දැන් ටෙලි හදන ‘සිස්ටම්’ එක වෙනස් | සිළුමිණ

දැන් ටෙලි හදන ‘සිස්ටම්’ එක වෙනස්

පුංචි තිරයේ සිටින දඟකාර, හැඩකාර රංගන ශිල්පිනියක ලෙස නෙහාරා පීරිස් හැඳින්විය හැකියි. රංගනයට මෙන්ම නිවේදනයට හපන්කම් දකවන ඇය මේ දවස්වල අලුත් වැඩකට අතගසන්න යන බව අපට ආරංචි වුණා. ඒ ගැන දැනගන්නට කතා කළ විට වෙනදා වගේම සුපුරුදු ළෙංගතුකමෙන් අප සමග දොඩමලුවු නෙහාරා රසඳුන තුන්වැනි පිටුව හැඩ කරන්න එක් වූයේ මෙලෙසයි.

 මොකක්ද කරන්න යන අලුත්ම වැඩසටහන...

 

ඒක රියැලිටි වැඩසටහනක්. ‘sirasa super mum’ කියලා. සිරස නාළිකාවෙන් මේ මස 25දා සිට විකාශය කෙරෙනවා. මම එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක්. මාස හයක් මේ වැඩසටහන පවත්වනවා.

 

super mom මොනවගේ රියැලිටි අත්දැකීමක්ද?

 

අම්මා සහ දරුවන් නර්තනයේ යෙදෙන තරගාවලියක්. දැන් ඉන්න බාහෝ අම්මලා තරුණයි, ලස්සනයි. ඔවුන්ට ලස්සනට නර්තනයේ යෙදෙන්නත් පුළුවන්. ඔවුන්ට දක්ෂ දරුවොත් ඉන්නවා. නවමු අත්දැකීමක් නිසා ඉදිරියේදි හොඳ තරගයක් බලාගත හැකියි.

 

ඊට අමතරව මොනවද කරන්නෙ..

 

ටෙලි නාට්‍ය හතරක වැඩ භාරගත්තා. තවම ඒවායේ රූපගත කිරීම් ආරම්භ වුණේ නැහැ. පසුගිය කාලයේ අවුරුදු වැඩසටහන්වලට නර්තනයෙන් දායක වුණා. මේ දවසල නම් වැඩිපුර ගෙදරට වෙලා ඉන්නවා.

 

කලාව ගැන කලකිරීමෙන්ද කතා කරන්නෙ..

 

එහෙම දෙයක් නෑ. එහෙත් පසුගිය වසර තුන ඇතුළත අපේ කලාවෙ ගොඩක් වෙනස්වීම් සිදුවෙලා තියෙනවා. අලුත් අලුත් මුහුණු ගොඩක් ඇවිත්.

ඒ අය ගොඩක් ලස්සනයි. නමුත් සමහරක් දේවල් ගැන නම් මගේ වැඩි ප්‍රසාදයක් නෑ. දැන් එදාට වඩා ටෙලි නාට්‍ය හදන ‘සිස්ටම්‘ එකත් වෙනස් වෙලා. ඉස්සර වගේ නෙමෙයි දැන් ටෙලිනාට්‍යයක මුලින් කොටස් පහළොවක් රූගත කර තමයි චැනල් එක සොයන්නෙ. ඒ දවස්වල නම් එහෙම නෑ අපිට වැඩකට කතාකරන කොටම විකාශය වන නාළිකාවෙ නම පවා කියනවා. ඔය වගේ සිද්ධි නිසා රඟපෑම ගැන දෙපාරක් සිතන්න වෙලා තියෙනවා.

 

මේනක නම් පුංචිතිරේ ජනප්‍රියයි..

 

ඔව්. මේනකට ලංකාවට ආපු ගමන්ම වැඩගොඩකට ආරාධනා ලැබුණා. මම හිතන්නෙ ටෙලි නාට්‍ය පහක විතර මේ දවස්වල ඉන්නවා.

ඔබ ලංකාවට ආවෙ නැවත විදේශ ගත  වෙන්න නේද?

අැ‍ෙමරිකා යන බලාපොරොත්තුවෙන් තමයි ආවෙ. ඒත් ඒ අදහස අතහැරියා. එහිදී ඒ. එම්. අයි මොන්ටිසෝරි පාඨමාලාව කළත් අවසන් කරන්න බැරි වුණා. ඒක අවසන් කරන්න තමයි නැවත යන්න හිටියෙ. මේ දවස්වල තියෙන වැඩත් එක්ක යන්න අපහසු නිසා online කරනවා.

කවදද නෙහාරා මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වෙන්නෙ..

තවම නම් එහෙම අදහසක් නැහැ. අනාගතයේදි රඟපාන්න බැරි කාලෙක එහෙම අදහසක් එයිද දන්නෙ නෑ. ලංකාවෙ ඉන්දැද්දීත් මොන්ටිසෝරි කෝස් එකක් කළා. මේ කෝස් එකත් අවසන් කළාම මොන්ටිසෝරි කෝස් දෙකක් කර තිබෙනවා.

 

ගොඩක් අය අහනව නොහාරා හැමදාම එක විදිහට ලස්සනට ඉන්නෙ කොහොමද කියලා..

 

එහෙම අහන්න ලැබෙන එකත් සතුටක්. රූපය රැකගන්න නම් විශේෂ දෙයක් කරන්නෙ නෑ. පලතුරු, එළවළු වැඩිපුර කනවා. හොඳට වතුර බොනවා. කෑම පාලනය කරනවා. ව්‍යායාම කරනවා. ඒ ඇරුණම හැම වෙලේම හිත සතුටෙන් ඉන්නවා.

 

කලාවට ආපු මුල් කාලය මතකයිද?

 

2007 වසරෙදි ‘සෙනෙහසට ආදරෙයි‘ ටෙලි නාට්‍යයෙන් හා ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයෙන්. ඉන් පසුව තමයි ‘මුතු කිරිල්ලී‘ ටෙලිනාට්‍ය රඟපෑවේ. ඒ ටෙලිනාට්‍ය සියල්ලම සුසිල නිෂ්පාදන. මම ආසයි ඒ ප්‍රඩක්ෂන් එකත් එක්ක වැඩකරන්න. චිත්‍රපට නම් දෙකක පමණයි රඟපා තිබෙන්නෙ.

 

හැමදාමත් රඟ පාන්නද කල්පනාව...

 

මම දන්නව ඔයා අහන්නෙ මොකක්ද කියල. ඒ දේවලුත් වෙලාවට සිදුවෙයි. පසුගිය වසර තුන විදෙස්ගත වෙලා සිටි නිසා දරුවකු ගැන සිතුවෙ නැහැ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. බලමු නේද?

 

විදෙස්ගතව සිටි කාලයේ සුන්දර මතකයන් මොනවද ?

 

හරිම සුන්දරයි. ඒ වගේම හරිම අවිවේකීයි. කොතරම් කාර්යබහුල වුවත් අපි හරිම ආදරෙන් ඒ කලය ගත කළා. එහිදී අප ඇසුරු කළ මිතුරු මිතුරියන් දැනටත් අපි ගැන සොයා බලනවා. අපිට නැවත එන්න කියනවා. පසුගිය දා සිදුවු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඔවුන් අපි ගැන හොඳටම බිය වෙලා නැවත එන්න කියනවා. ඒත් අපි අපේ රටට ආදරෙයි. 

 

අදහස්