BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

එදා හින්දි සිනමා ලොව වැජඹුණු සුරූපී තරුවක් තමයි, මුම්ටාස්. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ඇගේ රුව අමතක නැහැ. ඇගේ මෝහනීය රැඟුම් ඇතුළත් වූ චිත්‍රපට රැසක් ම අප රටේ ජනප්‍රිය වුණා. ඒ අතරින් ‘බ්‍රහ්මචාරී’ චිත්‍රපටයේ එන ‘ආජ්කල් තෙරෙ මෙරේ ප්‍යාර්’ ගීතයට ශම්මි කපූර් සමඟ නර්තන රංගනයෙහි යෙදෙන ඇය කාටත් හොඳින් ම මතක ඇති.

මුම්ටාස් මද්වානි නම් වූ ඇය මේ වන විට 71 වැනි වියෙහි පසුවෙනවා. සිනමාවෙන් ඈත්ව සිටිය ද ඇය තවමත් ‍නිරෝගීව දිවි ගෙවමින් සිටිනවා. නමුත්, පසුගිය දවසක පැතිරී ගිය කටකතාවකින් කියවුණේ මුම්ටාස් මියගිය බවයි. ලැව් ගින්නක් ලෙසින් මේ ආරංචිය පැතිරී යනු දුටු මුම්ටාස් ගේ බාල දියණිය, ටන්යා මද්වානි, වහාම ඒ අසත්‍ය පුවත නිවැරැදි කළා. ඒ සමඟම චිත්‍රපට අධ්‍යක්ෂ මිලාප් සවේරිත් ඊට මැදිහත් වී කටකතාවට වැට බැන්දා.

මුම්ටාස් මිය ගියැයි පළවූ පුවත අසත්‍යයක් බව තහවුරු කරගත් බොම්බෙ ටයිම්ස් පුවත්පත ඉක්මනින් ම ඇයව ඇමතුවා. ‘මේ ආංචිය පැතිරුණු හැටියෙම මුළු රෑ පුරාම ලෝකයේ හතර වටින් ම ටෙලිෆෝන් කෝල්ස් එන්න පටන් ගත්තා. මම, මගේ නෑදෑයන්ට කෝල් කරලා ඒ ආරංචිය බොරුවක් බව කිව්වා. මගේ සැමියාත්, මගේ දුවත්, මගේ සහෝදරියත් මේ හැමෝටම වගේ කතා කළා. මම නොදන්න අංකවලින් ගොඩක් කෝල්ස් ආවා. ඉතින් මම කතා කරන කොටම ඒ අය ෆෝන් එක තිබ්බා. මේ සෙල්ලම රෑ ඉඳන් පාන්දර වෙනතුරුම තිබුණා. මට සමහර වෙලාවට හිනා ගියා.” මුම්ටාස්, පුවත්පතට ‍එලෙස පැවසුවා. මේ අසත්‍ය පුවත සවන් වැකුණු විගසින් ම මුම්ටාස්ට ඇමතුමක් ලබාගන්නට අමතක නොකළ ප්‍රවීණ නළුවකු තමයි, ශත්රුගන් සිංහ. දැන් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණ කටයුතුවල කාර්ය බහුල වී සිටිය ද ඔහු මේ ප්‍රවීණ නිළිය ඇමතුවා.

“මුම්ටාස් හොඳින් ඉන්න බව දැන ගත්තාම මගේ හිතට පුදුම සහනයක් දනුණා. මුම්ටාස් මගේ පැරැණි ම, හිතවත් ම කෙනෙක්. ඒ බව මම කියන්නේ බොහොම ආඩම්බරයකින්. ඇය, අපේ සිනමා කර්මාන්තයේ සිටින මනුස්සකමෙන් පිරුණු කාන්තාවක්. මම මුලින් ම මුම්බායිවලට ආපු දවස්වල මුම්ටාස් අතිශය ජනප්‍රිය නිළියක්. දැවැන්ත චරිතයක්. ඒත් එයා හරිම නිහතමානියි. මාව චිත්‍රපට නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට හඳුන්වලා දුන්නෙ මුම්ටාස් තමයි. සිනමා ක්ෂේත්‍රයට අලුතින් එක්වෙන නළු නිළියන්ට අත දීමේ ගුණාංගය මම ඉගෙන ගත්තෙ මුම්ටාස්ගෙන්.,, මුම්ටාස් ගැන ඔහු එලෙස ප්‍රශංසාත්මකව පැවසුවා.


