පාස්කු ඉරි­දාවේ මැකී නොගිය කළු සෙව­ණැලි | සිළුමිණ

පාස්කු ඉරි­දාවේ මැකී නොගිය කළු සෙව­ණැලි

බක් මාසෙ 21 දා ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර ඇඳිල තියෙන්නෙ ශ්‍රී ලංකාවම හඬවපු ශෝක දිනයක් විදියට. බක් මාසෙ දුක්බර මාසයක් වුණු අතීත සමීපරූප ඉන්ද්‍රචාපගෙ මතකයට නැගෙනව වරින් වර. අවුරුදු හතළිස් අටකට ඉස්සර කාලෙක බක් මාසෙ දුක් මාසයක් වීමේ දී රටට අහිමි වූ තරුණ පරම්පරාවෙ මුහුණු මත 2019 බක් මාසෙ අඳුරු පාස්කු ඉරිදාවෙ රටට ජාතියට අහිමි වුණු සිය ගණනක් අහිංසක මාපියන්, දූ දරුවන් ගේ මුහුණු දකින ඉන්ද්‍රචාපට හිතෙන්නෙ අපේ රට මේ තරම් අවාසනාවන්ත රටක් බවට පත්වෙලා තියෙන්නෙ මොන පවකට ද කියලා. 21 පාස්කු ඉරිදාවෙ වේදනාකාරී කළු සුදු සමීපරූප එකින් එක තාමත් ඉන්ද්‍රචාපගෙ උඩු හිතට ඇවිත් දුක් දෙනවා උදේ හවා. 21 කළු ඉරිදාවට පස්සෙ බැතිමතුන්ගෙන් හිස් වෙච්ච පාළු දෙව් මැඳුරකට ඉරිදා දේව මෙහෙයට එන බැතිමතුන්ගෙ සමීපරූපයක් ඉන්ද්‍රචාප දැක්කෙ 12 ඉරිදා උදේ කාලෙ.

දෙව් මැඳුරට දේව මෙහෙයට ආපහු පැමිණි කතෝලික බැතිමතුන්ගෙන් පිරුණු දෙව්මැදුරක් දැකීම ඉන්ද්‍රචාපගෙ හිතට යාන්තම් හරි සැනසුම් හිතිවිල්ලක් ගෙනාවාත් ඒක හිරු දුටු පිනි බිඳක් වගේ මැකිල ගියේ 13 සඳුදා උදේ පාසලට එනව කියපු පුංචි දරුවන්ගෙ මූණු වෙනද වගේ සමීපරූප අතර ඇඳුණෙ නැති නිසා. වෙනදා උදේ පාන්දර පිපුණු මල් වගේ අකුරට ආපු බාල ළමාවරුන්ගෙ හිනා පිරිච්ච මූණු සමීපරූප අතර ඇඳෙනව දකින්න ඉන්ද්‍රචාප ආසාවෙන් බලා ගෙන හිටිය.

ඒත් දැන් 21 ඉඳලා ඉරිදා තුනක් ගෙවිලත් තාම සමීපරූප අතරෙ මේ පොඩි එවුන්ගෙ මූණු ඉන්ද්‍රචාප දැක්කෙ නෑ. තව කොච්චර දවසක් මේ කඩවුණු බලාපොරොත්තුවෙන් ඉන්න වෙයිද කියල ඉන්ද්‍රචාපට හිතාගන්න බෑ. ඉන්ද්‍රචාපගෙ හිත දුකෙන් පිරෙන්නෙ මේ පුංචි එවුන්ගෙ මානසික තත්ත්වෙ ගැන කල්පනා වෙන කොට. පොත පතින්, පාසලින්, යාළු මිත්‍රයන් එක්ක කෙළි සෙල්ලමින් දවස ගත කරපු, ටීචර්ල දෙන ගෙදර වැඩ පැවරුම් අම්ම, තාත්ත, අක්ක, අයිය එක්ක එකතුවෙලා පහුවෙනිද පන්තියට ගෙනියන්න පුරුදුවෙලා හිටපු පොඩිවුන්ගෙ මානසික තත්ත්වෙ ඒකෙන් ඈත්කරලා තිබ්බට පස්සෙ ආපහු කවදා කොහොම හැදෙයිද කියල හිතන කොට ඉන්ද්‍රචාපට දුකක් හිතෙනවා.

අපි මේ සෙල්ලම් කරන්නෙ රටේ ජාතියේ අනාගතය බාරගන්න ඉන්න පරම්පරාව එක්ක නේද කියල ඉන්ද්‍රචාප නිතරම කල්පනා කරනව. ඒත් රැයක් ගෙවිලා ආපහු අලුත් දවසක උදාවත් සමග ඉන්ද්‍රචාපට දකින්න අහන්න ලැබෙන්නෙ දුක්ප්‍රාප්ත පාස්කු ඉරිදාවෙම සමීපරූප නම්, මොකක්ද මේ අපි ගතකරන ජිවීතේ කියල ඉන්ද්‍රචාපට වගේම සමීපරූප අතරට සතිපතා එකතුවෙන හැමෝටම හිතෙනව ඇති. ඒත් මේ විදියට තව කොයිතරම් කාලයක් හිත හිතා ඉන්න ඕනද කියන ප්‍රශ්නෙට අපි ළඟ උත්තරයක් තියෙනවද?

අහිංසක ජීවිත සිය ගණනක් කුරිරු විදියට බිලිගත්ත යාන්තම් ඔළුව උස්සගන්න හදපු රටක් ප්‍රපාතයකට ඇද දැම්ම සති ගාණක් යන තෙක් ජන ජීවිතය අඩාළ කළ මේ ත්‍රස්ත උවදුර මැඬ පවත්වන්න, රටේ මිනිස්සුන්ගෙ හිත්වල නිතරම ඇතිවෙන භය, සැකය, කාංසාව, වේදනාව, අවිනිශ්චිත හැඟීම මුළුමනින්ම ඉවත්කිරීම කෙසේ වෙතත්, මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු ටික හරි කර කියාගන්න පුළුවන් පරිසරයක් ඇති කරල දෙන්න වගකිවයුත්තන් කටයුතු කරනවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන බව නම් ඉන්ද්‍රචාප සමීපරූප අතරින් දකිනව.

ගෙවීගෙන යන මේ වෙසක් සතියෙදි වත් මිනිස්සුන්ගෙ සිත් එකිනෙකා කෙරෙහි ක්‍රෝධයෙන්, වෛරයෙන් බලන සිතිවිලිවලින් මිදිලා හැමෝම තමන්ගෙ සහෝදරයො කියල හිතාගෙන ආදරයෙන් ප්‍රේමයෙන් ජීවත්වන සමාජයක් හදන්න පන්සලට, පල්ලියට, දෙව්මැඳුරට වගේම කෝවිලටත් පුළුවන් කියන විශ්වාසය ඉන්ද්‍රචාපට තියෙනව. ඒක අපේ රටේ දේශපාලනයට කවදාවත්ම කරන්න අපහසු, කරන්න උත්සාහ නොකරන දෙයක්. සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගෙ හිත් වසාගෙන ඇති මේ අඳුරු සිතුවිලිවලින්, අඳුරු පාස්කු ඉරිදාවෙ අමිහිරි, දුක්බර මතකවලින් මිදිලා අපේ රටේ සාමකාමීව සහෝදරත්වයෙන් ජීවත්වෙන්න කැමැති, ඕනැ කරන, මිනිසුන් වෙනුවෙන් අලුත් දේශයක් අපට ලැබේය යන විශ්වාසයෙන් ඉන්ද්‍රචාප තවමත් ඉන්නවා.

Comments