සැබෑ ප්‍රශ්න හඳුනාගෙන රටක් ලෙස ඉදිරියට යමු | සිළුමිණ

 සැබෑ ප්‍රශ්න හඳුනාගෙන රටක් ලෙස ඉදිරියට යමු

• මාරුවෙන් මාරුවට විවිධ රජයන් බලයට පත් කර තමන් බලාපොරොත්තු වූ දේවල් ඉටු කරගැනීමට නොහැකි වීම නිසා අපේක්ෂාභංගත්වයට පත් වූ ජනතාවක් අද මේ රටේ ඉන්නේ. එක්තරා විධියකින් මේ දේශපාලන ක්‍රමය තුළ ඔවුන් පැරදිලා. ඔබ ඔවුන් ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වන්නේ කොහොමද?

දේශපාලනය තුළ ඡන්දදායකයන්ගේ අපේක්ෂාභංගත්වය කියල කියන්නේ අපේ රටට විතරක් නොවෙයි, මේ කලාපයටම වගේ පොදු ප්‍රශ්නයක්. මුළු ලෝකයම ගත්තොත් 21 වන සියවසට පෙර සහ 21 වන සියවසේ ජනතාවගේ ආකල්පවල විශාල වෙනසක් තියෙනවා. අවුරුදු ලක්ෂ දෙකකට කලින් නූතන මනවයා බිහි වුණා කියල අද විශ්වාස කරනවා. එතැන් සිට ක්‍රිව 1800 දක්වා සමස්ත මානව සමාජයම මුහුණ දුන් ගැටලුවලට වඩා 2000 වන තෙක් සමස්ත මානව සමාජය අත්පත් කරගත් තාක්ෂණ හා විද්‍යාත්මක දියුණුවත් සමඟ 21වන සියවසේ මුහුණ දෙන ප්‍රශ්න සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා.

උදාහරණයක් ලෙස: නූතන මානවයාගේ ආරම්භයේ පටන් ක්‍රිව 1800 දක්වා ඔවුන් මුහුණ දී සිටි ප්‍රධාන අභියෝගයන් වුණේ සාගත, වසංගත සහ යුද්ධය. එහෙත් පසුව කාර්මික විප්ලවයත් සමඟ ඇති වූ දියුණුව නිසා මේ තත්ත්වය වෙනස් වුණා. අද අප මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුන බවට පත් වී තිබෙන්නේ කලින් තිබුණ ප්‍රශ්නවල ප්‍රතිවිරුද්ධ ක්‍රියායි. කලින් සාගත නිසා මිනිසුන් මිය ගියා නම්, දැන් මිනිස්සු මිය යන්නේ වැඩිපුර ආහාර ගැනීම නිසායි. තවත් විධියකින් කියනවා නම් අධිපෝෂණය නිසා මිනිසුන් අසනීප වී මිය යනවා. ඒ වගේම වසංගත නැත් නම් බෝ වන රෝගවලින් මිනිසුන් මිය යනවාට වඩා බෝ නොවන රෝග නිසා මිය යනවා. අනෙක් අතට යුද්ධ සහ ගැටුම්වලින් මිනිසුන් මිය යනවාට වඩා සියදිවි නසාගැනීම නිසා මිය යන ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මේ නිසා අපට පේනවා සම්පූර්ණයෙන්ම ලෝකය අනෙක් පැත්තට ගමන් කර ඇති බව. ඒත් ඊට සරිලන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපන වෙනස්කම් අපේ රටවල ඇති වී නැහැ. ඒ නිසා තමයි අද මේ ප්‍රශ්නවලට අපට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ.

• ඔබ ඔහොම කිව්වාට දේශපාලනඥයන් බොහෝ දෙනා පවසන්නේ මේ රට සිංගප්පූරුවක් කරනවා කියලයි...

ඔව්. අපි කාලෙක ඉඳන් දියුණු රටක් වෙන්න හීන මවනවා. ඒත් අපේකම රැකගෙන දියුණු රටවල තිබෙන ආර්ථික හා සමාජ ජීවිතය රටේ හැම පුරවැසියකුටම හිමි කර දෙන්නේ කොහොමද? කියලයි අප හිතන්න ඕනෑ. අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය ඒකයි. තවම අප මේ ප්‍රශ්නය දිහා සවිස්තරාත්මකව විග්‍රහ කර බලා නැහැ. දේශපාලනඥයන් හොරකම් කරනවා, කාර්යාලයකට ගියාම වැඩක් කරගන්න බැහැ, මේ රට දියුණු වෙන්නේ නැහැ... ආදි වශයෙන් විවිධ ප්‍රශ්න අප කතා කරනවා. ඒත් අප ඇත්ත ප්‍රශ්නය ගැන අවධානය යොමු නොකර ප්‍රශ්නය වටේ තමයි කැරකෙන්නේ!

