විහාර බිතු සිතුවම් ලෝ‍කයට විවර කළ තෙවන ඇස | සිළුමිණ

විහාර බිතු සිතුවම් ලෝ‍කයට විවර කළ තෙවන ඇස

“කවර යුගයක කවර පරිසරයකට අයිති වුවත් චිත්‍රකාරයාගේ අදහස් රස මුසු වී එළිදරව් වන සිතුවම ‍උසස් තත්ත්වයට ලා ගණිනු ලැබේ. එබඳු සිතුවමක සෞන්දර්යය අඩංගු වීම ස්වාභාවිකය. එබඳු සිතුවමක රස විඳ ගැනීම හා නිෂ්පාදකයාත් උසස් කොට ගැනෙන්නේ එබඳු දෙයක් හා එබඳු ශිල්පියකු ලබාගැනීම දුෂ්කර නිසා ය.”

ඇල්.ටී.පී‍. මංජු ශ්‍රී මහා කලාකරුවා බෞද්ධ විහාර චිත්‍ර ගැන සඳහන් කරමින් පණහ දශකයේ පළවූ ‘රුහුණු කැලුම්’ නම් සඟරාවට එලෙස ලියා තිබුණි. එහි මෙසේ ද සඳහන් වී ඇත.

“වස්තු වර්ණනා මුඛයෙන් කළ බිතු සිතුවම් රාශියක් නුවර යුගයේ සිට ඉංග්‍රීසි පාලනයේ මධ්‍ය භාගය තෙක් කළ උඩ පහත දෙරටේ විහාර පන්සල්වල වෙති. මෙයින් සමහර චිත්‍රයක් බොහෝ දුරටම කෙටි ය. දීර්ඝ වීම නිසා හෝ කෙටි වීම නිසා සිත්තරාගේ අදහස රස සහිතව එළිදරව් වේ යයි නොකිය හැකි, එසේ ම ශාස්ත්‍රානුකූල ලෙස ඇඳීම නිසා හෝ ඊට වෙනස් ලෙස ඇඳීම නිසා හෝ සිත්තරාගේ අදහස රස යුක්තව එළිදරව් වේ යයි ද නොකිය හැකිය.”

බෞද්ධ විහාරවල ඇති ඉතා වටිනා පෞරාණික බෞද්ධ බිතු සිතුවම් මතු කිරීමේ සද් ක්‍රියාවට දිවි හිමියෙන් ජීවිතය කැප කරමින් විහාර බිතු සිතුවම් පිටපත් කිරීමට පු‍රෝගාමී වූවන් දෙදෙනෙකි මංජු ශ්‍රී හා එස්.පී. චාර්ල්ස් යන කලා විශාරදයෝ.

විහාර බිතු සිතුවම් කලාවට කළ මෙහෙය අගය කරමින් මංජු ශ්‍රී මහතා හමුවී කතා බහ කළාට පසුව තමාට මතක් වූයේ රූපසිංහ මාස්ටර්ගේ ගීයක දෙපදයක් බව මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ ‘කලා’ සඟරාවට ලියා තිබුණි. ඒ ගීතයේ දෙපදය මෙසේ ය.

“සොඳට ජලේ පිරුණු කළේ නැත නිති සෙලවීමා

අඩු කළේ සෙලවීම නිසා එහි අඩුකම පාවී...”

අද බොල් පිළිම නෙළන හිස් මිනිසුන්ට ද කදිම කියමනකි. ඒ අතින් මංජු ශ්‍රී හා චාර්ල්ස් යන කලාකරුවෝ තම කරන කටයුත්ත කෙරෙහි දක්වන කැපවීමත්, නිහතමාන‍ීකමත්, මනුෂ්‍යකමත් උදාරය. ඒ සමඟම එවැනි ම ප්‍රතිභාවක් ඇති තවත් කලාකරුවෙක් ගැන සඳහන් කළ යුතු ම ය. මෙරට මහා සංස්කෘතික දායාදයක් වන ඒ පැරැණි විහාර චිත්‍ර ඡායාරූපයට නඟා රක්ෂණය කොට දායාදයක් බවට පත් කොට ඇත. පැරණි බෞද්ධ විහාර 2000 ක පමණ බිතු සිතුවම් 20,000 ක් පමණ ඡායාරූපයට නඟා සංරක්ෂණය කර ඇති මේ මහා කලාකරුවා ගාමිණී ජයසිංහ මහතා ය.

