ආරාබිකරයක් වූ ශරියා විශ්වවිද්‍යාල‍යේ පසුබිම් තොරතුරු මන්ත්‍රී ආශු හෙළි කරයි | සිළුමිණ

ආරාබිකරයක් වූ ශරියා විශ්වවිද්‍යාල‍යේ පසුබිම් තොරතුරු මන්ත්‍රී ආශු හෙළි කරයි

මඩකලපුව දිස්ත්‍රික් මායිමේ පිහිටි 'පූනානි' ගම්මානය කලකට පෙර මෙරට මතු නොව ලොව පුරාද ප්‍රචලිතව පැවතියේ ඉකුත් සියවස මුල භාගයේ එපෙදෙස කැලඹූ 'මිනී කන කොටියා' හා බැඳුණු ත්‍රාසජනක කතාපුවත් හේතුවෙනි. එහෙත් මේ වන විට පූනානිය කෙරෙහි කාගේත් දැඩි අවධානය යොමු වී ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඇති වූ රටේ තත්ත්වය හේතුවෙනි.

වසර කිහිපයකට පෙර මේ පූනානි ගම්මානය මුල් කරගෙන 'අරාබිකරයක්' බිහි වෙමින් තිබුණද රටේ බහුතරය ඒ පිළිබඳ දැන සිටියේ නැත. මේ වන විට පූනානි ගම්මානයේ කොටසක තනිකරම අරාබිකරයක් බිහිව ඇති අතර අද එහි පැනනැඟී ඇත්තේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ගැටලු රාශියකි. දැන් දේශපාලන සමාජ ක්‍රියාකාරිකයන් මෙන්ම ජනමාධ්‍යද විශාල උත්සාහයක නියැළෙමින් සිටින්නේ කවුරුත් බලාපොරොත්තු නොවූ පරිදි මේ භූමියේ ඉදි වෙමින් පැවැති ආන්දෝලනාත්මක ගොඩනැඟිලි කිහිපයක සත්‍යය තත්ත්වය හෙළිදරවු කරගැන්මේ ව්‍යායාමයකය. කාත්තන්කුඩි ප්‍රදේශය, සහරාන් නම් ත්‍රස්ත කල්ලි නායකයා හා ඔහුගේ සහචරයන් රැසකගේ ක්‍රියාකාරකම් මෙන්ම ලංකා භූමිය මුල් කරගනිමින් ව්‍යාප්ත වන දැඩි අන්තවාදි අදහස් පිළිබඳ කතාබහ අතරතුර මේ වන විට 'ශරීයා විශ්වවිද්‍යාලය' නමින් හඳුන්වා දී ඇති මේ ස්ථානය ගැන ලොකු අලකලංචියක් මතුව ඇත්තේ දේශපාලන බලවතුන්ගේ නම්ද ඈඳමිනි. එහෙත් තවමත් මේ පිළිබඳ සත්‍යය හරි-හැටි අනාවරණය වී නැත්තේය. රජයේ නිලධාරියකුගේ පුතකුගේ තනි භූක්තියට හිමිකම් ඇතැයි පවසන මේ ස්ථානය තුළ ඇත්තෙන්ම සිදු වන්නේ කුමක්ද, අරාබියත් සමඟ මෙහි ඇත්තේ කුමනාකාර සබඳතාවක්ද යන්න තවමත් නිශ්චිත නොවේ. කෙසේ වෙතත් රජයේ බලධාරීන් පවසන ආකාරයට මේ අරාබි රාජ්‍යය ගැන සැකසංකා මතු වූයේ මීට බොහෝ කලකට පෙර වන අතර, එහි සත්‍යය හෙළිදරවු කරන්නට වෙහෙස මහන්සී වී ඇත්තේද මීට කලකට පෙරදීය. ඒ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට මේ පිළිබඳ සොයා බලන්නට වීමත් සමඟය. ආංශික අධීක්ෂණ කාරක සභාව සොයාගත් මෙහි සැඟවුණු තොරතුරු පිළිබඳ සිළුමිණට අදහස් දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාය.

