ප්‍රභා­ක­රන්ට පණ දෙන්න ගිහින් ගෙදර ගිය යාප­නය උප­කු­ල­පති | සිළුමිණ

ප්‍රභා­ක­රන්ට පණ දෙන්න ගිහින් ගෙදර ගිය යාප­නය උප­කු­ල­පති

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කොට තිබේ.

වී. විග්නේස්වරන් නැමති මොහු වසර ගණනාවක්ම යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සේවය කළ අතර යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍ය සංගම්වලින් මේ උප කුලපතිවරයාට ලැබී තිබුණේ ඉතා විශාල සහයෝගයකි.

යාපනය විශ්වවිද්‍යාලයේ සෑම අංශයකින්ම විග්නේස්වරන් උපකුලපතිවරයාට උපරිම සහයෝගය ලැබී තිබියදී යාපනය ඇතුළු මුළු උතුරේම දෙමළ දේශපාලනඥයන්ගේ සහයද ඔහුට ලැබී තිබිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ගෙදර යෑමට සිදු වූයේ මියගිය ප්‍රභාකරන්ට යළි ජීවය ලබාදීමට කාලයක සිට දරන ලද ප්‍රයත්නයේ වේගය මේ වසරේදී වැඩි කිරීමට යෑම නිසාය. මැයි මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොස් මියගිය ප්‍රභාකරන් ඇතුළු පිරිස සැමරීම ප්‍රමාණවත් නොවන බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අදහස විය. ඒ වෙනුවෙන් ශිෂ්‍ය සංගම් විසින් විවිධ ආකාරයේ වැඩසටහන් සැලසුම් කොට උපකුලපතිවරයාට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ කටයුතුවලට උපකුලපතිවරයා පූර්ණ වශයෙන් සහාය ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් යාපනයේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු කොළඹට වාර්තා විණි. රාජකාරිමය වශයෙන් පියවරෙන් පියවරට මේ තොරතුරු ගලාගෙන යෑමේදී යාපන විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ත්‍රස්තවාදයට යළි උඩගෙඩි දෙන බවට වූ චෝදනාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතද ආරක්ෂක අංශ විසින් දැනුම් දී තිබිණි.

ඒ අවස්ථාවේදී නිලධාරීන් ඒ ගැන විමසූ අවස්ථාවේද ඔහු පවසා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් වාර්ෂිකව කරගෙන යනු ලබන දේට වඩා වෙනත් යමක් සිදු නොකරන බැවින් එය ඉතා විශාල ප්‍රශ්නයක් නොවන බවයි.

උතුරේ පිරිස් සෑම වසරකදීම මැයි මාසයේ 18 දා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් පළාතට එක්ව යුද්ධයේ ජන සංහාර දිනය යැයි සමරන දිනයත්, ප්‍රභාකරන් මියගිය දිනයත්, නොවැම්බර් මස 26 වැනිදාට යෙදී ඇති ප්‍රභකරන්ගේ උපන්දිනය සැමරීම හා ඊට පසු දිනයේදී සමරණ මහවිරු දිනයත් සමරද්දී ඊට මූලිකත්වය හා නායකත්ව ලබා දෙන්නේ යාපනය විශ්වවිද්‍යාලය මඟිනි. සෑම වසරකම මන්තරයක් ලෙසින් ඇසෙන මේ කතාව ගැන පෙර වසරවල නිහඩව සිටියද රටේ උද්ගතව ඇති අර්බුදයත් සමඟ මෙවර විශ්වවිද්‍යාල බලධාරීන්ට ආරක්ෂක අංශ වෙතින් නැඟෙන චෝදනා සම්බන්ධයෙන් නිහඬව සිටීමට නොහැකි විය.