ගාමිණී ජයසිංහ මහතා ලංකාවේ බෞද්ධ බිතු සිතුවම් ඡායාරූපගත කිරීමේ නියැළුණු අන්තර් ජාතික වශයෙන් කීර්තියක් දිනා සිටින කලා ක්ෂේත්‍රයට සම්බන්ධව සිටියේ ය.

ගාමිණී ජයසිංහ මහතා අපට හමු වූයේ පිටකෝට්ටේ පාගොඩ පාරේ ‍උඩුමුල්ල පැසේජ්හි නිවසකදීය.

බොහෝ දුක් ගැහැට විඳිමින් පැරණි බිතු සිතුවම් කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින්, කැපවීමෙන් මතු පරපුරට ඒවා දායාදය කළ ගාමිණී ජයසිංහ මහතා 2006දී සර්වෝදය භාරකාර මුදල ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ අතර එහි හේතු පාඨය මෙසේ ය.

“ශ්‍රී ලංකාවේ විහාර සිතුවම් සංරක්ෂණය කිරීම සඳහා විහාර සිය ගණනක බිතු සිතුවම් වාර්තා කොට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කිරීමෙන් ද එම බිතු සිතුවම් ආශ්‍රිත ග්‍රන්ථ මාලාවක් නිර්මාණය කිරීමේ භාරධ‍ූර කාර්යය ඉටු කරමින් ද කර ඇති විශේෂ ජාතික සේවය අගයමින් 2006 වසරේ සර්වෝදය ජාතික සම්මානය ගාමිණී ජයසිංහ මහතාට පිරිනමන ලදී.”

කවුරුද මේ ගාමිණී ජයසිංහ?‍

ජයසුන්දර මුදියන්සේලාගේ ලෙස්ලි වෝල්ටර් ගාමිණී ජයසිංහ 1939 දෙසැම්බර් 31 වැනිදා මිනුවන්ගොඩ වරාගලදී උපත ලබා ඇත. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර අම්පිටිය විද්‍යාලයේ හා මීරිගම මධ්‍ය විද්‍යාලයෙනි.

කලාවට ඇලුම් කළ ඔහු තම ජීවන වෘත්තියට තෝරා ගත්තේ සිනමා කලාවය. ආධුනික චිත්‍රපට සංස්කරණ ශිල්පියකු ලෙස 1958 වසරේදී ඔහු රජයේ චිත්‍රපට අංශයට බැඳී ඇත.

මෙරට නිපදවූ සිංහල චිත්‍රපට දෙකකට ඔහු සංස්කරණ ශිල්පියා ලෙස සම්බන්ධ වී ඇත. ඒ ලයනල් අමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘වෙසතුරු සිරිත’ (1966) චිත්‍රපටය හා කුමාර් වික්‍රමසූරිය හා එච්.ඩී‍. විජේදාස අධ්‍යක්ෂණය කළ අබුද්දස්ස කාලේ (1968), ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ Forty Leagues from paradise (1970) The Process in of Kandy (1971) චිත්‍රපට සංස්කරණය කළ අතර ‘පිංහාමි’ චිත්‍රපටයේ නිෂ්පාදන අංශය බාරව කටයුතු කොට ඇත.

“‍මම කුඩා කාලයේ සිටම ඡායාරූප ශිල්පයට ආදරය කළා. මගේ ජීවිතයේ පෙර ගමන්කරුවා වූයේ මා මිත්‍ර ප්‍රේමතිලක සකලසූරිය මහතා.

