වෙසක් සැරසිලි අමතක නොකරන සුසන්තා | සිළුමිණ

වෙසක් සැරසිලි අමතක නොකරන සුසන්තා

ඇය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවිණ මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. රසඳුනට කවදත් ලෙන්ගතු ඇය මේ දිනවල වැඩිපුර දක්නට ලැබුණේ නැහැ. අපි ඇයට දුරකතනයෙන් ඇමතුවේ ඒ පිළිබඳ විමසන්නයි. නැවතත් ඇය වැඩ පටන් අරන් කියලා අපට දැනගන්නට ලැබුණේ එවිටයි. හිරු film වෙනුවෙන් නිර්මාණය වන අලුත්ම චිත්‍රපටයක රූගත කිරීම්වලට මේ දිනවල සහභාගී වෙනවලු. වෙනදා වෙසක් පොහොයට පින් කටයුතුවල නිරත වන අතරේ වෙසක් සැරසිලි කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ.

එහෙත් පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හා තුවාල ලැබු අපේම මිනිසුන් වෙනුවෙන් උත්සවාකාරයෙන් වෙසක් සමරන්නේ නැති බවත් ඒ හැමෝටම පින් දෙමින් පින් කටයුතු වල පමණක් නිරත වෙනවා කියලාත් ඇය සඳහන් කළා.


ඇස් පියාගෙන ගීත කියන ආත්මාට වුණු වැඩේ

 ආත්මාගේ ඒ මියුරු හඬ ඇත්තටම තාරුණ්‍යයේ මුළු ආත්මයම වගේ. ඒ තරමට ඔහුගේ ලයාන්විත හඬට තරුණ තරුණියන් ඇලුම් කරනවා. ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ආත්මා ‍බොහෝ වෙලාවට ගීත ගායනා කරන්නේ ඇස් දෙක පියාගෙන වගේනේ. හැබැයි ඉතිං ඇස් වහගෙන ගීත ගායනා කරන ඔහුට දවසක ඉබේම ඇස් ඇරෙන වැඩක් වෙලා. ඒ කතාව වෙලා තියෙන්නේ මෙහෙමයි. ඔන්න ආත්මාට සුපුරුදු විදියට ප්‍රසංග වේදිකාවක ගී ගයන්නට ඇරියුම් ලැබිලා. වේදිකාවට ගොඩවෙලා වෙනදා වගේම ඔන්න ඇස් පියන් සිංදුව කියාගෙන යනවලු. ආත්මාගේ මේ ගීතයට නර්තන කණ්ඩායමක් නර්තනයකුත් ඉදිරිපත් කරනවලු. ගීතයට අනුව ඩාන්ස් කරගෙන යන අතරේ එක් ගැහැනු ළමයකුගේ අත මයික් එකේ වැදිලා. කොයිතරම් වේගයකින් ආත්මාගේ අතේ වැදුණාද කියනවානම් මයික් එක බිම වැටුණලු. බිම වැටුණු මයික් එක අහුල ගන්න ඇස් වහගෙන සිංදු කියපු ආත්මාගේ ඇස් නිකම්ම ඇරුණාලු.


ත්‍රීවීලර් එළවන උදාරි

උදාරි වර්ණකුලසුරිය කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රියම රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද ඇය නැතුවම බැරි චරිතයක්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු බොඳමීදුම් ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතයට පණ පෙවූ ඇය ප්‍රේක්ෂකයන් අද‍ටත් හඳුන්වන්නේ සංසලා කියලයි. ඇය ගැන අපූරු කතාවක් අපට ආරංචි වුණා. ඒතමයි ‘අහස් මාළිගා‘ ටෙලි නාට්‍යයේ පිහිටෙන් උදාරි ත්‍රීවිලර් පදින්නත් ඉගෙන ගත්තා කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත දැනගන්නට අපි ඇයට ඇයට කතා කළා.

“ඇත්තටම මට ඩ්‍රයිවින් පුළුවන් වුණාට ත්‍රීවිලර් එළවන්න දන්නේ නෑ. ඒත් අහස් මාළිගා රූගත කිරීම් නිසා මට ත්‍රීවිලර් එළවන්නට සිදුවුණා. මුලදී නම් ටිකක් බය හිතුණා. ඒත් ඉතිං හොඳටම ත්‍රීවිලර් එක එලවන්නට පුළුවන් වෙද්දී අහස් මාළිගා රූගත කිරීම් අවසන් අදියරේ තිබෙන්නේ. හරිම විනෝදයෙන් තමයි මෙහි රූගත කිරීම්වලට සහභාගි වෙන්නේ. කැමරාමන් කරන සීරියස් විහිළු නිසා හොඳටම බය වන අවස්ථාත් තියෙනවා.“

 


තිලක් ද මැල්ගේ වෙසක් ප්‍රාර්ථනය

පසුගිය විසි එක්වැනි පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරය ජාති, ආගම්, කුල භේදයකින් තොරව හෙළා දකිනවා කියලා මොරටුව ලලිත කලා සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ උපලේකම් තිලක් ද මැල් අප සමග කියා සිටියා. ඒ විතරක් නෙමෙයි මොරටුව ලලිත කලා සංගමය එකතු වෙලා ත්‍රස්ත ප්‍රහාරය නිසා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු අපේම මිනිසුන් වෙනුවෙන් තවත් ජීවිතයක් හෝ ‍‍බේරාගන්නට යන අදහසින් සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු කලාකරුවන් ලේ දන්දීම සඳහා එක්රොක් වුණා කියලත් අපට දැනගන්නට ලැබුණා.

මේ උතුම් වෙසක් පෝය දවසේ අන්ධ විශ්වාසයෙන් ක්‍රෝධයෙන් හා වෛරයෙන් පෙළෙන සෑම හදවතකම සැනසිලි සුවදායක සිතිවිලි සමඟ කරුණාව, මුදිතාව පහළ වේවායැයි ඔහු ප්‍රාර්ථනා කරනවා.

සමන්ති වනිගසේකර

 

Comments