ප්‍රභාකරන් මියගොස් වසර දහයක් මේ මැයි මාසයේ 18 වෙනිදාට සම්පූර්ණ වන නිසා අමුතුම මාදිලියේ දේවල් සිදුවිය හැකි නිසා යාපනයේ ආරක්ෂක අංශ යාපනය විශ්ව විද්‍යාලය වටා දැල් එළීමට පටන් ගත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මහවිරු උළෙල සැමරීම උතුරේ පිරිස සිදු කිරීමත් සමඟම ඇති වූ සැකය ඔස්සේය.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ සිතූ ආකාරයටම බොහෝ දේ සිදුව තිබිණි. ලෝකයේ පහළ වූ එකම දෙමළ නායකයා හා දෙමළ වීරයා ප්‍රභාකරන් මිස වෙනත් කිසිවකු නොවන බවට නිපදවන ලද චිත්‍රපට දෙකක්ම ආරක්ෂක අංශ වෙත ලැබී තිබිණි.

යුද්ධය යනු දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා කළ ඉතාම සාධාරණීය අරගලයක් බව හුවා දක්වමින් නිපදවන ලද තවත් විශේෂාංගයක් ද විය. ඉදිරියේදී දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම පිණිස අරගලයන් දියත් කිරීමට දෙමළ ප්‍රජාව පෙළ ගැස්ය යුතු ආකාරය පිළිබඳ දේශන ඇතුළත් තවත් වීඩියෝ පට කීපයක්ම වෙයි.

මේ ආදී වශයෙන් ප්‍රභාකරන් වීරයෙකු කරමින් ඔහු ගිය පාරේ යළිත් දෙමළ ජනතාව පෙරහැරේ ගෙන යෑමට ප්‍රබල උත්සාහයක් දරා ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ පිරිසක් බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබිණි. එහෙත් කිසිවකු අත්අඩංගුවට නොගෙන ආරක්ෂක අංශ තවත් දැඩි සෙවිල්ලකින් පසු වූයේ මේ ක්‍රියාවන් වලින් හැමදාම ඇග බේරාගන්නා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මේ අලුත්ම යුද්ධයේ පුරුකක් වීමට දරා ඇති උත්සාහය හෙළි කරගැනීම සඳහාය.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා යාපනයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ හදිසියේමය. ඔවුන් අත්අඩංගුවට ගෙන විනාඩි හතළිහක් ගතවීමටත් පෙර ඔවුන් නිදහස් කළ යුතු බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු රජයට යෝජනා කළහ. ඔවුන් එසේ කරන ලද්දේ ද යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ඉල්ලීම මතය.

අවසානයේදී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළුව පාලන අධිකාරියේ පිරිසකට යාපනයේ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා තිබිණි. යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඊට අවස්ථාවක් ලබා දෙන ලද නමුත් උපකුලපතිවරයා වූ විග්නේස්වරන් මහතාට ඊට සම්බන්ධ වීමට බලයක් නැති බව දැනුම් දී තිබිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සේවයෙන් පහකොට ඇති බව ආඥාපතිවරයා දැන සිටියද යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය දැන නොසිටියේය. උපකුලපතිවරයාට ඔහු සේවයෙන් පහ කළ බව දැනුම් දී තිබුණද ඒ වන තුරු ලිඛිතව ලිපියක් නොතිබීම නිසා ඔහු ඒ පිළිබඳ කිසිවෙකුටත් කිසිවක් නොකියා සිටීමට වග බලා ගත්තේය.

අවසානයේදී අදාළ ලිපිය යාපනය විශ්වවිද්‍යාලය වෙත ලැබිණි. උපකුලපතිවරයා සේවයෙන් පහකොට තිබූ අතර යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට මාස හයකට වැඩ බැලීමේ පදනම මත නිසි බලධරයකුද පත් කොට තිබිණි.

කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටින යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් දෙදෙනා හා අනෙක් අයෙකු නිදහස් කරගැනීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය ආරක්ෂක අංශ සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

දැන් එල්ල වී ඇති චෝදනා සුළුපටු නොවේ. යළි ත්‍රස්තවාදය ආරම්භ කිරීමට කටයුතු කිරීම ජනතාව උසිගැන්වීම සංවිධානය කිරීමට තැත් කිරීම එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් සංවිධානයක්ව තිබියදී ඊට අනුබල දීම එම සංවිධානය සදහා ප්‍රචාරක ද්‍රව්‍ය සැකසීම වැනි මහා චෝදනා ගොන්නක් මේ පිරිසට එල්ල වී තිබේ.