මගේ ගමේ ම මිත්‍රයකු වූ ඒ මහතා දක්ෂ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක්. දවසක් මම සකලසූරිය සමඟ ගාල්ලට යන ගමන් කතළුවේ රන්වැල්ල පන්සලට ගියා. මේ 1973 වර්ෂය. ඒ පන්සලේ විහාර ගෙයි පහත බිම් තීරුවේ තිබෙන අපූරු බිතු සිතුවමක් දුටු සකලසූරිය මට මෙසේ කීවා.

“ගාමිණී මේකේ පින්තූරයක් ගනින්. මේක පොත් කවරයකට අගේට ගැළපෙනවා.”

“එදා මම විහාර බිතුසිතුවම් රැසක් ගත්තා. සංචාරක මණ්ඩලයේ මම අඳුනන මිත්‍රයෙක් හිටිය ලූෂන් රාජකරුණානායක කියලා. දවසක් මේ විහාර බිතුසිතුවම් පින්තූරත් අරගෙන මම ලූෂන්ව බලන්න ගියා. මගේ පින්තූර අගය කරමින් බල බල ඉන්න කොට එතැනට අහම්බෙන් වගෙ ආවා ORIENTATIONS සඟරාවේ සංස්කාරකවරිය වූ Donna Roginski මේ පින්තූර ටික මගෙන් ඉල්ලා ගත්තා. ඒ ගමන් ම ඇය ලූෂන්ගෙන් තවත් උපකාරයක් ඉල්ලුවා.

“ලූෂන්, මම මේ පින්තූර මගේ සඟරාවේ පළ කරනවා. ඔබට පුළුවන්ද Temple Art of Sri Lanka කියන මාතෘකාවෙන් ලිපියක් ලියලා දෙන්න.”

මේ කතාව වෙලා මාස දෙකක් ගියේ නැහැ. ORIENTATION සඟරාවේ පිටපතක් තැපෑලෙන් ලැබුණා. පුදුමය ඒක නෙවෙයි එදා මගේ මිත්‍ර සකලසූරිය පොතක පිටකවරයට සුදුසු යැයි කියපු විහාර බිතු සිතුවම් චිත්‍රයයි සඟරාවේ මුල් පිටුවේ තිබුණේ. අවාසනාව නම් ඒ සඟරාව නිකුත් වෙන කොට සකලසූරිය ජීවතුන් අතර නොසිටීම.

මගේ ජීවිතයේ මා වඩා කණගාටු වූ දුක් වූ සිද්ධිය නම් මගේ මාර්ගෝපදේශකයා වූ සකලසූරියගේ මරණයයි. මගේ ජීවිත ගමන වෙනස් කළ සකලෙට මේ වෙසක් පෝයදා මම පිං දෙනවා. ඔබගේ භවගාමී ජීවිතය සැපවත් වේවා!”

ගාමිණී තම අතීත කතාව හෙළි කරමින් කීවේ සංවේගයෙනි.

“Orientation” සඟරාව කියවූ කලා රසිකයකු වූ Keinz Helling නම් එවකට ලීවර්ස් (ලංකා) සමාගමේ සභාපතිවරයාගෙන් ගාමිණීට ඔහු සමඟ ‘කොක්ටේල්’ සාදයකට සහභාගි වන මෙන් ඇරියුමක් ලැබිණ.

“මම හොයමින් හිටිය මිනිහා අද මට හමුවුණා. මම අදහස් කරල තියෙනවා ලංකාවේ බෞද්ධ විහාර චිත්‍ර එකතුවක් පළ කරන්න. මම කැමැතියි ඒක උඹට බාර කරන්න. අපි උඹට අවශ්‍ය හැම පහසුකමක් ම සලස්වන්නම්. උඹ කැමැති ද ඒක භාර ගන්න.

“සත්තකින්ම එය ඉතා ඕනෑකමින් ඉටුකර දෙන්නම්” ගාමිණී කීවේය.

