මක්කම ගිහින් ඇවිත් මරා­ගෙන මැරෙන්න හිටිය අබු සීලන්ට සවුදි රැක­ව­ර­ණය ලැබුණු හැටි | සිළුමිණ

මක්කම ගිහින් ඇවිත් මරා­ගෙන මැරෙන්න හිටිය අබු සීලන්ට සවුදි රැක­ව­ර­ණය ලැබුණු හැටි

වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ මිනීමරුවා

මක්කම ගියේ නැවත ඇවිත් මරාගෙන මැරෙන ප්‍රහාර ක්‍රියාත්මක කරන්න

සැඟවෙන්නේ තමන්ගේ සියලු කෙළි හෙළිවුණ බව දැනගෙන

 

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන විට සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශ ප්‍රධානී මොහොමඩ් මිල්හාන් හෙවත් අබු සීලන් නැමැති අන්තවාදියා සිටියේ මක්කම වන්දනාවේ ගොසිනි. එම අන්තවාදියා කාතන්කුඩියේ පදිංචිකරුවෙකි. 2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා වව්නතිව් හි පොලිස් මුරපොළක සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට වෙඩි තබා මරා දමමින් ඔවුන් සතුව තිබුණු රිවෝල්වර දෙක පැහැර ගත්තේද මිල්හාන්ය. ඉකුත් මාර්තු 09 වෙනිදා මාවනැල්ලේදී ඇමති කබීර් හෂීම්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් නස්ලිම් ට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහයක නිරත වූයේද මිල්හාන්ය.

 

මිල්හාන් එදා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වන විට සිටියේ මක්කම වන්දනාවේ ගොස් සෞදියේය. මිල්හාන් ගැන තොරතුරු හෙළි වන්නේ සහරාන්ගේ රියැදුරු ගෆුර් මාමා නැමැත්තා කාතන්කුඩියේදී අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. විමර්ශනවලින් හෙළි වන්නේ මිල්හාන් මරාගෙන මැරෙන්නට සිටින ප්‍රහාරකයකු බවය. ඔහු සූදානමින් සිට ඇත්තේ මක්කම වන්දනාවෙන් පසු පෙරළා මෙරටට පැමිණ දෙවැනි ප්‍රහාර මාලාවට සම්බන්ධ වන්නටය. එකී සුදානමින් ඔහු මෙරටට නැවත පැමිණිමට නියමිතව සිටියේ ඉකුත් 30 වෙනිදාය. එදින ඔහු මෙරටට නොඑන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ගැන ඉව වැටී ඇතැයි දැනගෙනය. එදා ඔහු මෙරටට එන්නට සවුදි ගුවන්තොටුපොළට ඇතුළු වී ගුවන් යානාවටද ගොඩවීමට සූදානම්ව සිට අවසාන මොහොතේදී අතුරුදන් වන්නේ ඔහුට කුමක් සිදු වී දැයි ගුවන් කාර්ය මණ්ඩලයටද සිතා ගන්නට පවා නොහැකි වන ලෙසිනි.

ඒ ගැන අන්තර්ජාතික පොලිසිය හා ඔත්තු සේවා මඟින් සවුදි ආරක්ෂක අංශ දැනුවත් කිරීමක් සමඟ සෞදි ගුවන්තොටුපොළේ වැසිකිළියක සැඟවී සිටි මිල්හාන්ව අත්අඩංගුවට ගත් සවුදි ආරක්ෂක අංශ මෙරටට දැනුම් දෙන්නේ එදින සවස ශ්‍රී ලංකාව බලා ගුවන්ගතවන ගුවන්යානාවෙන් මිල්හාන් පිටුවහල් කර එවන බවය. එහෙත් ඒ දිනය සතියක් ඉක්ම යන තුරුම උදා වූයේ නැති බැවින් විශේෂ පොලිස් කණ්ඩායමක් සවුදිය බලා ගමන් කරන්නේ මිල්හාන් රැගෙන ඒමේ අපේක්ෂාවෙනි. එම විශේෂ පොලිස් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීහු ඇතුළත්ව සිටියහ.

සතියකට වැඩි කාලයක් ඔවුහු සෞදියේ රැඳී සිටියහ. මිල්හාන් ඔවුන්ට බාරදෙනවා තබා ඔහුව මුණ ගැසීමටවත් ඉඩක් නොවීය. ඒ සවුදි රජය ඔහුව මෙරටට බාරදීමට මැළිකමක් දැක්වූ බැවිනි. අවසානයේදී එම විශේෂ පොලිස් කණ්ඩායමෙන් කොටසක් ඉකුත් සති අග මෙරටට පැමිණෙන්නට සිදු වන්නේ හිස් අතිනි. එහෙත් උත්සාහය තවමත් අතහැර නැත. ඒ ජාතික තවුහිත් ජමාත් හී රහස් ගබඩාව ඔහු වන බැවිනි.

මිල්හාන් හැරුණු කොට ඉකුත් සති අග වන විට පාස්කු ප්‍රහාරයට ඍජුව මෙන්ම වක්‍රව වගකිව යුතු සහරාන්ගේ අන්තවාදී ගෝලබාලයන් මෙන්ම අයි.එස් .ත්‍රස්යන් සමඟ සම්බන්ධකම් පැවැති 85 දෙනෙක්ම සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙත් අත්අඩංගුවේය. ඒ අය අතර සහරාන්ගේ බිරිය ද සිටි. ඊට අමතරව දෙවැනි ප්‍රහාරයට සූදානම්ව මරාගෙන මැරෙන්නට සිටි අට දෙනෙක්ද, සහරාන්ගේ තාක්ෂණ ශිල්පියා සිටින්නේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය.