මේ 'ශරියා විශ්වවිද්‍යාලය' ආරම්භය සිටම විවිධ ගැටලු සහගත තත්ත්වයන් වාර්තා වී තිබේ. 2013 වර්ෂයේදී මේ ආයතනය ආරම්භ වී ඇත්තේ ග්‍රාමීය පුහුණු කිරීමේ ආයතනයක් වශයෙනි. ඒ සඳහා ඇයදුම්පත් කැඳවා ඇත්තේ 'ශ්‍රී ලංකා හිරා පදනම' නම් වූ ආයතනය විසිනි. ඒ වර්ෂයේදීම ග්‍රාමීය පුහුණු කිරීමේ ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට මහවැලියෙන් අක්කර 35ක ඉඩමක් මේ සඳහා ඉල්ලා තිබේ. එක් තැනක සඳහන්ව ඇත්තේ මෙය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් වශයෙන් ඉදි කරන බවකි. මේ පදනමේ 'ශ්‍රී ලංකා හිරා පදනම' මෙන්ම 'හිරා පදනම' ද යනුවෙන් පදනම් 2ක නම්ද සඳහන්ව තිබී ඇත. 2015 ජූලි 3 දින මේ ඉල්ලීම එවකට උසස් ධ්‍යාපන ඇමැතිව සිටි සරත් අමුණුගම මහතාට යොමු වී තිබේ. ඒ ඉල්ලීම කරන්නේ උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස මෙය පවත්වාගෙන යෑමට අවසර දෙන ලෙස වුවද, මෙසේ ලැබෙන ලිපියේ දිනයක් සඳහන් නොවීමද සැක මතු කරන්නට හේතුවක් විය.

රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අංශය ක්‍රියාත්මක වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේය. ශ්‍රී ලංකාවේ මෙවැනි ඉල්ලීම් සලකා බැලීමේ පැහැදිලි ක්‍රමවේදයක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇත. ලංකාවේ දැනට පිළිගත් උපාධි ප්‍රදාන ආයතන 17ක් පවතී. ඊට අමතරව රාජ්‍ය විශ්වවිද්‍යාල 17කි. විදේශීය රටවලට අනුබද්ධිත විශ්වවිද්‍යාල ලංකාවේ කිසිදු තැනක පිළිගැනීමක් කර නැති අතර ඉදිරියේදීද ඒවා නියාමනය සම්බන්ධයෙන් ඇති අඩුපාඩු දුරලිය යුතු වෙයි. දිනය නොසඳහන් මේ ලිපිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ ශාඛාවට 2015.7. 3 වන දින ලැබුණු බවට මුද්‍රාවක්ද ඇත්තේය. මේ ඉල්ලීම කරන්නේ වත්මන් නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්එල්ඒඑම් හිස්බුල්ලා මහතාය. ඒ වන විට ඔහු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාය. එසේම ඔහු මේ වන විට මඩකලපු විශ්වවිද්‍යාල පෞද්ගලික ආයතනයේ (Batticaloa Campus PVT Limited) සභාපතිවරයාය. මේ සාක්ෂි ඔස්සේ සොයාගෙන යන විට ආංශික අධීක්ෂණ කාරක සභාවට තොරතුරු ලැබෙන්නේ මෙය 'Batticaloa Campus College PVT Limited' නමින් 2015.8.14 දා සමාගම් පනත යටතේ PV 106989 අංකයෙන් ලියාපදිංචි වී ඇති බවයි. එහෙත් කුමන හේතුවක් නිසා හෝ මෙය 2016.2.29 දින මෙය 'Batticaloa Campus PVT Limited' නමින් නම වෙනස් කරගෙන ඇති අතර, එතැනදී 'College' යන වචනය හලා ඇති බවයි. ඉන් අනතුරුව මෙහි නම පවත්වාගෙන යන්නේ 'Batticaloa Campus PVT Limited' නමින් වන අතර, මේ වන විට මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය වී ඇත්තේ වත්මන් ආණ්ඩුකාර එම්එල්ඒඑම් හිස්බුල්ලා මහතා හා ඔහුගේ පුතා වන හිරාස් හිස්බුල්ලාය. එහෙත් පසුව එම්එල්ඒඑම් හිස්බුල්ලා මහතා ඉන් ඉවත් වී ඇති බව සඳහන්ය. මෙහි කොටස්කරුවන් ලෙස හිරාස් හිස්බුලාට 10%ක කොටස් හා හිරා පදනමට 90%ක කොටස් වෙන්ව ඇත්තේය. එහෙත් මේ හිරා පදනමේ අධ්‍යක්ෂකවරුන් වන්නේද මේ පිය-පුතුන් වීම හේතුවෙන් වක්‍රාකාරයෙන් මෙහි අයිතිය යළිත් ඔවුන් වෙතම තහවුරු වී ඇත. මේ ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වඩාක් සැක මුසු තත්ත්වයන් මතුව ඇත්තේ මෙහිදීය. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා හිරා පදනම, පදනමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ 1993 වසරේදී බව වාර්තා වෙයි. හිරා පදනම, GA 2991 නමින් 2014.12.10 දින අලුතින් ලියාපදිංචි කර ඇත්තේ සමාගමක් වශයෙනි. මේ දෙකේම ලිපිනයන් ලෙස 'නො: 10/18, ලේක් ඩ්‍රයිව්, කොළඹ 8' ලෙස සඳහන්ව ඇත.