මේ කාලයේ ගාමිණී රජයේ චිත්‍රපට අංශයෙන් ඉවත් වී රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ විදේශ චිත්‍රපට නිෂ්පාදන අංශය භාර කළමනාකරු ලෙස සේවය කරමින් සිටියේ ය.

තම රැකියාවෙන් තමාට අනිවාර්යයෙන් ම හිමි තුන් වසරක නිවාඩු ගෙන ගාමිණී වසර තුනක් පන්සලක් පන්සලක් ගානේ ගියේ ය.

“මා සතු අංගසම්පූර්ණ කැමරා උපකරණ, සේයාපටවලට අමතරව එංගලන්තයෙන් ගෙන්වා ගෙන තිබූ මල නොබැඳෙන අලුමිනියම් පලංචි හා වෙනත් පහසුකම් ලීවර්ස් සමාගමෙන් ලැබුණා.

මා මගේ ව්‍යාපෘතිය පටන් ගත්තේ කතළුව, කරගම්පිටිය, මුල්කිරිගල, තෙල්වත්ත, රන්දොඹේ, දෙගල්දෝරුව, මැදවල, දඹුල්ල, කැලණිය කියන විහාරවල ඇති බිතුසිතුවම් ඡායාරූපගත කිරීමට” නිහාල් අතීත කතාව පටන් ගත්තේ ය.

වටිනා විහාර චිත්‍රවල වටිනාකමත්, අපූර්වත්වයත් හඳුනාගත් නිහාල් දුර්ලභ චිත්‍ර ඡායාරූපගත කර සටහන් තැබීම ආරම්භ කර ඇත්තේ 1965 වසරේ බවත් මේ වනවිට ඔහු මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටින විශේෂ ඡායාරූප ශිල්පියා ද වන බව පැවසේ.

ඔහු විසින් රූගත කළ ‘කැලණි සිතුවම් අසිරිය’ (2008) නම් අගනා කෘතියේ පිටපත ලියා ඇත්තේ ආචාර්ය සරෝජා වෙත්තසිංහ විසිනි. කැලණි චිත්‍ර ගැන ගාමිණී කියන්නේ මේ කතාව ය.

“18 වන 19 වන සහ විසිවන ශත වර්ෂවලට අයත් බෞද්ධ චිත්‍ර කලාවෙන් පරිපූර්ණ වූ අසම සම සම්පතක් වූ කැලණි විහාරය, ලංකාවේ ඉතා ජනාදරයට පාත්‍ර වූ ගෞරවනීය ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක්.

රජ මහා විහාරයේ ප්‍රතිමා ගෙවල් හතර පූජනීය වූ සිතුවම්වලින් පිරුණු ආලින්දයන්ගෙන් යුක්ත වන අතර, ඒවා විවිධ කලා සම්ප්‍රදායන්ගෙන් සහ ඒ ඒ වකවානුවල චිත්‍ර ක්‍රමයන්හි සුවිශේෂී වූ විශේෂඥයන්ගේ හැකියාවන් පෙන්නුම් කරන තැනක්.

කැලණි විහාරයේ චිත්‍ර, ඉතා ප්‍රාගුණ්‍යයකින් කරන ලද විශේෂ ජාතික පුද බිමක අලංකාරය ඉස්මතු කිරීම මෙන් ම, බලන්නා දැනුවත් කරන සහ ඇද බැඳ ගැනීමට හැකි, පහසුවෙන් සිත් ඇද ගන්නා සුලුඅ ආකාරයෙන් නිම වී තිබෙනවා.

කැලණිය පිළිබඳ මේ ග්‍රන්ථය මෙම සුවිශේෂි පූජ්‍ය ස්ථානයක කලා සම්පත් මනා ලෙස සහ සිතට කාවදින ආකාරයේ සටහන්වලින් යුක්තව කාලයක සිට වන අවශ්‍යතාව සපුරාලනු ඇති.

