෝදනා එල්ල වනවා මේ ගැටුම් පසුපස ඔවුන් ඉන්නා බවට. මේ චෝදනා ඔබ පිළිගන්නවාද?

ඇත්තටම විපක්ෂය ආණ්ඩු පක්ෂයටත්, ආණ්ඩු පක්ෂය විපක්ෂයටත් චෝදනා කරනවා. අත්අඩංගුවට ගැනීම්වලින් පසු සිදු කෙරෙන පරීක්ෂණවලින් පසුව තමයි මේ ගැන කතා-බහ කරන්න ඕනෑ. අත්අඩංගුවට ගත් පිරිස් අතර ප්‍රාදේශීය දේශපාලනඥයන් මෙන්ම දේශපාලන හිතවතුනුත් සිටිනවා. මොවුන් ප්‍රධාන දේශපාලන පක්ෂවලට සම්බන්ධයි. එහෙත් බොහෝ ප්‍රදේශවල තරුණයන් කිපීම නිසා මේ තත්ත්වය වර්ධනය වුණා. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඉන් පසුව මේවායේ ඇත්ත එළියට ඒවි.

තවමත් ජනතාවට ත්‍රස්ත ප්‍රහාරයේ බියක්, තැතිගැනීමක් තිබෙනවා. ජනතාව තුළ පවතින බිය නැති වන්නේ කවරදාද?

ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. අපට අතිදක්ෂ ත්‍රිවිධ හමුදාවක් මෙන්ම පොලීසියක් සිටිනවා. දැන් පරීක්ෂණ බොහෝ දුරට අවසන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් අද රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා.

ජනතාව නිරන්තරයෙන් තමන් සහ අවට ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එය ඉතා වැදගත්. ළමයින් පාසල් පැමිණීම සහ අනෙකුත් කාර්යන් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිය මෙහෙයුම් සිදු කරමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂිත පරිසරයක් සකස් කර තිබෙනවා.

කොහොමද දැන් පොහොට්ටුවයි ශ්‍රී ලංකාව නිදහස් පක්ෂයයි අතර සිදු කෙරෙන දීගය?

ඇත්තටම තාම අප දෙගොල්ල අතර අවසන් නිගමනයකට හෝ තීරණවලට පැමිණ නෑ. රටේ යහපත වෙනුවෙන් හොඳ තීරණයක් ළඟදීම ගැනීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හැටියට මේ දිනවල පක්ෂය වෙනුවෙන් කුමන කර්තව්‍යයක් සිදු කරනවාද?

ඇත්තටම ඉකුත් සති දෙක තුළ අපට ඒ ගැන ක්‍රියාත්මක වෙන්න බැරි වුණා. මේ සතියේ පටන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු නැවත ආරම්භ කරනවා. ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා අප හොඳ සැලැස්මකට අනුව පක්ෂය ගොඩනංවමින් සිටිනවා.

Comments