විදෙස් චිත්‍ර­පට | Page 2 | සිළුමිණ

විදෙස් චිත්‍ර­පට

ආගමකට අන්තවාදයක් නැත. එහෙත් ආගම අන්තවාදයක් කර ගත් පිරිස් නිසා සර්වාගමිකයන්ගේම සාමකාමී දිවි පෙවෙතට එල්ලවී ඇත්තේ විශාල තර්ජනයකි. මේ තර්ජනය පොදුවේ සමස්ත ලෝකවාසීන්ටම එකසේ බලපායි. අබ්දුල් සුභාන් කුරේෂි යනු ඉන්ඩියන් මුජාහිදීන් නම් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයාය. ඔහුට ඉන්දියාවේ ඔසාමා බින් ලාඩ්න් යනුවෙන් ද පටබැඳි නමකි.

ඉන්ඩියන් මුජාහිදීන් වසර 2010 දී ඇරැඹුණු අතර මේ වන විට ඉන්දියාවේ තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානයකි. රහසිගත මෙහෙයුමකින් එක් වෙඩි උණ්ඩයක් හෝ යොදා නොගෙන දරුණු ත්‍රස්තවාදියා ඇල්ලීමට දක්ෂ බිහාරයේ ඉන්දියානු ආරක්ෂක නිලධාරීහු පස්දෙනෙක් සමත්වූහ. ඒ රජයෙන් විශේෂ පහසුකම් නොලබමින් තම ජීවිත අවදානමට ලක්කරගනිමිනි. බුද්ධි අංශයේ නිලධාරීන් ලද විජයග්‍රහණය ඉතිහාසගතවී ඇත්තේ ‘මානව බුද්ධියේ විජයග්‍රහණ‘ලෙසය. INDIA'S MOST WANTED (ඉන්දියාස් මෝස්ට් වෝන්ටඩ්) නිර්මාණය අධ්‍යක්ෂ ගුප්තාගෙන් ඔවුනට පිදෙන උපහාරයයි.

ඉන්දියාස් මෝස්ට්වෝන්ටඩ් සිනමා පටයේ කතාව ගෙතී ඇත්තේ ප්‍රභාත් කපූර් නම් නිලධාරියාගේ ත්‍රස්ත මෙහෙයුමේ වීර චාරිකාව පිළිබඳවය. රාජ් කුමාර් ගුප්තා ‍ක්‍රියාදාම භයානක රසය පිරි සිනමා පටයේ කතා නායකයාගේ චරිතයට මුල සිටම තෝරාගෙන සිටියේ අර්ජුන් කපූර්ය. අර්ජුන් පණ පොවන්නේ ප්‍රභාත් කුමාර් නම් පත්නා පොලීසියේ බුද්ධි අංශ නිලධාරියාගේ චරිතයයි. ඔහුත් සමඟ සේවය කරන සෙසු නිලධාරීන්ගේ චරිත ප්‍රශාන්ත් ඇලෙක්සැන්ඩර්, අසීෆ් ඛාන්, දේවේන්ද්‍ර මිශ්‍රා, රාජේශ් ෂර්මා, ප්‍රවීන් සිසෝද්‍යා විසින් රඟනු ලැබේ. අර්ජුන් රහස් පරීක්ෂකයකුගේ සහ ජාතික වීරයකුගේ චරිතය තිරයේ නිරූපණය කරන්නේ ප්‍රථම වරටය. ඔහු චරිතය රඟපෑමට පෙර පොලිස් නිලධාරීන් කීප දෙනකු මුණ ගැසී ආරක්ෂක නිලධාරීන්ගේ දිවි පෙවෙත ගැන තොරතුරු සොයාගෙන තිබේ. තමන් වාණිජ ධාරාවේ නළුවකුයැයි සිතූ ඔහු මුලින් චරිතය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත වීර චාරිකාවක වීර චරිතයට හදවතින්ම දෙබස් පවසමින් නළුවකු මෙන් නොව අතිශය සාමාන්‍ය පුද්ගලයකුසේ ඔහු පණ පොවා ඇත. සිනමා පටයේ සංගීතය ජාතික සම්මානලාභී සංගීතවේදී අමිත් ත්‍රිවේදිගෙනි. ‘අකේලා‘ සිනමා පටයේ අන්තර්ගත එකම ගීතයයි. සිනමා පටය මැයි 24 වැනි දින සිට තිරගත කෙරෙයි.