තාක්ෂණ ශිල්පියා අත්අඩංගුවට ගන්නේ ප්‍රහාරයෙන් සිවු දිනක් ඉක්ම යන්නට මත්තෙනි. තවමත් විසි හතර වියේ පසුවන මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වන ඔහු නමින් ආදීල් අමීස්ය. මාධ්‍යවේදියකු ලෙස සමාජ ජාලවල පෙනී සිටි ඔහු වර්චූසා ආයතනයේ සේවයේ නිරතවූවෙකි. අලුත්ගම පදිංචිකරුවකු වන ඔහුගේ මවුපියන් පවසන්නේ තම පුතුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව පදනම් විරහිත අසත්‍ය එකක් බවය. එහෙත් මේ වන විට විමර්ශනවලින් හෙළි වී ඇත්තේ අයි.එස් සංවිධානය සහ සහරාන් අතර තාක්ෂණික පුරුක එම මෘදුකාංග ඉන්ජිනේරුවරයා බවය. ඒ අනුව පොලිසිය ඔහු සේවය කළ දෙමටගොඩ පිහිටි ආයතනයේ පරිගණක පද්ධතිය පවා පරීක්ෂාවකට ලක් කර ඇත.

එහෙත් සැකකටයුතු කිසිවක් හමු වී ඇති බවක් අනාවරණය වන්නේ නැත. ඒ ඔහුගේ පරිගණකවල තිබුණු බොහෝ තොරතුරු පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ මකාදමා ඇති බැවිනි.

ඉන්දියානු රෝ ඔත්තු සේවය මේ වන විට හෙළි කර ඇති ආකාරයට ඔවුන් ආදීල් අමීස්ව අධ්‍යයනය කරමින් සිට ඇත්තේ 2016 වසරේ සිටය. පරිගණක ඉන්ජිනේරු තාක්ෂණය මෙන්ම දේශපාලන විද්‍යාව පිළිබඳ එක්සත් රාජධානියේ උපාධිධාරියකු ද වන ආදීල් ඉන්දයාවේ අහමාද්බාද් පිහිටි යුදෙව් දේවස්ථානයකට පහරදීමට සැලසුම් කළ අන්තවාදීන් දෙදෙනකු සමඟද සම්බන්ධකම් පවත්වා තිබේ. ඒ සම්බන්ධයෙන් ඉන්දියානු අධිකරණයේද ආදීල්ට එරෙහිව චෝදනා ගොනු කර ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගිය සතියේ වාර්තා කළේය. එහෙත් ඒ බවක් පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම ඉන්දියාවෙන් මෙරටට දැනුම් දී තිබුණේ නැත.

සහරාන්ට අරමුදල් සපයන ලද ව්‍යාපාරිකයන් පිරිසක් මේ වන විට පොලිස් අත්අඩංගුවේය. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ මැදිහත්වීම් මත මෙරට අයි.එස් ජාලයට සම්බන්ධ 50කට වැඩි පිරිසක්ද ඉකුත් සති අන්තය වන විට අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අය අතර වැඩි පිරිසක් කාතන්කුඩියේ තරුණයෝය.

මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී ඇති ආකාරයට පාස්කු ඉරිදා පුපුරාගිය සෑම බොම්බයක්ම නිෂ්පාදනය කර ඇත්තේ කටානේ පිහිටි කුලී නිවස තුළය. කටානේ කුලී නිවසේදී ඇටවූ බොම්බවලට බැටරි සවි කර ටයිමර් සවි කර ඇත්තේත් ස්විචයන් සවි කර ඇත්තේත් පාණදුර සරික්කමුල්ලේ නිවසේදීය. මඩකලපුව සියෝන් දේවස්ථානයට පවා බොම්බ ඇටවූ බෑගය රැගෙන ගොස් ඇත්තේ සරික්කමුල්ලේ නිවසේ සිටය.

සහරාන් ඇතුළු පිරිස මරාගෙන මැරෙන්නට දිවුරුම දී ඇති ස්ථානයද පැහැදිලිවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ වන විට හඳුනාගෙන හමාරාය. ඒ තැන වන්නේ ලකී ප්ලාසා ගොඩනැගිල්ලෙහි පිහිටි සුඛෝපභෝගි නිවසකි. ඔවුන් දිවුරුම දුන්නේ අයි.එස්. ලාංජනයක් සහිත ධජයකට පිටුපාමිනි. එම ධජය බිත්තියේ සවි කරන ලද ස්ථානවල සටහන් ලකී ප්ලාසා නිවාසයේ බිත්තියේ පැහැදිලිවම තවමත් දක්නට ඇත. දිවුරුම දුන් තැන පැහැදිලිවම හඳුනාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට හැකියාව ලැබෙන්නේ ඒ ඔස්සේය.

හෙළි වී ඇති ආකාරයට දිවුරුම දෙන්නේ 18 වැනිදාය. 19 වැනිදා සහරාන් සිටින්නේ සරික්කමුල්ලේ නිවසේය. ඔහු බිරියට සමුදෙන්නේ එම නිවසේදීය. 20 වෙනිදා මරාගෙන මැරෙන්නට සූදානමින් ෂ්‍රැංග්‍රිලා හෝටලයට යන්නේ එහි සිටය.

සහරාන් දිවුරුම් දෙන විට ඔහු අත ගිනි අවියක් තිබිණි. එම අවිය මේ වන විට ඇත්තේ පොලිස් භාරයේය. එම ගිනි අවිය සොයා ගන්නේ සයින්දුමරුදු පිපිරුමෙන් පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තක්සේරුව නම් තවත් කිහිපදෙනකු හැරුණු කොට අත්අඩංගුවට ගැනීමට තවත් මහ ලොකු පිරිසක් ඉතිරි ව නැති බවය.

Comments