• එහෙමනම් අප විසින් විසඳා ගතයුතු මූලික ගැටලුව කුමක්ද?

අප අපේ නියෝජිතයන් ලෙස බලය හිමි කරගන්නා අයගෙන් අහන්න ඕනෑ මූලක ප්‍රශ්නය තමයි දියුණු රටවල තිබෙන ආර්ථික හා සමාජ ජීවිතය මේ රටේ හැම පුරවැසියකුටම හිමි කර දෙන්න පුළුවන්ද?, බැරිද? අද අපේ මූලික කතා-බහ බවට පත් කරගත යුතු වන්නේ මෙයයි. ඒ අයට එහෙම කරන්න බැරි නම් අපට ඊට හේතුව කියන්න ඕනෑ. භූගෝලීය ප්‍රශ්නයක්ද?, සංස්කෘතික ප්‍රශ්නයක්ද? නැත් නම් වෙනත් ප්‍රශ්න තිබෙනවාද? එහෙම දෙයක් නැත් නම්, ඇයි දෙන්න බැරි කියල අපට විධිමත් පිළිතුරක් දෙන්න ඕනෑ. මේක එක නිලධාරියකුට හෝ එක දේශපාලන පක්ෂයකට හෝ එක ආයතනයකට හෝ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි. මේක සමස්ත සමාජය හමුවේ තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ සමාජයේ සාමාජිකයන් ලෙස අප සියලු දෙනා මේ ප්‍රශ්නයේ වගකීම භාර ගෙන, ඇත්තටම මේ රට දියුණු තත්ත්වයට පත් කරගන්න පුළුවන්ද? කියලා කල්පනා කර බලන්න ඕනෑ.

• ඔබ ඔය පවසන ලෙස සිතා දියුණු වූ රටවල් තිබෙනවාද?

ලෝකයේ දියුණු වූ රටවල් ගෙන බැලුවොත්: ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය රටවල් ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව... වගේ ආසියානු රටවල් මේ විදියට දියුණු වී තිබෙනවා. ඒත් මේ අතර බොහෝ ආසියානු රටවල් වගේම අප්‍රිකානු රටවල් වගේම තෙල් සම්පත් හිඟ මැද-පෙරදිග රටවල් මේ විදියට දියුණු වී නැහැ. ඒකට හේතුවක් තියෙන්න ඕනෑ. එහෙම නම් ඒ ගැටලුව මොකක්ද? කියල හරියට අධ්‍යයනය කර, අපේ ජනතාවට ඉදිරියේදී හොඳ ජීවන තත්ත්වයක් අත් කර දිය යුතු වනවා.

• ඔබ විසින් කර තිබෙන අධ්‍යයන මඟින් මොන විදියේ වැඩපිළිවෙළක්ද ඒ සඳහා යෝග්‍යයයි කියා නිගමනය කර තිබෙන්නේ?

ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා දක්වා සියලු ක්ෂේත්‍රවල නියැළී සිටින නිලධාරීන්ට ප්‍රශ්න දහස් ගණනක් ඉදිරිපත් වනවා අප දකිනවා. ඔවුන් ඒවාට හැකි පමණ විසඳුම් දීමට කටයුතු කරනවා. හැබැයි අප මේ විසඳීමට උත්සාහ ගන්න ප්‍රශ්න රාශියක්ම මූලික ප්‍රශ්නවලට පිළියම් නොකිරීම නිසා ඒවා ඇසුරෙන් මතු වූ අතුරු ප්‍රශ්න රාශියක් බව ‍මේවා අධ්‍යයනය කරන විට පේනවා. ඒ නිසා ඔවුන් විසඳීමට උත්සාහ ගන්නේ ඇත්ත ප්‍රශ්න නොවෙයි.

• මොනවද ඒ ඇත්ත ප්‍රශ්න?

