මට දුක ඔයා කර­දර වෙන එක­ටයි | Page 2 | සිළුමිණ

මට දුක ඔයා කර­දර වෙන එක­ටයි

චම්පා චට්ටෝපාධ්‍ය කිසිදාක පයින් හෝ පොදු වාහනයක ගමනක් ගොස් තිබුණේ නැත. අප්පා මෝ‍ටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකි. ආසියාතික රටවල අලෙවි වන්නේ සුඛෝපභෝගී වාහනවලට වඩා රළු ගමන්වලට ඔරොත්තු දෙන වාහනය.

අතිශයින් දුෂ්කර මාර්ග ඇති පළාත්වල මගීන් නගරයට ආවේ තවලම් මගිනි. දැන් ඔවුන් අබලන් මාර්ග ඔස්සේ ගමන් යන්නේ බස්වල‍ය. ප්‍රමාණවත් අසුන් නැති නිසා ඇතැම්හු බස්වල වහලයේ නැඟී එති. නීලක තිබ්බටුගොඩ සිට ගණේමුල්ල දුම්රිය පළට ආවේ ඉන්දියාවේ නිෂ්පාදිත ලේලන්ඩ් බසයකිනි.

චම්පාගේ සිතට සතුටක් දැනුණේ බසයක ගමන් කරද්දීය. ඉන්දියාවේ සිටියදී වැඩි වශයෙන් අඳින්නේ යුරෝපීය ඇඳුම්ය. නීලකගේ නංගි තමාට ගවුම් පිරිනැමුවේ තමා යුරෝපීය ඇඳුම්වලට කැමැති හෙයිනි. මේ හැමටම වඩා සුදු පැහැති පාසල් ඇඳුමක් දුන්නේ ඇය සමඟ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය නැරඹීමටය.

සිතට සැහැල්ලුවක් දැනුණේ නන්දිතා තම අතින් අල්ලාගෙන සිටින විටය. බසයේ යද්දී නන්දිතාගේ මිතුරියන් තමා දක්වා විමසූ දේ ඈ තේරුම් ගත්තාය. තමා යන්නේ නොදන්නා සහෝදරියක සමගින් ය යන සැකය ඔවුනට ඇති වූවා විය හැකිය. ඇය බසයෙන් බැස නන්දිතාගේ අතේ එල්ලුණාය. බෙංගාලයේ මෙන් නොව හමන සුළඟ සිසිල්ය. කලින් වැස්සක් ඇද වැටී තිබූ නිසා හමන සුළඟ තෙත් බවින් යුතුය.

“මේ කවුද? නන්දිතාගේ මිතුරියක් චම්පා කුමරිය දක්වා විමසුවාය.

“අපේ නෑයෙක්.”

“කවදාවත් දැකලා නෑ. අමුතු ලස්සනක්.” දුම්රිය ප්‍රවේශ පත් ගෙන ඔවුහු දුම්රිය වේදිකාවට ගියහ.

“මහන්සිද?”

“අනේ නෑ. මට දුක ඔයා කරදර වෙන එකටයි.”

“මේ සුදු සපත්තු දෙක දමාගෙන ඉන්න අමාරුද?”

“අනේ නෑ නංගි. අපි දෙන්නා එක සමානයි. නංගිගෙ යාළුවො මොනවද ඒ කිව්වේ?”

“ඔයා හින්දි නිළියක් වගේ කිව්වා.”

“ඕං බොරුවක් කියනවා.”

ඇය පහරක් ගසා සිනාසුණාය.

“මට ඔයා හින්දි නිළියක් නෙමේ රාජ කුමාරිකාවක් තවම.” ඔවුහු වේදිකාවේ නතර කළ ඩීසල් බලවේග දුම්රියකට පිවිසුණහ. වෙල්යාය මැදින් දුම්රිය ඇදී යද්දී සිතට දැනුණේ සතුටකි. ඉන්දියාවේ මෙන් විශාල වෙල්යායවල් මෙහි නැත. කුඹුරු, ඇපල්, දොඩම්, නාරං, තිරිඟු වතු මැදින් පැය ගණන් යන ගමන් නැත.

“කල්පනා කළේ අයියා ගැන නේද?”

“ඔව්” ඈ කෙටියෙන් කීවාය. නීලක තරම් හදවතට පිවිසි තවත් කෙනෙක් නැත.

“බය වෙන්න එපා. අයියා ග්‍රවුන්ඩ් එකට එයි. මම ඔයාට අලුත් සපත්තු දෙකක් ගේන්න කිව්වා.”

“අනේ ඇයි කරදර වුණේ. මම ස්ටුඩන්ට් කෙනෙක් නෙමේනෙ.”

