ශිරාණි නානායක්කාරගේ ධ්‍යාන චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට්හිදී | සිළුමිණ

ශිරාණි නානායක්කාරගේ ධ්‍යාන චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට්හිදී

ජාතික රූපවාහිනියේ වසර 35ක් සේවය කර මාධ්‍යරූප හා සජීවීකරණ ඒකකයේ ප්‍රධානී ලෙස සේවයෙන් විශ්‍රාම ගත් ශිරාණි නානායක්කාරගේ දිය සායම් චිත්‍ර ප්‍රදර්ශනය ‘ධ්‍යාන‘ ලබන 23 වැනි දින සවස 4.00ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ඇරැඹේ. ආරම්භක අවස්ථාවේදී ඇය විසින් ආධුනිකයින් වෙනුවෙන් උදාහරණ සහිතව රචිත ‘දියසායම් - වර්ණයේ රිද්මය‘ පොත දොරට වඩින අතර ‘ධ්‍යාන‘ ප්‍රදර්ශනය 24,25 සහ 26 දින තුන පුරාම විවෘතව පවතිනවා.

හක්බෙල්ලාවක කනිෂ්ඨ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඇය තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍යමහා විද්‍යාලයෙන් ගණිත අංශයෙන් සිප්සතර හදාරූවත් චිත්‍රවලට ඇති කැමැත්ත නිසාම චිත්‍ර ශිල්පිනියක ලෙස රැකියාව තෝරා ගත්තාය. දිය සායම් මාධ්‍යයට වඩාත් කැමැති ඇය පෝට්රේට් චිත්‍ර කලාවටද කැමැත්තක් දක්වන්නීය. රාජ්‍ය ටෙලි නාට්‍ය සම්මාන උලෙළේදී ද්විමාන සජිවීකරණය වෙනුවෙන් පිරිනැමුණු මුල්ම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ධ්‍යාන ඇගේ දෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයයි.

සමන්ති


මිල්ටන් ගු ණ සිහිකර ගැයුණු ‘සඳ ඔබයි පියාණනී’ ප්‍රසංගයෙන්..

අප අතරින් වියෝ වුණු ආදරණීය ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ 21 වැනි සංවත්සරය වෙනුවෙන් මිල්ටන් මල්ලවආරච්චි පදනම සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ ‘සඳ ඔබයි පියාණනී‘ ප්‍රසංගය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ පැවැත්වුණි. මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ආදරණීය පුත් රනිල් මල්ලවආරච්චි සහ මුනුපුරා වන පවන් මල්ලවාරච්චි ගී ගැයූ මෙම ප්‍රසංගයේ විශේෂ ප්‍රධාන අමුත්තා ලෙස නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදිශිෂ්‍ය ආචාර්ය සර් ක්ලැරන්ස් කුමාරගේ මහතා සහභාගි විය.

මෙහිදී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති මෙන්ම මිල්ටන් මල්ලවආරච්චි පදනමේ වර්තමාන සභාපති ඩිල්රුක් කුලසිංහ මහතා විසින් රනිල් මල්ලවආරච්චි මහතාට මිල්ටන් උපහාර කුසලානය පිරිනමන ලදි.

සඳ ඔබයි පියාණනී ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයකි මේ.

ඡායාරූප - සාලිය රූපසිංහ


ප්‍රතිවීර චරිත රංගනයට කැමැති නිශ්ශංක

අද අප මීළඟ පරපුර විශේෂාංගයෙන් ඔබට හඳුන්වා දෙන්නේ නව පරපුරේ රංගන ශිල්පියකු වන නිශ්ශංක ද සිල්වායි. බොහෝ දෙනකු අකැමැති ප්‍රතිවීර චරිත රඟපාන්නට කැමැත්තක් දක්වන නිශ්ශංක මූලික අධ්‍යාපනය ලද්දේ අලවතුපිටිය කනිටු විද්‍යාලයෙනි. කුඩා වියේ සිටම රංගනයට ඇල්මක් දැක්වූයේ පාසල් වේදිකාවේ සටන් හා ත්‍රාසජනක ජවනිකා ඉදිරිපත් කිරීමෙනි.

පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඔහු කුංග්ෆු හා ජිට් කුණ්ඩු සටන් කලා හදාරන්නට යොමු විය. ඉන් පසු සිනමා අධ්‍යක්ෂ වසන්ත කුමාරවිල මහතාගේ මඟ පෙන්වීමෙන් ‘අන්ඩර් වර්ල්ඩ්’ චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් රඟපාන්නේය. එය ඔහුගේ පළමු රංගනයයි. පසුව ‘විදූ’, ‘තැන්ක් යූ බර්ටි’ සහ ‘මායා‘ චිත්‍රපටවල සටන් ජවනිකාවල රඟපෑමට අවස්ථාව ලැබෙන්නේය.

ඉන්පසු ‘සුදු අඟුරු’ සහ ජී නන්දසේන අධ්‍යක්ෂණය කළ ‘මෝදර වැල්ල’ ටෙලි නාට්‍යයන්හි රඟපෑමට අවස්ථාව ලැබීම ඔහුගේ හැකියාව පෙන්වීමට හොඳ අවස්ථාවකි.

මේ දිනවල රූගත වෙමින් පවතින ‘මානය‘ චිත්‍රපටයේද, බ්ලැක්මේල් ටෙලි නාට්‍ය යේද ‘චන්ද්‍රසිරි‘ නමැති චරිතයන්ට නිශ්ශංක රංගනයෙන් දායක වෙයි. ‘‘මම පැමිණි ගමන ඉතා දුෂ්කරයි. මෙතෙක් පැමිණි ගමනේදී රංගනයට මගේ තිබුණු ආශාව ඉටු කරගන්නට වසන්ත කුමාරවිල මහතාට මා හඳුන්වාදුන් ප්‍රදීප් මිතුරාට මම මුලින්ම ස්තූති වන්ත වෙනවා. ඔහු නිසා තමයි මට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණේ. ඒ වගේම මගේ ආදරණීය මවුපියන්, ආදරණීය බිරිය මට විශාල සහායක් ලබා දෙනවා. මගේ බලාපොරොත්තුව ඉදිරියේදී ප්‍රධාන ප්‍රතිවීර චරිතයක් රඟපෑමයි.’’

රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන නිශ්ශංකට අපි සුබ පතමු.

ඔහුගේ ලිපිනය නො. 62, කටුකෙන්ද වත්ත, බඩල්ගම

රන්සික

Comments