බ්‍රිතාන්‍යයම අන්දමන්ද කළ ආචී හැරිසන්!

බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන සත්වැන්නා දෙස මුළු ලෝකයේ ම අවධානය යොමු වෙලා. හැරී කුමරු‍ ගේත් මේගන් කුමරිය ගේත් කුලුඳුල් දරුවා ලෙස තැබූ නම දැන් බොහෝ දෙනකුගේ කතා බහට ලක් වෙලා. මේ බිලිඳු කුමරුගේ නම ‘ආචී හැරිසන් මවුන්ට්බැට්න් වින්ඩ්සර්’. මෙය බැලූ බැල්මට තරමක අසාමාන්‍ය නමක් වගෙයි. මෙතෙක් බ්‍රිතාන්‍ය රජ පවුලේ උන් කිසිවකුට නොතිබූ නමක්.

ආචී හැරිසන් කුමරු බිහි වෙන්නට කලින් ඔහුට තබන නම පිළිබඳව වූ අනාවැකි මේ සමඟම උඩුයටිකුරු වුණා. ඒ අනාවැකිවලට අනුව මේ රාජකීය බිලිදාට ආතර්, ජේම්ස්, පිලිප් හෝ ඇල්බට් යන නම්වලින් එකක් තබනු ඇතැයි ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් දැන් ඒ අනාවැකිකරුවන් මුනිවත රකිනවා.

රාජකීය යුවළ තම පුතුගේ නම මුලින් ම‍ හෙළි කළේ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන්. ඒ සටහනත් සමඟම හැරී - මේගන් යුවළ තම පුතු සමඟ සහ ඔහුගේ අත්තම්මා හෙවත් බ්‍රිතාන්‍ය මහ රැජනත් සීයා හෙවත් පිලිප් කුමරු මෙන් ම මේගන් ගේ මව වන ඩෝරියා රැග්ලන්ඩ් සමඟ පෙනී සිටින ඡායාරූපයක් ද පළ කර තිබුණා.

මේ වන විට හැරී සහ මේගන් යුවළ සිටින්නේ වචනයෙන් කියා ගත නොහැකි තරම් වූ සතුටකින් ආචී කුමරු උපන් මොහොතේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ හැරී කුමරු පැවසුවේ තමන් ජීවිතයේ මෙතෙක් ලද පුදුමාකාර සතුට මෙය බවයි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉතිහාසය වෙනස් කළ දරුවා හැටියට ආචී කුමරුන්ව නම් කිරීමෙහි වරදක් නැහැ. ඔහු රාජකීය පවුලේ උරුමයට එක්වූ බ්‍රිතාන්‍ය නොවන මව‍කගේ කුසෙන් උපන් දරුවා පමණක් නොව ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය පෙළපත් නියෝජනය කරමින් උපන් පළමු දරුවා හැටියටත් නම් කළ හැකියි.

