අඩපණ වූ ආර්ථිකය නංවන්න අගමැතිගෙන් යෝජනා | සිළුමිණ

අඩපණ වූ ආර්ථිකය නංවන්න අගමැතිගෙන් යෝජනා

පසුගිය වසර අවසාන කාල පරිච්ඡේදය තුළ මෙරට ඇති වූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහව යාමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් මෙරට ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගෙමින් තිබුණු අතර මෙම වසර අවසානය වන විට රට යම් සුබදායී දිසාවක් වෙත යොමු කිරීමට හැකි වනු ඇතැයි රජය,බලධාරීන් හා ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයන් විශ්වාසය පළ කර තිබුණි. එහෙත් සියල්ලෝ අන්දමන්ද කරමින් හා වික්ෂිප්තභාවයට පත් කරමින් අංශක 360 කින්ම මේ වන විට රට ආපස්සට හැරවී ඇත.

එහෙත් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ප්‍රහාරය එල්ල කළ අප්‍රේල් 21 වැනි දින වන විට අප රට තුළ තිබුණේ මෙවැනි වාතාවරණයක් නොවේ. ඒ වන විට වත්මන් රජය මගින් මෙරට සංවර්ධන ඉලක්ක හා එම ඉලක්ක හඹා යන ක්‍රමවේදය වේගවත් කිරීම සදහා හදුන්වා දී තිබුණු “ගම්පෙරළිය” හා “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැනි ක්‍රියාන්විත රාශියක් සිය බලාපොරොත්තු වූ අරමුණු වේගයෙන් සපුරා ගනිමින් තිබුණි. මේ වන විට මැදි ආදායම් ලබන ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාව වසර 2025 වන විට 'පොහොසත් රටක්' බවට පත්කිමේ අරමුණින් රජය මෙම සුවිශේෂ සංවර්ධන වැඩසටහන් හදුන්වා දී තිබුණු අතර එම වැඩසටහන් පිළිබඳව ජනතාව තුළද විශ්වාසයක් හා ප්‍රසාදයක් ගොඩ නැගී තිබීමද විශේෂත්වයක් විය.

මෙම සංවර්ධන ව්‍යාපෘති අතර ඉතාම ආකර්ශණීය සංවර්ධන මෙහෙයුමක් වූයේ “ගම්පෙරළිය” වැඩසටහනයි.

ග්‍රාමීය ජනතාවගේ ගැටලු හඳුනා ගනිමින්, ඒවාට පිළියම් යොදමින්, අධ්‍යාපනය, නව තාක්ෂණය හඳුන්වා දීම, සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීම හා යටිතල පහසුකම් ලබාදීමෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන යටිතල පහසුකම් අංශ 12 ක් යටතේ එකී ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම මෙම කඩිනම් සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛ ඉලක්කය වූ අතර දිවයිනේ සෑම මැතිවරණ බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි එක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක විවිධ සංවර්ධන ව්‍යාපෘති එමගින් පසුගිය කාලයේදී රට පුරා ක්‍රියාත්මක විය.ඒ අනුව දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාස තුළ ගමට පිවිසෙන මාර්ගයේ සිට ජලය, ඇළවේලි, ගොවිබිම්,කර්මාන්ත, සේවා, පාසැල්, සෞඛ්‍ය, පෝෂණ, ආගමික, සාමාජයික, ක්‍රීඩා, කලා කටයුතු ආදි අංශ රැසක සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තුළින් ජනතාවට සහන හා පහසුකම් ලබා දීමට සැලසුම් සකස් වී තිබුණු අතර එම සියලු කටයුතු වෙනුවෙන් මේ වසර තුළ රුපියල් මිලියන 48000ක අතිදැවැන්ත මුදලක් වැය කිරීමටද කැබිනට් අනුමැතිය පවා හිමි වී තිබුණි.

මේ අතර රටට අවශ්‍ය නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් මුදල් අමාත්‍යාංශය පසුගිය 2018 වසරේ ජූනි මාසයේදී ආරම්භ කළ “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන” ද පසුගිය කාල පරිච්ඡෙදය තුළ නැවුම් ණය යෝජනා ක්‍රම රැසක ප්‍රතිලාභ මෙරට ජනතාව වෙත ලබා දීමට සමත්කම් දැක්වීය.පසුගිය අප්‍රේල් මාසය ආරම්භයේදී මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මෙම සහන ණය යෝජනා ක්‍රමය යටතේ ඉල්ලුම්කරුවන් 46673 ක පිරිසකට රුපියල් මිලියන 786216ක් වටිනා ණය මුදල් මුදා හැරීමට මෙම “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමයට හැකියාව ලැබී තිබුණු බවයි.

කෙසේ වුවත් අන්තවාදී අදහස් දැරූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී පිරිසක් විසින් පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරත් සමග රටතුළ නිර්මාණය වූ අස්ථාවර දේශපාලන හා ආර්ථික වටාපිටාව තුළ මේ “ගම්පෙරළිය” හා “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” සංවර්ධන ව්‍යාපෘති ඉතා මන්දගාමී විය.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් මුදුන්පත් කර ගැනීමට වසර ආරම්භයේදී බලාපොරොත්තු වූ ඉලක්ක හා අරමුණු සපුරා ගැනීමට මේ නිසා බාධා එල්ල වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් බිය පළ කර ඇති අතර මේ සියලු කරුණු පිළිබදව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇති වී ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ අඩපණ වූ සි‍යලු සංවර්ධන ව්‍යාපෘති නොපමාව යළිත් ආරම්භ කිරීමට මේ වන විටත් අදාළ සියලු අංශ හා වගකිවයුත්තන් වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව ගම්පෙරළිය සදහා මැතිවරණ කොට්ඨාස මට්ටමින් වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති සියලු මුදල් වහාම මුදා හැරීමට කටයුතු යෙදෙනු ඇති අතර එම වැඩපිළිවෙළේ දෙවන අදියර යටතේ තවත් නව ව්‍යාපෘති රැසක් ඉක්මනින්ම ආරම්භ කිරීමටද කටයුතු යෙදෙනු ඇත.

එසේම “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන තුළින් තවත් නව ව්‍යවසායකයින් රැසක් සදහා සහන පොලී ණය ලබා දීමටද කටයුතු යෙදෙනු ඇති අතර මේ වන විට රාජ්‍ය අංශය මගින් පමණක් ලබා දෙන එකී ණය මුදල් ඉදිරියේදී පෞද්ගලික වාණිජ බැංකු ද ව්‍යවසායකයන් සඳහා ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා වී තිබේ.

 චන්දිමා එදිරිමාන්න

 

Comments