බොදු සිරිත ඔප­ කළ තෙර­ණි­ය­කගේ කතාව | සිළුමිණ

බොදු සිරිත ඔප­ කළ තෙර­ණි­ය­කගේ කතාව

අප මහා බෝසතාණන්ගේ සම්බුදු තෙමඟුල සිහි කරන උතුම් වෙසක් පුන් පොහොය අදයි. මේ උතුම් දින නිමිති කොට ගෙන සැදැහැවත් ඔබ වෙනුවෙන් ජීවිතයට වටිනා ඔවදන් ලබාදෙන නව බොදු සිනමා සිත්තම ‘ජීවකම්භවනිකා හෙවත් සුභා තෙරණියෝ‘ දැන් තිරගත වෙයි.

සුභා යනු භික්ෂුණී ශාසනයේ සිටි ධර්මධර, විනයධර ශික්ෂාකාමී තෙරණියකි. බොදු සිරිත ඔප කළ සුපේෂල ශික්ෂාකාමී තෙරණියන් අතරින් සුවිශේෂ තෙරණිය ලෙස ඇය ථේරී ගාථාවන් 34ක් දේශනා කර තිබේ. උදේනී සිටුවරයාගේ එකම දියණිය වූ ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට පෙර රූමත් සුන්දර යුවතියකි. සැම දෙනා පිළිබඳවම සමානාත්මතාවෙන් සිතමින් කටයුතු කළ ඇය සිටු මැඳුරේ කාගේත් ආදරණීය චරිතය බවට පත්ව සිටියාය. කුඩා කල සිටම යහපත් සිතිවිලි සහිතව සිටි ඇය රජ මාලිගයේ දනට වැඩි හිමි නමකගේ ධර්ම දේශනකට සවන්දී බුදු දහම කෙරෙහි පැහැදි සියලු සැප සම්පත් හැරදා පැවිදි දිවියට ඇතුළත් වූවාය.

පැවිදිවූ පසුව භාවනා කිරිම සඳහා අරණ්‍යගතවීමට තීරණය කර ජීවක නම් වනයට වැඩියාය. අතර මගදී දුර්තක නම් තරුණයා ඇගේ රූපශ්‍රීයට වශී විය. එතැන් සිට නිරන්තරව සුභා තෙරණිය ලුහු බඳින දූර්තක තරුණයා සිතින් ඇයට පෙම් කරයි. නිරන්තරයෙන් සුභා තෙරණිය දක්නට එයි. විවිධ යෝජනා කරන අතර සුභා තෙරණියට මෙය දැඩි කරදරයක් බවට පත්වෙයි. මෙලොව අනිත්‍ය බව වටහාගෙන සියලු සැප සම්පත් අතහැර සසුන්ගත වූ සුභා තෙරණියෝ දූර්තක තරුණයාගේ යෝජනා කරුණාවෙන් යුතුව ප්‍රතික්ෂේප කළද ඇගේ රූපයට හා විශේෂයෙන් ඇගේ දෑසට වශීවී සිටින තරුණයා ඇයට දැඩි හිසරදයක් බවට පත් වෙයි.

අවසානයේ ඔහුගේ යෝජනාව පිළිබඳ සිතන්නට දිනක් ඉල්ලා සිටින්නීය. පසුදා උදෑසන සිය යෝජනාවට සාර්ථක පිළිතුරක් අපේක්ෂාවෙන් සතුටු සිතින් පැමිණි දූර්තක තරුණයා ඇයට කතාකර පොරොන්දු වු පරිදි වචනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. වචනයක් ලබා දෙන්නට පෙර සුභා තෙරණිය ඔහුගෙන් ප්‍රශ්න දෙකක් අසන්නට අසයි.

“ඔබ මට මෙතරම් කැමැති ඇයි?”

‘‘ඔබේ සුන්දරත්වයට. ඔබේ පෙනුමට.”

“එයිනුත් ඔබ වඩාත් කැමැති කුමකටද?”

‘‘දුටුවන් වශීකරන ඔබේ නෙත් සඟළට”

ඔහුගේ පිළිතුර ඇසූ සැණින් සුභා තෙරණියෝ ඇගේ දකුණු ඇස ගලවා ඔහුට දී එය රැගෙන යන්න යැයි කියයි. එයින් වික්ෂිප්තව, ක්ලාන්තව ඇද වැටෙන දූර්තක පසුව අනිත්‍ය වටහා ගෙන සසුන් ගත වෙයි.

අපේ ජීවිතයේ ඇති අනිත්‍ය බව පසත් කරමින් ප්‍රේක්ෂක ඔබට ජීවිතයට අරුතක් එක් කරනා මෙම සිනමා පටය සුමිත් කුමාරගේ අධ්‍යක්ෂණයකි. ආනන්ද සමරසිංහ සහ බිසර චානක්‍ය මානගේ S S Entertainment වෙනුවෙන් නිෂ්පාදන කරන ජීවකම්භවනිකා හෙවත් ‘සුභා තෙරණියෝ‘ ප්‍රියාල් වීරසිංහගේ තිර රචනයකි.

ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීත අධ්‍යක්ෂණය කර ඇති මෙහි ගී පද රචනා කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. විශාරද නන්දා මාලනී සහ දුමාල් වර්ණකුලසුරිය මෙහි ගීත ගායනා කරති. රුවන්ගි රත්නායක සුභා තෙරණිය ලෙසත් රොෂාන් රණවන දූර්තක තරුණයා ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, මහින්ද පතිරගේ, උදයන්ති කුලතුංග, ළමා නිළියන් වන නිතුෂි අශාරාද බුහුණි කින්නිරා වැනි ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිණියෝ හා ශිල්පීහු සෙසු චරිත නිරූපණය කරති. 

අදහස්