දේශපාලනයෙන් දූෂිත වන ක්‍රීඩා ක්ෂේත්‍රයට නත්පෙ තුනායි

ක්‍රීඩාව සම්බන්ධ සිනමා පටවලට උදාහරණයන් ඕනෑ තරම්ය. එහෙත් ‘නත්පෙ තුනායි‘ තවත් එක් ක්‍රීඩා සිනමා පටයක් නොවෙයි. පර්තිබන් දෙසිංගුගේ නත්පෙ තුනායි හොකී ක්‍රීඩාව කේන්ද්‍ර කර ගත්ත ද මිතුදම, පරිත්‍යාගය, දූෂිත දේශපාලනය ඇතුළු බොහෝ විෂයයන් ගැන සිනමා පටයෙන් විවරණය කෙරෙයි. ඉන් වඩාත්ම කතා බහ කෙරෙන්නේ දූෂිත දේශපාලනයෙන් අපවිත්‍ර වන ක්‍රීඩාව ගැනයි.

යොවුන් ආකර්ෂණය දිනා ගැනීමට නිර්මාණය කරන බොහෝ දමිළ සිනමා නිර්මාණවල මෙන්ම නත්පෙ තුනායි සිනමා පටයේදී ද නිදහස් සිතුවිලි පිරි තරුණයෙක් ප්‍රේක්ෂකයන්ට මුණ ගැසෙයි. ඔහු ප්‍රභාකරන් (අදි) ය. මිතුරන් සමඟ තැන තැන ඇවිදිමින් ඔහු සැහැල්ලු විනෝදකාමී දිවි පෙවතක් ගත කළේය. දකුණු ඉන්දියාවේ පොන්දිචෙරි හි ජීවත්වූ ඔහු ප්‍රංසයට යෑමට සිහින මවන්නේය. ඔහුට සිය ජාතික අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඥාතියකුගේ නිවෙසේ නතර වීමට සිදුවන අතර එහිදී දීපා (අනාගා) නම් හොකී ක්‍රීඩිකාව මුණ ගැසෙන අතර ඇය සමඟ පෙමින් බැඳෙයි. ඇය හරහා ඔහු ෂන්මුගම් (හරීෂ් උත්මන්) හඳුනා ගනී. ඔහු ගැහැනු පිරිමි දෙපිරිසම පුහුණු කරන හොකී ක්‍රීඩා පුහුණු කරුවෙකි. මේ අතර ක්‍රීඩා ඇමැති හරිචන්ද්‍රන් (කරු පලනියාප්පන්) සමාගම් කීපයක් සමඟ එක්වී හිටපු ඔලිම්පික් ක්‍රීඩකයකු විසින් තෑගි කළ ක්‍රීඩා පිට්ටනිය උදුරා ගැනීමට සූදානම් වෙයි. ප්‍රභාකරන් පුහුණුකරු ෂන්මුගම් අත්වැල් බැඳ ගන්නේ දූෂිත දේශපාලනඥයාට එරෙහිවය. 2019 තිරගතවූ දමිළ සිනමා පට අතරින් නත්පෙ තුනායි ඉහළම ආදායමක් ලද සිනමා පටයකි.


ආත්මීය මිතුදම

කුමන සුනඛ රුවකින් පැමිණිය ද උගේ ස්වාමි භක්තිය නොවෙනස්ය. ඒ ආදරණීය දෑස් සෙනෙහසින් වනන වලිගය කියාපාන්නේ ඒ පරම සත්‍යය. 2012 කැමරන් විසින් රචිත ‘අ ඩෝග්ස් ජර්නි ‘නමින්ම යුතු නව කතාව ඇසුරින් ගේල් මැන්කුසෝ අදියුරු විසින් තිරයට නඟන ලද ‘ අ ඩෝග් ජර්නි ‘ මැයි 17 වැනිදා සිට රසිකයන්ට තිළිණ කර ඇත.

2017 තිරගතවූ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද ‘අ ඩෝග්ස් පර්පස්, සිනමා පටයේ දෙවැන්න වන ‘අ ඩෝග්ස් ජර්නි, මඟින් බෙයිලි සුනඛයාගේ අලුත්ම දෛවය ගැන කියවෙයි. මිචිගන් ගොවිපළේ එතන්ගේත් බිරියගේත් සෙවණේ වැඩෙන ඌට සෙල්ලම් කිරීමට පුංචි අමුත්තියක ද මුණ ගැසෙයි.

ඒ එතන්ගේ කුඩා මිනිබිරියයි. විනෝදය, සංගීතයේ මිහිරියාව, හාස්‍ය කැටිවුණු අ ඩෝග්ස් ජර්නි සුනඛයන්ට සෙනෙහස දක්වන්නන්ගේ පමණක් නොව සියලු සත්ත්වලෝලීන්ගේ හද දිනා ගන්නක් බවට පත්වී අවසානය.

Comments