මේ වන විට තිස් අවුරුදු යුද්ධයට සහභාගි වී වයස අවුරුදු 40න් පමණ විශ්‍රාම ගිය හා රණක්ෂිතයට පත්ව සිටින හමුදා සාමාජිකයින්ට පවා නිසි පළපුරුද්දක් වෘත්තීය පුහුණුවක් නොමැති නිසා රැකියාවන්ට යොමු වීමේදී ගැටලුවලට මුහුණ පාන්නට සිදුව ඇත. එම නිසා ත්‍රිරෝද රථ රථයක් මිලට ගෙන ඒ ස්වයං රැකියාවට එසේත් නැත්නම් පෞද්ගලික ආරක්ෂක සේවාවන්ට සම්බන්ධ වීමට ඔවුන් කටයුතු කර ඇත.
ඒ තත්ත්වය වළකා රටට වඩාත් ආර්ථික වශයෙන් වඩාත් ඵලදායී වන ලෙසින් වෘත්තීය පුහුණුවක් කරා සමාජයම යොමු කරන්නට මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇත.
හමුදා සේවයේ බොහෝ අය වයස අවුරුදු 40ක් පමණ වන විට විශ්‍රාම යාමට උත්සාහ දරති. ඒ ඔවුන්ට සියලු වරප්‍රසාද සමඟ විශ්‍රාම වැටුපට හිමිකම් ලැබෙනා හෙයිනි. එහෙත් එයින් පසුව ඔවුන්ට කුමක් කරන්නට සිදු වන්නේද? එසේම ක්‍රියාන්විතවලදී රණක්ෂිතයට පත් අය මෙහිදී දැඩි අපහසුතාවන්ට පත් වේ.
එම පැවැති මානුෂීය මෙහෙයුම් වලදී ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් සදහා විශේෂිත වූ වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වා ජාතික වෘත්තීය නිපුණත්වයෙන් යුතු වෘත්තිකයින් බිහි කිරීමේ පරමාර්ථයෙන් යුතුව විශේෂ වෘත්තීය පුහුණුවක් ලබා දීමට මේ වන විට කටයුතු යොදා ඇත.
ආරම්භයේදී යුද හමුදාවේ රණක්ෂිතයට පත් වූ විරුවන්ට පමණක් හිමි වූ මේ වෘත්තීය නිපුණත්වය පසුව විශ්‍රාම යාමට ආසන්න අය උදෙසා ක්‍රියාත්මක කරන ලදී.
එසේම මේ වන විට නාවික හමුදාව හා ගුවන් හමුදාවටත් මේ වෘත්තීය පුහුණුව ලබා දීමට යොජිත පුහුණුව අවසානයේ අවශ්‍ය අවට ස්වයං රැකියා සකස් කර ගත හැකි අතර අනෙක් අයට රැකියා ස්ථාන උත්පාදනය කර දීමද මෙහිදී සිදු කෙරේ.
මෙය රටේ ආර්ථිකයට තවත් විශාල දායකත්වයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන අපි සොයා බැලුවෙමු.
හැඳල ලාදුරු රෝහල් පරිශ්‍රයේ අක්කර 3.5 ක පමණ භූමිභාගයක විසිරී ඇති රණවිරු සම්පත් කේන්ද්‍රය මඟින් මේ වෘත්තීය නිපුණතාව සලසනු ලබන අතර 2013 වසරේ මැයි මස 24 වැනිදා ආරම්භ වූ මේ ස්ථානයට මේ වන විට වසර 6ක් සම්පූර්ණ වී ඇත.
අපි එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හමු වී මේ ගැන විමසුවෙමු.
‘‘අවුරුදු 6ක් සම්පූර්ණ වන මේ රණවිරු සම්පත් කේන්ද්‍රය මේ වන විට 1125 දෙනකු වෘත්තීය පුහුණු තත්ත්වයට පත් කර තිබෙනවා. එහිදී එන් වී කියු 3 (NVQ III ) හා එන් වී කියු 4 (NVQ IV ) ට අදාළ සහතික පත් ලබා දෙනවා. සහතික ලබා දීම සිදු කරන්නේ වෘත්තීය පුහුණු අධිකාරිය මඟිනි.
මේ වන විට අපි අනුමත පාඨමාලා 9ක් පවත්වනවා. ඒ යටතේ පරිගණක යෙදවුම් සහායක පාඨමාලාව (NVQ III ), වඩු කාර්මික (ගොඩනැගිලි) ශිල්පී පාඨමාලාව (NVQ IV )
ඉලෙක්ට්‍රොනික් උපකරණ තාක්ෂණ ශිල්පී පාඨමාලාව (NVQ III ), පරිගණක දෘඪාංග ශිල්පී පාඨමාලාව (NVQ IV ), කොණ්ඩා මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පී පාඨමාලාව (NVQ IV ), ත්‍රිරෝද රථ/යතුරුපැදි අළුත්වැඩියා කිරීමේ පාඨමාලාව (NVQ III ), ඇලුමිණියම් පිරිසැකසුම් ශිල්පී පාඨමාලාව (NVQ III ), ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව (NVQ III ), උද්‍යාන අලංකරණ ශිල්පී පාඨමාලාව (NVQ IV ) ඇතුළත් වනවා.