ඉතින්, බ්‍රිතාන්‍ය රජ පවුලට අලුත් අරුතක් එක් කළ කුමරුගේ ආචී හැරිසන් මවුන්ට්බැට්න් වින්ඩ්සර් යන නාමයෙහි අරුත කුමක්දැයි වැඩි දෙනකු විමසනවා. ආචී (Archie) යන්නෙහි තේරුම Archibald හෙවත් සත්‍ය සහ නිර්භීත යන වචන කෙටි යෙදුම යැයි ඇතැමුන් පවසනවා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉතිහාසය තුළ ආචී යන නාමය භාවිතා වී ඇතත් මේ නම එය හා සම්බන්ධයක් නැතැයි පැවසෙනවා. නමුත් හැරී කුමරුගේ මව (ඩයනා කුමරිය) ගේ මවුපිය පරම්පරාවට අයත් ස්කොට්ලන්තයේ සිටි 9 වැනි අර්ල් වරයා වූ ආචිබෝල්ඩ් කැම්ප්බෙල්ගේ නාමයෙහි ආභාසයෙන් ආචී නම එකතු වන්නට ඇතැයි සමහරු පවසනවා. බිලිඳාගේ නාමයෙහි මැද කොටසෙහි ඇති හැරිසන් යන නාමය ඔහුගේ පියා‍ෙග් නම (හැරී) සමඟ සබඳකමක් තිබෙනවා.

ඒ, හැරීගේ පුතු (son of Harry) හැරිසන් (Harrison) ලෙස එය අරුත් ‍ගන්වා ඇති නිසයි. අලුත උපන් ආචී කුමරුට තවම රාජකීයත්වය පිරිනමා නැහැ. ඒ නිසා ඔහුට ‘His Royal Highness’ යනුවෙන් ආමන්ත්‍රණය නොකෙරෙන බවයි පැවසෙන්නේ. පියාගේ උරුමයෙන් ලැබී ඇති මවුන්ට්බැට්න් වින්ඩ්සර් යන වාසගම තිබුණ ද එලි‍ිසබෙත් රැජන තීරණය කළ විටදී පමණක් ආචී කුමරුට රජ කුමරකුගේ තත්ත්වය පිරිනැමීමට නියමිතයි.

ආචී කුමරුට එවැන්නක් පිරිනැමුණත්, නැතත් හැරී සහ මේගන්ගේ බලාපොරොත්තුව තම දරුවාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා දීමයි. ආචීගේ කුඩා කාලයෙන් වැඩි ප්‍රමාණයක් මේගන්ගේ මවගේ රැකවරණය යටතේ ගත කරන්න ඉඩ හැරීමත් ඔවුන් දෙදෙනාගේ අපේක්ෂාවක්ලු.

මේ අතර රාජකීය බිලිඳාට නම් තැබූ පුවත ඇසූ බ්‍රිතාන්‍ය වැසියන් කිහිප දෙනකු අතිශය විස්මයට පත්වෙලා. විසිවැනි වියෙහි පසුවන භූවිද්‍යා ඉංජිනේරුවරයකු වන ආචී හැරිසන් එවැනි අයෙක්. ‘මුලදී මේ ආරංචිය ඇහුවාම මම හිතුවේ බොරුවක් කියලා. ටික වෙලාවක් යද්දී මට ෆෝන් කෝල්ස් 50 ක් විතර ඇවිත් මගෙන් අහනවා ඔයාගෙ නම නේද රජ පවුලේ අලුත් සාමාජිකයාටත් තියලා තියෙන්නේ කියලා.’ ඉංජිනේරු ආචී හැරිසන් එලෙස කීවා. දැන් ඔහු ‘ආචී’ කියන නාමයෙහි අරුත ගැන ආඩම්බර වෙනවාලු.

බ්‍රිතානයේ වෝකෙස්ටර්හි වෙසෙන මවක වන ජෝඩි හැරිසන් එලෙස විස්මයට පත් තවත් අයෙක්. ජෝඩි ගේ සය හැවිරිදි පුත්‍රයාගේ නමත් ආචී හැරිසන් වීම ඊට හේතුවයි. ‘පුතා ඉස්කෝලෙ ගියාම එයාගෙ ටීචර්ට කියනවලු දැන් මට ආචී කුමාරයා කියල ආමන්ත්‍රණය කරන්න කියලා.’ ජෝඩි හැරිසන් සිනහවක් නංවමින් පැවසුවා.

Comments