දෙස් විදෙස් හි ජීවත්වන කලා සම්පත ‍පිළිබඳ උනන්දුවක් දක්වන බුද්ධිමතුන්ට අධ්‍යාපනඥයන්ට අමුත්තන්ට සහ සියලු දෙනාටම මේ සුවිශේෂි ජාතික සම්පත හඳුන්වාදීමට හැකි වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය වී තිබෙනවා.”

ගාමිණී ජයසිංහයන්ගේ විහාර බිතු සිතුවම් සහිත ඡායාරූප සහිත ග්‍රන්ථයන් අතර රූපාලේඛයන් (Coffee Table Books) Buddhism and His Teaching; Rock and wall panting of sri Lanka; Vision of the Buddha; The Dambulla Rock Temple; Bellanwila Murals; The Grandeur of Buddhist Art; Sri lanka Buddhist Art Postclassical Revival; The Glory of Kelaniya Murala කැපී පෙනෙයි.

මේ ග්‍රන්ථවල පිටපත (Text) ලියා ඇත්තේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක, මහාචාර්ය ඇල්බට් ධර්මසිරි, ආචාර්ය සරෝජා වෙත්තසිංහ, ධර්මසේන රස්සපාන, ෆොලොරන්ස් රත්වත්තේ, ආචාර්ය එඩ්වින් ආරියදාස, ඩී.බී. කප්පාගොඩ, ජානක පෙරේරා ආදීන් විසිනි. පූජ්‍ය පාද නාරද හිමියන්ගේ මුල් කෘති සඳහා ද ගාමිණීගේ විහාර බිතු සිතුවම් යොදා ගෙන ඇති අතර ඇතැම් ග්‍රන්ථවල පිටු සැලසුම මහාචාර්ය ඇල්බට් ධර්මසිරි හා ගාමිණී ජයසිංහ ගෙනි.

ගාමිණී ජයසිංහගේ මෙම මහඟු වාර්තාකරණය ඡායාරූප වර්ණ ඵලක (Slide) 20,000 ලෙස මේ වනවිට සංස්කෘතික ත්‍රිකෝණ ඡායාරූප සංරක්ෂණාගාරයේ තැන්පත් කර ඇත.

මේ ව්‍යාපෘතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් පදනමේ සහ නැෂනල් ජෝග්‍රැෆික් සඟරාවේ උපදෙස් මත ලීවර් (ලංකා) සමාගමේ මූල්‍ය ආධාරයෙන් ක්‍රියාත්මක ‍විය.

විහාර සියයක බිතු සිතුවම් 20,000ක් රූගත කළ ගාමිණී ජයසිංහ ඒ සඳහා තමා විඳි දහදුක ගැන ද කතා කළේ ය.

“බිතු සිතුවම් ඡායාරූපගත කිරීම හිතෙන තරම් පහසු දෙයක් නොවෙයි. පලංචිවල නැගගෙන ලොකු යුද්ධයක් කරන්න ඕනෑ. තෙල්වත්තේ පන්සලේ අඩි 30ක් විතර උසින් බිතු සිතුවම් තියෙන්නෙ.

පලංචියේ ඉඳගෙන ආලෝකකරණය සඳහා සහායකයන් තිදෙනෙකුගේ සහාය ඇතිවයි ‍මම පින්තූර ගත්තේ. මගේ බිරිය නිමලා බිතු සිතුවම්වල විස්තර, ලේඛනගත කළා. පන්සලේ පසුබිම තොරතුරු, කාල වකවානු සටහන් කර ගත්තා.

මම මෙතෙක් දුටු විවේචනාත්මක බිතු සිතුවම් ඇත්තේ දෙගල්දෝරුවේ. තිවංක පිළිමගෙයි ඇතුළේ ඇති 12 වැනි ශත වර්ෂයට අයත් චිත්‍ර කලාත්මක අතින් ඉහළයි. මම පින්තූර ගත්ත ඉතාම පැරණි බිතුසිතුවම් තිබුණේ අම්පාරේ ගොනාගොල්ලේයි. අනුරාධපුර වෙස්සගිරියේ චිත්‍ර මම යන කොට අභාවයට පත් වෙලා.