යාපනයේ ආරක්ෂක අංශ ඒ පිළිබඳ මනා ලෙස කරුණු පැහැදිලි කිරීමෙන් පසුව විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියට දැන් තේරුම් ගොස් ඇත්තේ උපකුලපතිවරයාට සේවය අහිමි වීම් අපමණක් නොව ඔහුගේ බෙල්ලටද ළඟදීම තොණ්ඩුවක් වැටෙන බවයි.

ආරක්ෂක අංශවල සාකච්ඡාවෙන් පසුව ඔවුන් පැමිණ යාපනයේදී දෙමළ දේශපාලනඥයෝ හමු වී තිබේ. ඔවුන් නිදහස් කරගැනීම සඳහා කුමක් හෝ කරන බවට යාන්තමට හෝ පොරොන්දු වී ඇත්තේ සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණකි.

ඇත්ත වශයෙන්ම මේ සිසුන් නිදහස් කරන මෙන් ඉල්ලා රජයට බල කිරීමට හෝ ඉල්ලා සිටීමට නොහැකි තත්ත්වයක් ගොඩ නැඟී තිබේ.ඊ ට හේතුව වන්නේ ඔවුන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ යළි යුද්ධයකට ජනතාව අවතීර්ණ කිරීමේ උත්සාහයක නිරත වීමේ චෝදනාව මත සාක්කිද සහිතවය.

ත්‍රස්තවාදයක් යළිත් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මතවාද ගොඩ නැඟීම නිර්මාණය කිරීම හා ව්‍යාප්ත කිරීම යන ඉතිරි සියල්ලක්ම ඔවුන් ඉටු කොට තිබේ.

මේ මැයි මාසයේ 18 වන තුරු ඔවුන් අත්අඩංගුවට පත් නොවූයේ නම් ඔවුන් සැලසුම් කරගෙන සිටි පරිදි සියල්ලම සැලසුම් කරණු ඇත. නොදන්නා කමට ඇති එකම කාරණය වන්නේ මියගිය ප්‍රභාකරන් වෙනුවට අලුතින් හඳුන්වා දෙන දෙමළ වීරයා කවුරු ද? යන්න පමණකි.

යුද්ධය හමාර වී පළමු වසර සිහිපත් කරන ලද දිනයේ සිටම යාපනය විශ්වවිද්‍යාලය තුළ මේ ක්‍රියා සිදු විය. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල හා දෙමළ සිසුන් අතර නිතර නිතර ගැටුම් ඇති වූයේ මේ ක්‍රියාදාමවල ප්‍රතිපලයක් වශයෙනි. එල්.ටී.ටී.ඊ.ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දේ යාපනය විශ්වවිද්‍යාලය තුළ සිදු වන විට ඊට සිංහල සිසුන් එරෙහි වන විට දෙමළ සිසුහු ඔවුන්ට තඩි බෑහ.

අවසානයේදී කියා සිටියේ එපා කියද්දී සිංහල වන්නම් නැටුමක් ඉදිරිපත් කිරීමට යෑමේදී දෙමළ සිසුන් හා සිංහල සිසුන් ගුටි ඇනගත් බවයි. එක් අවස්ථාවකදී සිංහල සිසුන් හය දෙනෙකු පහරකෑමට ලක්ව තුවාල ලබා සිටි අවස්ථාවක දැනට සේවයෙන් පහකොට සිටින උපකුලපතිවරයාගෙන් විමසූ විට ඔහු ඊට තවත් උදාහරන දෙමින් කියා සිටියේ ''වන්නම් නැටුම් දෙමළ අය දන්නේ නෑනේ'' ඒ අය එව්වට කැමති නෑ'' ඒකයි වුණේ වෙන මොනවත් නෑ'' යනුවෙනි.

