සිදු­හත් චරි­තය ඇසු­රෙන් තැනුණු සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මා­ණය | සිළුමිණ

සිදු­හත් චරි­තය ඇසු­රෙන් තැනුණු සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මා­ණය

උතුම් වෙසක් පොහොය දිනය අදයි. සිදුහත් උපත, බුද්ධත්වය, බුද්ධ පරිනිර්වාණය සිදු වූ අද වැනි උතුම් දිනයක අප ඔබට කියන්නට යන්නේද සිදුහත් චරිතය පිළිබිඹු කෙරෙමින් හිරු නාළිකාවෙන් විකාශය වූ ‘සිද්ධාර්ථ ගෞතම‘ ටෙලිවෘත්තාන්තය පිළිබඳවයි. එහි රූගත කිරීම් සිදුවු ආකාරය ගැනයි. ඉංගිරිය ප්‍රදේශයේ අලංකාර පසුතලයක රූගත කෙරුණු මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රභාත් රෝෂන්. දක්ෂ කැමරා ශිල්පියකු ලෙසත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් වසර ගණනාවක් තුළදී ටෙලිනාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළද ඔහුගේ පළමු ඓතිහාසික ටෙලිනාට්‍යය වන්නේ සිද්ධාර්ථ ගෞතම ටෙලි වෘතාන්තයයි.

‘‘මෙම ටෙලි නාට්‍යයේ පසුතලය සකස් කළේ ඉංගිරිය ප්‍රදේශයේ. බුදුන් දවස සිහිපත් කරවන මෙහි පසුතලය ඉතාම අලංකාරවත්ව සකස් කළා. ඒ සඳහා විශාල මුදලක්ද වැයකළා. පසුගිය කාලයේ හිරු එෆ්. එම් ඔස්සේ ප්‍රචාරය කළ ‘සිද්ධාර්ථ ගෞතම‘ රේඩියෝ ඩ්‍රාමා එක අපේ රටේ රසිකයන් ආදරයෙන් වැළඳගත්තා. ඒ නිසා එය ටෙලි වෘත්තාන්තයක් කළහොත් එහි අලංකාරය තවත් වැඩිවේයැයි කියා හිරු ටී.වී සභාපතිවරයා මා හට යෝජනාවක් ගෙනාවා. එතුමා තමයි කීවේ ‘සිද්ධාර්ථ ගෞතම‘ ටෙලිවෘතාන්තයක් ලෙසින් නිර්මාණය කරන්න කියා. එය බොහොම බැරෑරුම් කාර්යයක් වුවත් මම හිතාගත්තා කෙසේ හෝ මේ දැවැන්ත කාර්යයට අත ගහනවා කියලා.‘

අපට ඊළඟට මුහුණපාන්න සිදුවුණු බරපතළ ගැටලුව වූයේ අපේ රටේ කලාකරුවන්ගෙන් කව්රුන්ද මෙහි චරිත සඳහා තෝරා ගන්නේ කියලා. සිද්ධාර්ථ කුමරුගේ ළදරු අවදිය සහ තරුණ අවධිය නිරූපණය කිරීමට රංගන ශිල්පීන් තෝරාගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූවා. ඒ සඳහා සිද්ධාර්ථ කුමරුගේ තරුණ අවධිය නිරූපණය කළ නවක රංගන ශිල්පී කැළුම් ශ්‍රී සොයා ගත්තේ එහිදීයි. ඔහු පළමුව සිද්ධාර්ථ කුමරුන්ගේ මිතුරකුගේ චරිතයකට තමයි තෝරාගත්තේ. පසුව සිද්ධාර්ථ චරිතයට සුදුසු නිසා එම චරිතයට සම්බන්ධකර ගත්තා. කැලුම් සාමාන්‍ය ජීවිතයේදිත් නිවුණු ගති පැවතුම් ඇති නිර්මාංශික තරුණයෙක්. ඔහුගේ නිවැසියන්ද බෙහෙවින් ආගමට දහමට ලැදියි. මුලදී නම් කැලුම් එම චරිතය රඟපාන්න ටිකක් තැතිගත්තා. මම තේරුම්කර දුන්නාට පසුව ඔහු එම චරිතයට කැමැත්තෙන්ම සම්බන්ධ වුණා.‘

සෙසු චරිත සඳහා සුද්දෝධන රජතුමා ලෙසින් ගයාන් වික්‍රමසිංහත්, මහමායා දේවිය ලෙස තාරුකා වන්නිආරච්චි තෝරා ගත්තා. ඊට අමතරව විනූ සිරිවර්ධන, රුක්ෂාන් දෙව්නක, හර්ෂ තෙන්නකෝන්, ආදි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් 400ක් පමණ මෙහි සෙසු චරිත රඟපෑවා. මෙහි රූගත කිරීම් ඇරැඹීමට පෙර තිරපිටපත නායක හිමිවරු කිහිප පළකටම පෙන්වා එහි නිවැරැදි භාවය තහවුරු කර ගත්තාට පසුවයි රූගත කිරීම් ආරම්භ කළේ‘‘

සිනෙ ආර්ට්ස් නිපැයුමක් ලෙසින් මාස ගණනක් පුරා පුංචි තිරයේ දිග හැරුණු සිද්ධාර්ථ ගෞතම වෘතාන්තය සිදුහත් කුමාරයා ගිහිගෙය නික්ම යෑමෙන් පසුව අවසන් වෙයි. ලක්ෂ 140ක් පමණ වැය කරමින් මාස ගණනක් පුරාවට විකාශය කෙරුණු මෙම ටෙලිනාට්‍යයට බෙහෙවින් ඇලුම් කළේ කුඩා දරු දැරියන්ය.

‘‘බොහෝ අය විමසනවා සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යය මෙතරම් ඉක්මනට අවසන් කළේ ඇයි කියලා. ඒකට හේතුව සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැරගියාට පසුව කතාව ගලාගෙන යෑමේ අපහසුකමයි. උතුම් ශාන්තිනායක හිමිපාණන්ගේ ළමා අවධිය, තරුණ අවධිය නිරූපණය කළත් ගිහිගෙය නික්ම යෑමෙන් පසුව කතාව දිගහැරීම කළ නොහැකියි. ඒ නිසා තමයි අපි මේ ටෙලි නාට්‍යය වෙසක් පොහොයෙන් අවසන් කළේ‘

ඉන්දියානු වස්ත්‍රාභරණ, ආයිත්තම් තුළින් රජකාලය සිහි ගන්වන අප නොදුටු බොහෝ දෑ මේ කතාව පුරා දැකගැනීමට ලැබීමත් අගය කළ යුතුය. මෙහි තිරපිටපත ලාල් වසන්තගෙනි. වේශ නිරූපණය ධනුෂ්ක හුලංගමුවගෙනි. බොහෝ පිරිසකගේ වෙහෙස මහන්සියෙන් කළ නිර්මාණයක් ලෙසින් සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යය හැඳින්විය හැකියි. ‘‘

 

අදහස්