ඇත්ත ප්‍රශ්න අපට තිබෙන්නේ දහයක්-පහළොවක් පමණයි. ඒ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් නොදීම නිසා තමයි අනෙක් ප්‍රශ්න පැනනැඟී තිබෙන්නේ. උදාහරණයකට: පසුගිය දිනවල අප රට ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දුන්නා. අද වන විට විශාල මෙහෙයුම් දියත් කරමින් ඉදිරියේ එවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීමට කටයුතු කරමින් සිටිනවා. එහෙත් ඇත්ත ප්‍රශ්නය මොකක්ද? මේ ත්‍රස්තවාදය බිහි වන්න පුළුවන් විදියේ දේශපාලන, සමාජ, සංස්කෘතික වටපිටාවක් නිර්මාණය වී තිබීමයි. එහෙම නම් අපි විසඳුම් සොයන්න වන්නේ මෙන්න මේ වපසරිය වෙනස් කිරීමටයි. ඒක කෙටිකාලීනව, මධ්‍යකාලීනව හා දිගුකාලීනව කළ යුතුයි. ත්‍රස්තවාදය වේවා අන්තවාදය වේවා මේ රටේ ඇති වීම වළක්වාගන්න නම් ආරක්ෂක අංශ විසින් දැනට සිදු කරන ක්‍රියාන්විතයන් මඟින් පාලනය කරනවා වගේම ත්‍රස්තවාදය හා අන්තවාදය ඇති වීමට හේතු-කාරණා වන දේශපාලන, සමාජීය හා නීති පද්ධති සකස් කරගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි. උදාහරණයක් විදියට පසුගිය වසර 40 ඇතුළත අප ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සක්‍රීය වන්න අවශ්‍ය භූමිය සපයා තිබෙනවා: එකක් එල්ටීටීඊ සංවිධානය, අනෙක අයිඑස්අයිඑස් සංවිධානය.

අයිඑස්අයිඑස් තමයි ලෝකේ එක් දවසක් ඇතුළත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැඩිම සංඛ්‍යාවක් එල්ල කර තිබෙන ත්‍රස්තවාදී සංවිධානය. අප රටක් විදියට ගත්තාම ලෝක ජනගහනයෙන් 0.27%යි ඉන්නේ. ඒත් අපේ රටේ 10%ට අඩු ප්‍රතිශතයක් නියෝජනය කරන ජනකණ්ඩායමක් ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක සමාජිකයන් බවට පත් වී තිබෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාව වගේ බහුවාර්ගික බහු සංස්කෘතියක් තියෙන විශාල රටක මේ සංවිධානය සක්‍රීය නොවී ඇයි අපේ වගේ පුංචි රටක මෙවැනි ත්‍රස්තවාදී සංවිධායක් ඇති වුණේ? කියන ප්‍රශ්නය අප අපෙන්ම ඇහුව්වොත් අපට මේක තේරුම් ගන්න ලේසියි. පුළුල්ව මේ පිළිබඳ අධ්‍යයනය කළාට පස්සේ අපට තේරුම් ගියා; අපේ ජාති, ආගම්, කුල, ප්‍රාදේශීය වැනි ගෝත්‍රික ආකල්ප මත පදනම් වූ දේශපාලන පක්ෂ පැවතීම මේකට එක මූලික හේතුවක් බව. දෙක තමයි: සියලු පුරවැසියන්ට එක හා සමාන වූ නීතියක් නොපැවතීම. මේ ප්‍රශ්න දෙක තිබෙන තාක් කල් අපි හිජාබය, බුර්කාව, නිකාබය වැනි මුහුණු ආවරණ තහනම් කළත්, රටේ තියෙන සියලු කඩු ටික පොලීසිය අල්ලාගත්තත්, අපට අන්තවාදීන් විදියට පේන ඇමැතිවරුන් අල්ලලා හිර කළත් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒක තාවකාලික විසඳුමක් විතරයි.

• මේ තත්ත්වය සෙසු ලෝකය හා සංසන්දනය කර බලනවා නම් අපට ලොකු අවබෝධයක් ලබාගත හැකියි නේද?

