විනෝ­ද­යට එකතු කරන්නට ගොස් පත්තු ­වුණු අවි | සිළුමිණ

විනෝ­ද­යට එකතු කරන්නට ගොස් පත්තු ­වුණු අවි

මොහොමඩ් යස්ලි අබ්දුල් වාහිඩ් සිය ජීවිතයේ සැදෑ සමය ගතකරන විශ්‍රාමිකයෙකි. ඇමරිකාවේ කාලයක් රැකියාවේ නිරතව සිට මෙරටට පැමිණි ඔහු ද්විත්ව පුරවැසියෙකි. දෙහිවල සරණංකර මාවතේ පදිංචිව සිටි ඔහුගේ පුතා ගුවන් නියමුවෙකි. ඔහු සේවයේ නිරතව සිටින්නේ ඇමතිවරයෙකුට අයත් පුද්ගලික ගුවන් සමාගමකය.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රටපුරාම සෝදිසි මෙහෙයුම් දියත්වන විට වාහිඩ් සිටියේ තරමක චකිතයකිනි. ඒ ඔහු සතුවද නීතිවිරෝධි භාණ්ඩ ගොන්නක්ම තිබුණු බැවිනි. ඒ කඩු කිනිසි පිහියා නොව, ගිනි අවි ගොන්නකි. ගිනි අවි එකතුකිරීම විනෝදාංශයක් කරගත් ඔහු ඇමරිකාවේ යන එන අතර තුර හොර රහසේ සිය ගමන් මළුවල සගවාගෙන ගිනි අවියක් දෙකක් ගෙන එන්නට අමතක නොකළේය. එසේ රැගෙන පැමිණි ගිනි අවි ඔහු සිය මිතුරන්ට පෙන්වන්නට වූයේ මහත් උජ්ජාරුවෙනි.

“කවදහරි ඔයා අමාරුවේ වැටෙන්නේ ඔය ආයුධ නිසයි.ඕව විසිකරල දාන්න“ ගුවන් නියමු පුතා කිහිප විටක්ම ඔහුට ඒ ගැන අවවාද කළද ඒ කිසිවක් ඔහු තැකීමට ලක්නොකළේය. එහෙත් ඔහුට සිය පුතු ලබාදුන් අවවාදය මතකයට නැගෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රටේ උත්ගතවූ තත්ත්වය නිසාය. ඒ යැයි කියා තමන් සතුව ඇති ගිනි අවි එකතුව කූණුකූඩයට දැමීමට තරම් ඔහුට සිතක් නොවීය. ලයිෂන් තිබුණු ෂොට් ගන් දෙකක් හැරුණු කොට සෙසු සියලු ගිනි අවි පොට්ටනිකොට ඇද මෙට්ටයක් අස්සේ දමා සිය කැබ්රථයෙන් රැගෙන යන්නේ තණමල්විල කුඩාඔය පිහිටි සිය ගොවිපොටය.

එහි සේවයේ නිරතව සිටි තිස්සමහාරාමයේ පදිංචි මුරකරුට එම ආයුධ තොගය බාරදෙන ඔහු එය වලදමන ලෙස දැනුම් දී නැවතත් ඒ පිම්මේම පිටත්වන්නේ කොළඹ බලාය. දිනක් දෙකක් ඒ ආයුධ මල්ල ගොවිපොල භුමියේම ගසක් මුල තිබුණේය. එය වලදමන්නට තරම් මුරකරුට හිතක් නොවීය. අවසානයේ එම ආයුධ මල්ල ගැන කුඩිඔය පොලිසිය දැනුවත් වන්නේ තොරතුරක් ඔස්සේය. තොරතුරුකරු උණ බට කැපීමට ගොවිපොළ භුමියට රිංගූ දරුවන් දෙදෙනෙක් බව කියති. තවත් පැත්තකින් පැවසෙන්නේ තොරතුරුකරු ගොවිපොලේ මුරකරු කියාය.

පොලිසියට එකී තොරතුර ලැබෙන්නේ 12 වෙනිදා රාත්‍රියේය. ඒ මොහොතේම ක්‍රියාත්මක වන කුඩාඔය පොලිසියේ නිලධාරීන් ගොවිපොල වටකරනු ලැබීය. එහි වූයේ ගිනි අවි මල්ලක් නොව, ගබඩාවකි. ස්නයිෆර් අවි දෙකක්ම එහි තිබුණේය. ඊට අමතරව ෂොට්ගන් අවි දෙකක්, පිස්තෝලයක්, ඩබල්බැරල් අවියක්, තනිබැරල් අවියක්ද අවි ගොන්න අතර විය. එම අවි වලට යොදන පතොරම් පමණක් හාරදහසකට වැඩි ප්‍රමාණයක් තිබුණේය. අත්විලංගු, කඩු , කිනිසි, ද ඒ අතර නැතුවාම නොවීය.

විනෝදයට වූවත් මෙතරම් අවි ගොන්නක් ළග තබා ගන්නට සිවිල් පුරවැසියන්ට කිසිසේත්ම අවසරයක් නැත්තේය. ඔහු මේ අවි පොලිසියට භාරදුන්නේ නම් ගැලවිල්ක් තිබුනේය. එහෙත් ඔහු සූදානම් වූයේ වලදමා සගවා පසුව ගොඩ ගන්නටය. ඒ නිසා දැන් ඔහුට සිදුව ඇත්තේ හිරේ විලංගුවේ වැටී සිටින්නටය.

Comments