සාමාන්‍යයෙන් යම් ආයතනයක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් ලෙස ලියාපදිංචිය සඳහා අවසර ඉල්ලීමෙන් පසු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අංශයේ ලියාපදිංචියට පෙර මේ පිළිබඳ අධීක්ෂණයක් කෙරෙයි. මේ අධීක්ෂණය සඳහා පස් දෙනකුගෙන් යුතු අධීක්ෂණ කමිටුවක් 2015.9.22 දින පත් කරන්නේය. මෙහි සභාපති වන්නේ කොළම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීප් රන්දිවෙල මහතාය. මේ අධීක්ෂණ කමිටුව කමිටු වාර 15 ක් පවත්වන අතර විටින් විට ඔවුන් මේ ස්ථානයට ගොස් අධීක්ෂණයද කරන්නේය. මෙහි අවසන් වාර්තාව 2017. 7.11 වන දින ලැබෙන අතර ඉන්පසුව මේ ප්‍රශ්නය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු වන්නේය. මෙම අධීක්ෂණ වාර්තාවට අනුව මේ ආයතනයේ මූල්‍යමය ගැටලු රැසක් අනාවරණය වන්නේය. මෙයට මුදල් පැමිණියේ කෙසේද? මෙහි සභාපතිවරුන් ලෙස එම්එල්ඒඑම් හිස්බුල්ලා හා හිරාස් හිස්බුල්ලා සිටින්නේ ඇයි?

මෙහි ගැටලු සහගත තත්ත්වයන් දිගින් දිගටම පැමිණීම නිසා මේ පිළිබඳ සෙවීම් නැවත නැවතත් සිදු වී ඇත්තේය.

