ජාතික රෝහ­ලත් අන්දවා ප්‍රති­කාර ගත්තු සහ­රාන්ගේ සහෝ­ද­රයා | සිළුමිණ

ජාතික රෝහ­ලත් අන්දවා ප්‍රති­කාර ගත්තු සහ­රාන්ගේ සහෝ­ද­රයා

මූලික ප්‍රතිකාර කළේ තාත්තා

මුලින්ම එන්නෙ කොටාපාරේ පුද්ගලික රෝහලකට

එතැනින් කොළඹ ජාතික රෝහලට

 

සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ බෝම්බ විශේෂයින් දෙදෙනක් සිටියහ. ඒ එක් අයෙක් වන්නේ කටානේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අච්චි මොහොමදු හස්තූන්ය. අනෙකා වන්නේ සහරාන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් හසීම්ය. කල්මුණේ සයින්දු මරුදු නිවසේ සිදුවන පිපිරුමෙන් මිය ගිය අය අතර රිල්වාන්ද සිටියේය.

අයි.එස් ත්‍රස්තයින්ගේ රසායනික සංයෝජනයකට අනුව බොම්බ අටවන්නට රිල්වාන් පුහුණු වන්නේ කාතන්කුඩියේ ඔල්ලිකුලමේ පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථාන භුමියේදීය. ගොවිපොලක් ලෙස පවත්වාගෙන යන ඒ භුමිය අක්කර 15 ක වපසරියකින් සමන්විතය. පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 05 කට පෙර කාතන්කුඩියේදී පුපුරා යන යතුරුපැදි බෝම්බය පවා සකස්කර ඇතැයි සැක කෙරෙන්නේ එම ගොවිපොල භුමියේදීය. එම යතුරුපැදි බෝම්බයේ නිෂ්පාදකයා රිල්වාන්ය.

රිල්වාන්ගේ එක් ඇසක් අහිමිය. අතක ඇත්තේ එක් ඇඟිල්ලක් පමණි. අතේ ඇගිලිත් ඇසත් ඔහුට අහිමි වන්නේ ගොවිපොල භුමියේදී නිෂ්පාදනය කළ බොම්බයක් පරීක්ෂා කිරීමට ගොස් එය වැරදීමකින් පුපුරා යාමෙනි. එම පිපිරුම සිදුවන්නේ 2018 වසරේ ඔක්තෝම්බර් 26 වෙනිදාය. බොම්බය අටවන්නේ කාතන්කුඩියේ නූර් දේවස්ථානය ආසන්නයේ බෝක්කුවක් යටය. එය කාල බෝම්බයකි. බෝම්බය පුපුරා යන්නේ බෝක්කුව යට එය අටවා රිල්වාන් එහි ටයිමරය ක්‍රියාත්මක කරන්නට යාමේදී සිදුවන අත්වැරැද්දකිනි. රිල්වාන්ගේ අතක ඇඟිලි මෙන්ම ඇසක්ද අහිමි වෙමින් මුහුෙණ් එක් පැත්තකට දරුණු ලෙස එම පිපිරුමෙන් හානි වී තිබුණේය. එදා එතැන ජාතික තවුහිත් ජමාත් හි සන්නද්ධ අංශයේ ප්‍රධානියා වූ මොහොමඩ් මිල්හාන්, මඩකලපුව ලියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් ඇතුළු ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙක්ම සිටියහ. ඒ අය සිතන්නේ පිපිරුමෙන් රිල්වාන් මිය ගිය බවය. ඒ අය රිල්වානේගේ පියාගේ නිවසට රිල්වාගේ සිරුර ඔසවාගෙන යන්නේ හොර රහසේ අවසන් කටයුතු කරන්නට සිතාගෙනය. රිල්වාන් මරණින් නැගිටින්නේ පියාගේ නිවසේදීය. ඒ පිපුරුමෙන් හානි වී තිබුණු මුහුණ ජලය පෙඟවූ රෙදි කඩකින් පිස දමන විටදීය.

රිල්වන්ට සිහි එළඹීමත් සමඟ ඔහුට මූලික ප්‍රතිකාර ලැබෙන්නේ සිය පියාගෙනි. අයිස් කැබලි රෙදි කඩක ඔතා මුහුණටත් අතටත් තැබූ ඔහු වෑන් රථයක් ගෙන්වාගෙන රිල්වාන්ව රැගෙන යන්නේ කොළඹටය. එය පැය හය හතක ගමනකි. රිල්වාන් සියලු වේදනාවන් ඉවසාගෙන සිටියේය. ඒ එන අතර තුර සහරාන් සිය සහෝදරයාට ප්‍රතිකාර ලබාදීමට තැනක් සූදානම්කර තිබුණේය. ඒ කොළඹ කොටාපාරේ පිහිටි පුද්ගලික රෝහලකි. රිල්වාන්ව එහි ගෙන එන විට සහරාන්ද රෝහලට පැමිණි සිටියේය. සැබෑ කථාව රෝහලේ හිමිකාර වෛද්‍යාවරයා දැන සිටියත් රිල්වාන්ව එහි ඇතුළත් කරන්නේ ගෑස් ටැංකියක් පිපිරීමෙන් සිදුවූ අනතුරක් බව සඳහන් කරමිනි.

රිල්වාන් එම පුද්ගලික රෝහලේ දින 20 ක් පමණ ප්‍රතිකාර ගත්තේය. අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන්නේ කොළඹ ජාතික රෝහලටය. කොළඹ ඇස් රෝහලේදී පවා ඔහුට ප්‍රතිකාර ලැබී ඇත්තේ ඇසකට දැඩි හානි සිදුවී තිබුණු බැවිණි. පුද්ගලික රෝහලේ වාර්තාවල ගෑස් ටැංකි පිපිරුමක් බව සඳහන්ව තිබීම නිසා ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට පවා ඒ ගැන සැකයක් නොවීය.

කාතන්කුඩියේ සිට රිල්වාන්ව කොළඹට රැගෙන යන මොහෙයුම ක්‍රියාත්මකවන අතර තුර සන්නද්ධ අංශයේ නායක මිල්හාන් තවත් මෙහෙයුමක් දියත් කළේය. ඒ ඔල්ලිකුලම ගොවිපොල භුමියේ තිබුණු රිල්වාන් විසින් නිෂ්පාදනය කළ තවත් බෝම්බ කිහිපයක් සහ පුපුරණ ද්‍රව්‍ය සඟවන්නටය. සිය ගෝලබාලයින් යොදා ඔහු එම බොම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සඟවන්නේ කාතන්කුඩි වෙරළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය විසින් කරනු ලබන මෙහෙයුම් වලට සහරාන්ගේ ගෝල බාලයන් කොටුවන්නේ බුරුතු පිටිනි. නූර් පල්ලිය අසල රිල්වාන් ඇටවූ බොම්බය පුපුරා යන විට ඒ අසල සිටි සහරාන්ගේ ගෝලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් අය අතර සිටියහ. ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් බොහෝ දේවල් හෙළි කළේය. එදා වෙරළේ වල දැමූ පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ රැසක්ම රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෙන් ගොඩ ගන්නේ ඒ අනුවය.

Comments