බැංකු පොලී අඩු කරන්න රජය බලපෑම් කළ යුතුයි | සිළුමිණ

බැංකු පොලී අඩු කරන්න රජය බලපෑම් කළ යුතුයි

JAT සභාපති / ඊලියන් ගුණවර්ධන

ගෙවෙමින් පවතින්නේ, සමස්ත ආර්ථිකයම කඩා වැටුණු කාල පරිච්ඡේදයකි. දේශීය කර්මාන්ත සහ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් කළ මේ තත්ත්වය තුළ ව්‍යාපාර රැක ගන්නේ කෙසේද... මේ තත්වයෙන් ගොඩ එන්නේ කෙසේද....යන කාරණා පිළිබඳ තරුණ ව්‍යාපාරිකයකු සහ අවුරුදු 26ක් මෙරට ව්‍යාපාරයන්හි යෙදෙන අත්දැකීම් ඇත්තකු වන ඊලියන් ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මේ.

“මේ ගෙවෙන්නේ ලොකු පොඩි හැම ව්‍යාපාරිකයකුම හොඳටම හිරවෙච්ච කාල පරිච්ඡේදයක්. මේ වෙලාවේ ව්‍යාපාර නොවැටී පවත්වාගෙන යන්න අනිවාර්යෙන්ම රාජ්‍ය අනුග්‍රහය සහ මැදිහත් වීම අවශ්‍යයි. ලංකාව කියන්නේ, හොඳ අපනයන ආදායම් ඉපැයිය හැකි රටක්. නමුත්, හරි බදු ප්‍රතිපත්තියක් නැතිකමින් එන්න එන්නම අපනයන ආදායම් අඩු වෙනවා.

JAT කියන්නෙත් වසරකට, ඇමෙරිකානු ඩොලර් බිලියන එකහමාරක විතර අපනයන ආදායම් රටට ගෙනෙන දේශීය ව්‍යාපාරයක්. නමුත් ගිය අවුරුද්දේ පටන් අපනයන බදු 14% දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, සියලු බදු ගෙවලා ලාභාංශ හැටියට අපිට එන සුළු මුදලෙනුන් තවත් 14% ක් අපෙන් බදු ගන්නවා. තවත් විදියකට කිව්වොත්, අපි රුපියල් සියයක් හම්බ කළොත්. 86 යි අපිට තියෙන්නේ. ඒ 86 න්, ආපසු බිස්නස් එකටත් සල්ලි දාලා, කොටස් කරුවෙක් හැටියට ලැබෙන එකම ආදායමෙන් ලාභාංශය ලෙස මං රුපියල් විස්සක් ගත්තොත්, ඒ රුපියල් විස්සටත් මං තව සියයට 14ක බද්දක් ගෙවිය යුතුයි. එකම බිස්නස් එකට දෙපාරක් බදු ගහන ලෝකෙ එකම රට ලංකාව වෙන්න ඇති. ඉතින් ව්‍යාපාර නොවැටී තියෙයිද. ලොකු ව්‍යාපාර හැටියට අපි මේවට විකල්ප හොයා ගත්තට පොඩි ව්‍යාපාරිකයො කරන්නෙ තමන්ගේ අපනයන ව්‍යාපාරය අත්හැරලා දමන එක.

අපිත් දැන් ලංකාවෙන් අපනයනය කරන එක නැවැත්වූවා. ඒ වෙනුවට ඩුබායිවල ෆැක්ටරියක් ඇරියා. ඩුබායි රටේ නිෂ්පාදනය කරලා තවත් රටවලට අපනයනය කරන විට, උපයන ආදායමත් බදුවලින් නිදහස්. ආදායමෙන් ගන්න ලාභාංෂයත් බදුවලින් නිදහස්. තව හුඟක් කොම්පැනි මේ දේ කරනවා. තමන්ගෙ රටේ බිස්නස් කරලා ඒ රටට ආදායමක් ගේන්න උස්සාහ කරද්දී, මේ වගේ අමනෝඥ බදු ක්‍රම හඳුන්වලා ඒවායින් ව්‍යාපාරිකයින් හිර කළාම කවුද මේ රටේ බිස්නස් කරන්නේ. අපි කියන්නෙ, රටට විදෙස් විනිමය ගේන මිනිස්සු ටික දිරිමත් කරන්න. මේ ප්‍රයෝගික නැති බඳු ක්‍රම ගැන නැවත අධ්‍යයනය කරන්න. අපි මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලන්නේ, මේ රටේ මේ වගේ අමාරු කාලයක් ගෙවමින් ඉන්න කර්මාන්තකරුවෝ සහ ව්‍යාපාරිකයෝ ටික විනාශ වෙලා යන්න ඉඩ දෙන්න එපා කියලයි.