කෙසේ වෙතත්මේ වන විට බොහෝ දෙනා චෝදනා නඟන්නේ අමුතු ආකාරයේ 'ආරාබි අනුරුව' ගැන රජය සොයන්නට මහන්සි වී ඇත්තේ පාස්කු කුරිරු යුද්ධයෙන් අනුරුව බවයි. එහෙත් රජයේ බලධාරීන් මේ චෝදනාව දැඩිව ප්‍රතික්ෂේප කරන අතර 2017 වසරේ සිට මේ පිළිබඳ සෙවීම් සිදු කළ බවයි. පාස්කු ප්‍රහාරයට කලින් ආසන්නම දින වන මාර්තු 14 දිනද මේ මඩකලපු විශ්වවිද්‍යාල පෞද්ගලික ආයතනයේ සියලු නිලධාරීන් මෙහි ගෙන්වා ප්‍රශ්න කර ඇත. විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ කිරීමේදි එහි උපකුලපති ලෙස පත් කර ඇති දංගොල්ල නම් වූ මහාචාර්යවරයකු, එහි ලේඛකාධිකාරවරයකු ඇතුළු පිරිසක් පැමිණ මේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දී ඇත. එදින මෙහි වත්මන් සභාපති හිරාස් හිස්බුල්ලාද පැමිණි සිටි අතර, තම පියා වන එම්එල්ඒඑම් හිස්බුල්ලා මහතා වත්මන් ආණ්ඩුකාර ධුරයේ සිටින නිසා ඔහු ඉන් ඉවත්ව ඇති බවද පවසා ඇත. එහෙත් මේ ප්‍රශ්න කිරීම්වලදී නිරන්තරයෙන් සැක-සංකා මතු වූ හෙයින් අදාළ අවසර දීම දිගින් දිගටම කල් දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. මේ පිළිබඳ සෙවූ බලධාරීන් මේ පිරිසට දිගින් දිගටම පවසා ඇත්තේ මේ විශ්වවිද්‍යාලය ගොඩනඟන්නට මුදල් ලැබුණේ නම් ඒ පිළිබඳ ලියවිලි කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි. එහෙත් මේ වන තෙක් ඒ පිළිබඳ ලියවිලි කිසිවක් ඔවුන් ඉදිරිපත් කර නැත. එහෙත් 2019 වසරේදි ඔවුන් විසින් යම් ලියවිල්ලක් ඉදිරිපත් කරන අතර එහි සඳහන් වන්නේ මාසයකට ඩොලර් රුපියල් ලක්ෂය බැගින් මෙය පවත්වා ගෙන යාමට යම් ආයතනයක් මුදල් ලබා දෙන බවයි. මෙයට සවුදි රජය සම්බන්ධ නොවන අතර මේ මුදල් ලැබෙන්නේ සවුදියේ යම් පදනමක් විසිනි. එහි 'Inheritance Ali Abdullah Aljuffali, Jeddah 21454, PO box no: 15877, Saudi Arabia' නම් ලිපිනයක් සඳහන් වන අතර, මේ වන විට ඒ පදනම පිළිබඳ සොයමින් පවතියි.

මෙහි ගොඩනැඟිලි ඉදි කිරීම් ආරම්භ වී ඇතැයි පවසන්නේ 2015 වසරේ සිටය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් මේ වන තෙක් ලැබි නැත. නමුත් රජයේ කිසිදු අවසරයකින් තොරව මෙසේ ගොඩනැඟිලි ඉදි කිරීම් සිදු වූ ආකාරය පිළිබඳ ඉදිරියේදී දැඩි ලෙස සොයා බලන්නට මේ වන විට කටයුතු යොදා ඇත. ආයෝජන මණ්ඩලය, මහ බැංකුව, ලංකා බැංකුව හෙට දිනයේ ආංශික අධීක්ෂණ කාරකසභාවට කැඳවීමට සූදානම්ව ඇති අතර එහිදී මේ මුදල් පැමිණි ආකාරය පිළිබඳ සොයා බැලීමට නියමිතය.