2017 වර්ෂයේ සිට පාඨමාලාලාභීන්ගේ කුසලතා වර්ධනය පිණිස අතිරේක වශයෙන් ඉංගිරිසි ඉගැන්වීම සඳහා උපදේශකයකු පත් කරා.
ඉංගිරිසි හැරෙන්නට අනෙක් සියලු පාඨමාලා සඳහා උපදේශකයින් වෘත්තීය පුහුණු අධිකාරිය විසින් අනුයුක්ත කර තිබෙනවා.
වැඩි දෙනා කැමැත්තක් දක්වන්නේ ඇලුමිනියම් හා රූපලාවණය පාඨමාලාවටයි. ඒ සඳහා මේ වන විට දේශීය හා විදේශීයව විශාල ඉල්ලුමක් පවතිනවා. එසේම ආදායම් මාර්ගයත් ඉතා ඉහළයි. රණවිරු සම්පත් කේන්ද්‍රයේ පළමු වන සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එච්.එම්. මනතුංග මහතා විශාල සේවාවක් කර තිබෙනවා. අපි එය ඉදිරියට ගෙන යනවා.‘‘
වෘත්තීය පුහුණු පාසලක් ලෙස පවත්වාගෙන යනු ලබන රණවිරු සම්පත් කේන්ද්‍රයේ අවශ්‍ය සියලුම සහසුකම් සපුරා ඇති අතර වෘත්තීය පුහුණු අධිකාරියේ උපදේශකයින් 9 දෙනකු පාඨමාලා සඳහා අනුයුක්ත කර තිබේ. වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව අධිකාරිය විසින් උපදේශකවරුන් පත් කිරීම සහ අවශ්‍ය කරනු ලබන යන්ත්‍රෝපකරණ සැපයීමත් ඒවායේ නඩත්තුව සිදු කිරීමත් සිදු කළ යුතු අතර පුහුණුවන්නන්ට ස්වයංරැකියා සඳහා මඟ පෙන්වීම සහතිකපත් ලබා ගැනීම සඳහා අවශ මඟ පෙන්වීම හා පුහුණුවන්නන්ට අඛණ්ඩව පාඨමාලාවට යොමු කිරීම ඇතුළු ප්‍රගතිය සිදු සොයා බැලීම කේන්ද්‍රය මඟින්ම සිදු කරනු ලැබේ.
එසේම මේ වන විට 60 දෙනකු තම පුහුණුවෙන් පසු තමන් යටතේ සේවකයින් බඳවාගෙන විවිධ වෙළෙඳ ආයතන පවත්වාගෙන යනු ලබන අතර එයින් 10 දෙනකුම ආබාධිත සෙබළුන් වීම විශේෂත්වයකි.
NVQ වටිනා සහතිකය නිසා මේ අයට වැඩි ඉල්ලුමක් පවතී.
විශේෂයෙන්ම මේ වන විට ඇලුමිනියම් කර්මාන්තයේ යෙදෙන මෙරට ප්‍රධාන පෙළේ නිෂ්පාදන ආයතනවලින් මේ වන විටත් ඒ අය සඳහා ඉල්ලුමක් ලැබී ඇති බව ප්‍රියංක ප්‍රනාන්දු මහතා පවසයි.
රණවිරු සම්පත් කේන්ද්‍රය ඇත්තෙන්ම රැකගත යුතු සම්පතක් වන්නේ එයින් සෙත සැලසෙන්නේ රණවිරුවන්ට පමණක් නොව සමස්ත ලක්වාසීන්ටම වන බැවිනි. භෞතිකමය බාධාවලින් තොරවූ පරිසරයක් තුළ වෘත්තීය පුහුණුව කරගෙන යෑම සඳහා ප්‍රායෝගිකව කර ගෙන යාමට ලැබී ඇති හැකියාව නිසාම හා ඇති අධික ඉල්ලුම නිසා ඉදිරියේදී තවත් පාඨමාලා 6ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ බේකරි පාඨමාලාව, සම්භාණ්ඩ සහ පාවහන් නිෂ්පාදනය කිරීමේ පාඨමාලාව, ශීතකරණ හා වායුසමීකරණ අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව , ඇදුම් මැසීමේ පාඨමාලාව (පිරිමි), ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පී පාඨමාලාව හා පරිගණක චිත්‍ර ශිල්පී පාඨමාලාවන් ඇතුළත්ය.
ඒ අනුව තවත් වැඩදායක අංශ රැසකින් සේවාව සලසන්නට ඔවුන් කටයුතු කර ඇත. සියලු දෙනාගේම දැනුම එක හා සමාන නොවේ. සියලු දෙනාටම උසස් අධ්‍යාපනය හැදෑරිය හැකි නොවේ. එම නිසා මේ පිළිගත් සම්මතයන්ට අනුව විධිමත් ආකාරයෙන් ලබා ගන්නා දැනුම ඉදිරියේදී රටේ රැකියා වියුක්තියට සේවාවක් සලසනවා මෙන්ම ඒ හරහා දැනුමින් පෝෂිත ශිල්පීන් රැසක්ද බිහි වනු ඇත.
තාරක වික්‍රමසේකර
සේයාරූ - විමල් කරුණාතිලක