යාපනය විශ්විද්‍යාලය තුළ සිදුවූයේ වන්නම් නැටුම් ආරවුලක්ම නොව වෙනත් යමක් යැයි කියමින් මේ ලියුම්කරු සිද්ධියේ ඇත්ත හෙළි කළ විට කොළඹ සිටින විශ්ව විද්‍යාල බලධාරීහු දුරකතනය ඔස්සේ බැණ වදිමින් මේ ලියුම්කරු ජාතිවාදියෙකු කළහ. ඇත්ත එළියට ගෙන ඒමට වසර නවයක්ම ගත විණි. දැන් ඇත්ත එළියට පැමිණියේ උපකුලපතිවරයාද ගෙදර යවමිනි.

විග්නේස්වරන් මහතා යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වූ වර්ෂයේම එල්.ටී.ටී.ඊ. මහවිරු උලෙළ ඉතා ඉහළින්ම යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවතිණි.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල පමණක් නොව විශ්වවිද්‍යාල භූමියේද එම උත්සව සංවිධානය කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වලට මේ උපකුලපතිවරයාගෙන් විශාල සහයක් ලැබී තිබිණි.

එල්.ටී.ටී.ඊ.සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් වූ ත්‍රස්තවාදී සංවිධානයක් බැවින් ප්‍රසිද්ධියේ එම සංවිධානයේ පිරිස සැමරීමට ඉඩ දිය නොහැකි බව ආරක්ෂක අංශ පොදුවේ නුම් දුන් අතර ඒ නිවේදනය විශේෂයෙන්ම යාපනය විශ්වවිද්‍යාලය තුළට එවීමට ආරක්ෂක අංශ කටයුතු කළා පමණක් නොව එක් රැස්වීමකදී යාපනයේ ආරක්ෂක අංශ නිලධාරීහුඋපකුලපතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්ද සිදු කළහ.

නමුත් නොවැම්බර් මස විසිහත් වෙනිදාට පෙර දිනයේ යෙදී තිබෙන ප්‍රභාකරන්ගේ උපන් දිනය දා යාපනය විශ්වවිද්‍යාලය තුළ කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට මේ උපකුලපතිවරයා කටයුතු කළේය.

ඒ වන විට ඒ වර්ෂයේම මැයි මාසයේදී ප්‍රභාකරන් මියගොස් සිටියද ප්‍රභාකරන්ගේ ඡායාරූපවලට මල්දම් පලඳවා ඡායාරූප ඉදිරියේ මල් පහන් ඉටිපන්දම් දල්වා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරනු ලැබීය.

යාපනයේ ආරක්ෂක අංශ පැමිණ මේ තත්ත්වය නීති විරෝධී නිසා වහාම එය නවතාලීමට කටයුතු කළ යුතු බවට උපකුලපතිවරයාට දැනුම් දෙන ලදී. එහෙත් ඔහු ඒ අවස්ථාවේදී කියා සිටියේ ශිෂ්‍යයන් විසින් කරගෙන යන එම ක්‍රියාව නතර කිරීමට යෑමෙන් විශාල කලබැගෑනියක් ඇති විය හැකි බැවින් ප්‍රභාකරන්ගේ ඡායාරූප භාවිත නොකොට ආගමික වතාවත්වලට පමණක් සීමා කිරීමට තමන් ක්‍රියා කරන බවයි.

නමුත් එවැන්නක් සිදු නොවිණි. මහ උජාරුවට උත්සවය පැවැත්වෙද්දී පොලිසිය විශ්වවිද්‍යාලය තුළට කඩා වැදී සිසුන් දාසය දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිණි. වසරක පුනරුත්ථාපන කාලයක්ද ගෙවා ඔවුහු ආපසු පැමිණ යළිත් විශ්ව විද්‍යාල සිසුන් බවට පත්වූහ.

එදා සිටම යාපනය විශ්වවිද්‍යාලය තුළත් විශ්වවිද්‍යාලය ඉදිරිපිටත් එල්.ටී.ටී.ඊ.සංවිධානය වෙනුවෙන් මේ සියලුම දෙනා පෙනී සිටියහ. විශ්වවිද්‍යාලය ඉදිරිපිට විශේෂ ස්මාරකයක් ඉදි කොට යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමට අවස්ථාව උදා කොට දී ඇත්තේ සේවයෙන් පහ කරන ලද මේ උපකුලපතිවරයාමය. 

Comments