ඔව්, යුරොපයේ දෙවන ලෝක යුද්ධය හමාර වී 20 වන සියවසට පා තබන විට ජාතිය මත, ආගම මත, භාෂාව මත හා ප්‍රාදේශීයත්වය මත පදනම් වූ ගෝත්‍රික දේශපාලනය අවසන් කර තිබුණා. ඒ වෙනුවට පොදු මානව යහපත වෙනුවෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ ඉදිරියට ආවා. අද අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් විදියට ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව, ජාති-ආගම් භේදයකින් තොරව පොදු මානව අයිතිවාසිකම් රැකගන්න එකඟ වී තිබෙනවා. අද අප ප්‍රායෝගිකව ඒ වෙනුවෙන් කටයුතු කරන රටක්. එහෙම නම් මේ රටේ ආගමක්, කුලයක්, ජාතියක් මූලික කරගෙන දේශපාලන පක්ෂවලට කටයුතු කරන්න බැහැ. එහෙම වුණොත් ඒ ආගම හෝ ජාතිය හෝ ප්‍රවර්ධනය කරන්න ඒ දේශපාලන පක්ෂයට සිදු වනවා. එහෙත් අප වැනි බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික ජනතාවක් වෙසෙන රටක එක ආගමක් ප්‍රවර්ධනය කරන විට ඔවුන්ගේ අභිලාශය අනෙක් අයට අභියෝගයක් බවට පත් වනවා. එවිට හැම මොහොතකම ගැටුමකට තමයි ඔවුන්ගේ මානසිකත්වය සකස් වන්නේ. මොකද: මොනම විදියකින් වත් වෙන් කරල සලකනවට කිසිම මනුෂ්‍යයකු කැමැති නැහැ. එක වගේ සලකන්න ඕනෑ. වෙන වෙනම නීති පැවතීමේ ගැටලුව මතු වන්නේ එතැනදීයි.

ඒ නිසා මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන, අපේ ආකල්ප වෙනස් කරගන්න කටයුතු කළ යුතුයි. එසේ නැතිව අපට මේ ගමන යන්න බෑ.

• ඇත්තටම මේ වාර්ගික ගැටුම් නිසා අප රටක් ලෙස විශාල ආර්ථික-සමාජීය අවපාතයකට ඇදවැටී තිබෙනවා නේද?

ඔව්, පසුගිය තිස්වසරක යුද ඉතිහාසය ගෙන බැලුවොත් රු. බිලියන 200ට වැඩි වියදමක් දරා තිබෙනවා; ජීවිත ලක්ෂ ගානක් විනාශ වී තිබෙනවා. ජාති, ආගම්, කුල මත පදනම් වූ මේ ගෝත්‍රික දේශපාලනය අපේ රට තුළ නොතිබෙන්න මේ සමාජ කඩාවැටීම හා ආර්ථික කඩාවැටීම අපට නතර කරගන්න තිබුණා. ඕනෑම දේශපාලන මතයක්, අන්ත-වාමාංශික හෝ අන්ත-දක්ෂිණාංශික හෝ ජාතිකවාදි මතයක් ප්‍රජාතන්ත්‍රවාදී සීමාව තුළ දරන්න පුළුවන්. එහෙත් ඒ හැම දෙනාම ජාතික වශයෙන් ව්‍යාප්ත වුණු පොදු මහජනතාවගේ යහපත අරමුණු කරගත් දේශපාලන පක්ෂ විය යුතුයි. එසේ නැතිව මගේ ආගම හෝ ජාතිය හෝ කුලය හෝ ප්‍රදේශය හෝ ප්‍රවර්ධනය කරන්න යනවා නම් ඒක විසි එක් වන සියවසට නොගැළපෙන ගෝත්‍රික ලක්ෂණයක්. එවැනි දේශපාලන වටපිටාවක් තිබෙන රටකට මීට වඩා වෙනත් ඉරණමක් හිමි වන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය තේරුම් ගෙන, ලෝකයේ අභිමානවත් රටක් ලෙස ඉදිරියට යන්න නම් අප මේ යන ගමන දෙස නැවතී බැලිය යුතු වනවා. එහෙම වුණොත් විතරයි අපට ඇත්ත ප්‍රශ්න හඳුනාගෙන ඒවාට නිවැරදි විසඳුම් දී ඒ ගමන යා හැකි වන්නේ. 'බියොන්ඩ් 2020 ශ්‍රී ලංකා' ජාතික වැඩසටහන අප ආරම්භ කළේ මේ උදාර පරමාර්ථය ඇතිවයි.

Comments