අපනයන ප්‍රශ්නේ එහෙම වෙද්දී, මේ වෙනකොට ලංකාවේ සමස්ත ව්‍යාපාර ක්‍රියාවලියත් ඇද වැටිලා. අපිත් හුඟක් වැඩ කරන්නේ හාඩ්වෙයාර් එක්ක. 5000- 6000ක අපේ හාඩ්වෙයාර් ජාලයම බිඳ වැටිලා. ඉදිකිරීම් නැතිවෙලා. ඒ විතරක් නෙවෙයි, රජයේ කොන්ත්‍රාත්වලට වැඩ කරලා අන්තිමේ සල්ලි ගන්න ආණ්ඩුවත් එක්කම නඩු කියන්න වෙලා. මේවා සිදු නොවිය යුතු දේ.

මේ වෙලාවේ අවධානය යොමු විය යුතු අනෙක් කරුණ තමයි, ලංකාවේ බැංකුවල අයහපත් ක්‍රියා පිළිවෙත. එයාලට ඕනේ ව්‍යාපාරවලට උදව් කරන්න නොවෙයි, වැටුණු ව්‍යාපාර පුළුවන් තරම් ඉක්මනට වෙන්දේසි කරලා හරි තමන්ගේ මුදල බේරාගන්න. බැංකු හය හතක්, මාස තුනෙන් තුනට ලොකු වාර්තා දෙනවා, ‘මෙන්න අපේ ආදායම තවත් වැඩිවෙලා....’ කිය කියා. නමුත් ඒ හා සමගාමීවම මාසෙකට ව්‍යාපාර විස්සක් වත් වැහිලා යනවා.

මේ වෙනකොට බංග්ලාදේශ අගමැතිවරයා ඒ රටේ සියලුම බැංකුවලට උපදෙස් දීලා තිබෙන්නේ, ව්‍යාපාරික ණය පොලී අනුපාත 10% කට අඩු කරලා, තනි ඉලක්කමකට ගේන්න කියලා. අපේ රටෙත් මේ වෙලාවේ වෙන්න ඔනේ මෙන්න මේ දේ. ජනපති, අගමැති, මුදල් ඇමති, මේ කවුරුන් හෝ බැංකුවලට වහා කතා කළ යුතුයි. උපදෙස් දිය යුතුයි. රටේ තත්ත්වය මොන තරම් නරක වුණත්, ව්‍යාපාර පණ ඇද ඇද, ඇදගෙන ගියත් පොලිය 15-16% යි. බැංකුවලට රජය තරයේ නොකීවොත් ඔවුන් එය කරන්නේ නැහැ. එහෙම නොකළොත් මේ රටේ දේශීය කර්මාන්ත හා දේශීය ව්‍යාපාර කියන ඒවා තව වැඩි කලක් පවතින්නෙත් නැහැ.

ඉතින් මේ ගෙවන අමාරු කාලය පහු කරන කල්, ව්‍යාපාරිකයොත් තමන්ගේ වියදම් අවම කළ යුතුයි. පුළුවන් තරම් අපනයන වෙළෙඳපොළට පිවිසිය යුතුයි. ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය තමන්ම තීරණය කළ යුතුයි. මොකද, අපනයනය කරන්න ආශාව හා උනන්දුව තිබුණත් එයට අතගහන්නට කලින් මේ රටේ බදු ක්‍රම පිළිබඳවත් අව‍බෝධයක් තිබිය යුතු නිසා.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

අදහස්