ඇය ඉන්දියාවේදී සිටියේ මර බියෙන් යුතුවය. උද්ගතව තිබූ තත්වය අනුව ජීවිත හානියක් සිදු වීමට තිබූ ඉඩ-කඩ වැඩිය.

රාජ්‍ය ත්‍රස්තවාදය හා මූලධර්මවාදීන් නිර්මාණය කරන ලද මනුෂ්‍ය ඝාතන පිළිබඳ වාර්තා වෙයි. හැම ආගමකම මූලික හරය වී තිබුණේ කරුණාව, මෛත්‍රිය, අසල්වැසියාට ප්‍රේම කිරීම හා යහපත් පාලනයකට ආගමෙන් සහාය වීමය. ප්‍රජාතන්ත්‍ර වාදය සුරකින මානව හිතවාදී පුරවැසියන් නිර්මාණය කිරීම ආගමික නායකයන් සතු කාර්යයකි. ජාතීන් අතර සංහිඳියාවක් ඇති කළ හැක්කේ එමගිනි. විවිධ නම් වලින් හඳුන්වන අන්තවාදී සංවිධානවල ප්‍රශ්නය හැම රටකටම ඇත. දේශපාලන පක්ෂ භේදයෙන් තොරව අන්තවාදීන් හඳුනා ගෙන එයට පිළියම් යෙදීම රජයක් සතු කාර්යභාරයකි.

“සර් කතා කළ‍ාට කමක් නැද්ද?”

“එන්න නීලක. මම නීලකට කතා කරන්නයි හිටියෙ.”

“සර් කිසි දේකට බය වෙන්න එපා.”

“මට බය වෙන්න දෙයක් නෑ. මම ජීවත් වෙලා ඉවරයි. මම බයෙන් හිටියෙ මගෙ දුව ගැනයි. මොනවා වුණත් මම නීලකට ණය ගැතියි අපිව බේරා ගත්ත එක ගැන.”

“මේ දවස් ටිකේ සර් විවේකයෙන් ඉන්න.”

“ඇත්තටම මගෙ ජීවිත කාලයේදී නොගිය තැනක් නෑ. ඒත් ලංකාවේ සැරිසැරීමෙන් මම ලොකු සතුටක් ලැබුණා. අනික් එක ඔයා වගේ පරිත්‍යාගශීලී පුද්ගයෙක් හමු වීම අපේ වාසනාවක්.

“දැන් අපේ දුව සුදු ගවුමක් ඇඳල කොහේද ගියේ?” මහාරාජා ප්‍රශ්න කරද්දී එතැනට ආර්යාව පැමිණියාය.

“සුදු ගවුමක් ඇඳල ඉන්න කොට හින්දු කොලෙජ් එකට ගිය හැටි මතක් වෙනවා” ආර්යාව කිවාය.

“අද අපේ නංගිලාගේ ඉස්කෝලෙ ස්පෝර්ට්මීට් එක. බයවෙන්න දෙයක් නෑ.”

“මාත් යන්න ආසයි. එතකොට ඔළුවෙ තියෙන ප්‍රශ්න අමතක වෙයි කියලා හිතනවා.”

“මාත් ඒක තමයි කියන්ට හිටියෙ ඔය රැවුල අඩු කරල ඩෙනිමක් ටීෂර්ට් එකක් ගහල යමු.

“නීලක, මට මෙයාව තැනකට එක්ක යන්න බයයි. දැක්කද දිය පීල්ල ගාව කෙල්ලොත් එක්ක නටපු නාඩගම?”

ඔවුහු එක වරම සිනාසෙන්ට වූහ. ඇත්තටම මේ සිදුවීම් හරහා සිතට පිවිසුණේ සැහැල්ලුවකි.

“යසස්, ලොක්කා නංගිලාගෙ මීට් එක බලන්න ස්කෝලෙට එකට එන්නද අහනවා.”

“මරුනේ හොඳම බෑන්ඩ් එක දිනුවෙ ස්කෝලේනේ, එක්කගෙන යමු”

“මම කියන්නද ලංකාවට ආව කියල තවම හරියට කතා කරන්ට බැරි වුණානෙ. මම කලින් යන්නද.”

“හා හා. පලයං. ඔතන උඹට රස්තියාදු වෙලා පුරුදුයිනෙ”

“මේ වඳින්නම්. කෙල්ල අප්සෙට් යන කතා කියන්න එපා”

“ගිය ආත්මෙත් ලංකාවට ඇවිදින් තියෙනවද කියල අහපං. මම දැක්කා ට්‍රැවලින් බෑග් එකට ඇඳුම් දාල නංගිට දෙනව.”

“මල් වත්ත පැත්තට ලොක්කා එක්කාගෙන යන්ට කියයිද දන්නෙ නෑ.”

“ඒක තමා තියෙන බය. මම හිතන් ඉන්නෙ කුමාරිව එක්ක යන්න.” 

අදහස්