මෙහි ආයෝජන සම්බන්ධයෙන් ඇති පරස්පර විරෝධි අදහස් හේතුවෙන් බොහෝ දෙනකු මත පළ කරන්නේ මෙය කළු සල්ලි සුදු කළ ආයතනයක් වශයෙනි. මේ පිළිබඳ අදහස් දක්වන බලධාරීන් සඳහන් කරන්නේ මෙයට මුදල් ලැබුණු ආකාරයේ පවත්නා ගැටලු සහගත තත්ත්වය නිසා මෙය වහා රජයට පවරාගත යුතු බවයි. ඒ නිසා ඉදිරියේදී මෙය කෙසේ කරනවාද නැද්ද යන්න සොයා බැලිය යුතු බවයි. මහ බැංකුව හරහා මෙහි යම් වැරැද්දක් සිදු වී ඇති නම් එයටද වහා පිළියම් යෙදිය යුතු බව බොහෝ දෙන පවසති. එසේම බලධාරීන් පවසන්නේ ආයෝජන මණ්ඩලය හරහා උසස් අධ්‍යාපන ආයතනවලට අනුමැතිය දීමේ ක්‍රමවේදයෙහිද යම් වැරැදි ඇති බවකි. ඒ වැරැද්ද ඉදිරියේදී නිවැරදි කළ යුතු අතර මෙවැනි ආයතන ස්ථාපිත කරමින් මෙලෙස ප්‍රශ්න ඇති කිරීමට පසුබිම් සකසන එවැනි බොහෝ හිඩැස්ද වැසිය යුතු බවයි. ලංකාවේ භූමියේ ක්‍රියාත්මක වන්නේ එකම නීතියකි. එහෙත් මේ වන විට මේ විශ්වවිද්‍යාලය පිළිබඳ අදහස් දක්වන ඇතැමුන් පවසන්නේ ඉදිරියේදී මේ ආයතනය මඟින් ලංකාවට කිසිසේත් අනුකූල නොවන ශරියා නීතිය ඉගැන්වීම් කිරීමේ සූදානමක්ද පවතින බවයි. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවා පෙන්වා දී ඇත්තේ මෙහි නීති පීඨය යටතේ පවත්නා ශරීයා අධ්‍යාපන දෙපාර්තමේන්තුව නමැති ආගන්තුක අංශයක් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් තිබූ බවයි. මෙය රටේ පවත්නා මූලික නීතියට පටහැණිය. මෙහි එක් තැනක ශරියා නීතිය හා මුස්ලිම් අධයාපනය නමින් කොටසක්ව තිබූ බව හෙළි වීමෙන් තේරුම් ගොස් ඇත්තේ අනාගතයේ මේ සඳහා යම් බලාපොරොත්තුවක්ද තිබූ බවයි.

මේ ආයතනය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වන ඕනෑම අයකුට මෙහි ඇති ගුප්ත ස්වරූපය මැනවින් පැහැදිලි වන්නකි. එය නියම ස්වරූපයෙන්ම අරාබිකරයකි. බොහෝ දෙනා චෝදනා කරන්නේ මෙහි ගොඩනැඟිලි ඉදි කිරීම් පවා අන්තවාදි ස්වරූපයක් ගෙන ඇති බවයි. එසේම ඒවා මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිර්මාණය කරන ලද බවද බොහෝ දෙනකුගේ මතය වී ඇත. ඒවා අරාබියේ ස්වරූපයට නිර්මාණය වී ඇති අතර මුස්ලිම් සංකේත මුළු භූමියේම දක්නට ඇත. එසේම ලංකාවේ කිසිදු තැනක නොවැවෙන රටඉඳි ගස් පවා මෙහි වවා ඇති ආකාරය අපූරුය! මේ සියල්ල සැක කට යුතුය. එය අරාබිකරයේ අවශ්‍යතාවක් මත ඉඳ කළ බව දකින ඕනෑම කෙනකුට සැණෙකින් පසක් වෙයි.

මේ අතර 2017 සිට රජය මේ ගැන විමසිලිමත්ව සොයන්නට වූ අතර ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඒ සෙවීම් ආරම්භ කළ බැවින් මේ කටයුතු ඉදිරියට ගෙන යන්නට පාලකයන් අපොහොසත් වී ඇත. එබැවින් ඔවුන්ට කිසිදු සිසුවකු ඇතුළත් කරගන්නට හෝ කිසිවකුටත් උපාධි ප්‍රදානය කරන්නට හෝ හැකි වූ‍යේ නැත. මේ වන විට මෙය තනිකරම හිස්, දැවැන්ත ගොඩනැඟිල්ලකි. එසේම ඉදිරියේදී මෙයට අදාළ පුද්ගලයන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

පා. ම. ආශු මාරසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ඇසුරෙනි

Comments