 

මම ගාල්ලේ ගිංතොට තුන් මහල් විහාරයට දවසක් ගියා. ඒ විහාරගෙයි ඉතා වටිනා පැරණි බිතු සිතුවම් කිහිපයක් තිබුණා. ඒ බිතු සිතුවම් කළු පාටින් වහල ඒක කළුලෑල්ලකට අරන් ගුරුවරයෙක් ළමයින් උගන්වනවා. මට මේක දැක්කාම ලොකු වේදනාවක් දැනුණා.

“මොකද මේ කරලා තියෙන අපරාදේ...” මම කම්පිතව ඇසුවා.

“මොකක්ද අපරාදේ? ළමයින්ට උගන්වන එකද අප‍රාදේ”

“ළමයින්ට ‍උගන්වන එක අපරාධයක් නෙවෙයි. ‍මේ වගෙ ලෝකයක් වටිනා චිත්‍ර මකලා කළු ගාල ළමයින්ට උගන්වන එක අපරාධයක් නෙවෙද?”

“පිස්සුද මහත්තයා දැන් කවුද මේ පරණ බිතු සිතුවම් බලන්න එන්නේ?” ඔහු සිනාසෙමින් කිව්වා.

‍ඔහු හරි. මේව බලන්න එන්නේ කවුද? මම මට ම කියා ගත්තා.

තවත් අත්දැකීමක් ජයසිංහ මහතා අපට විස්තර කළේ ය. ඔහු දඹුල්ලේ චිත්‍ර ඡායාරූපගත කරමින් සිටි අවධියේ ඒ. ඉස්කෝල මහත්තයෙක් ළමයි ගොඩක් අරගෙන ආවා. ළමයි දඹුලු විහාර චිත්‍ර උනන්දුවෙන් බලා ඇත්තේ ඔහු අඳුරු තැන්වලට විදුලි බුබුළුවලින් ආලෝක කර තිබූ නිසා ය. අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි ගුරුවරයාගෙන් ළමයි ඒ චිත්‍ර ගැන ප්‍රශ්න අසා ඇත. ගුරුවරයාට සිසුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු නැත.

“යමු... යමු... ඉක්මනට තව අනුරාධපුර, පොලොන්නරු පැත්තට යන්න තියෙනවා. මෙතැන තැග් ගැහිලා හරියනවද? මෙතැන ගාල් වෙවී ඉඳල දඹුලු චිත්‍ර ගැන විතර ද ‍ඉගෙන ගන්නෙ... හා... යමු... යමු.”

ගුරුවරයාගේ මේ ක්‍රියා කලාපය ගැන ජයසිංහ මහතාට ඇති වූයේ වේදනාවකි. “ඔන්න අපේ රටේ ගුරුවරු? දැනුමක් ගන්න ඉන්න ළමයින්ට කියලා දෙන්න එයා දන්නේ නෑ. කී ඒ මහතා හැබැයි හැම ගුරුවරයෙක් ම ඒ ගණයට වැටෙන්නේ නෑ” සිනාසෙමින් කීවේ ය.

පැරණි බිතු සිතුවම් ඡායාරූපගත කිරීමට ගිය ජයසිංහ මහතාට අවස්ථාවල භික්ෂූන් වහන්සේලාගෙන් උපරිම සහයෝගය මෙන් ම අවහිරතා ද විරෝධතා ද ලැබී ඇත. දෙගල්දෝරුව, මැදවල, සූරියගොඩ පන්සල්වලින් ලැබුණ සහාය විශිෂ්ට බව ඔහු කෘතඥතාපූර්වකව සිහිපත් කළේ ය.

ජයසිංහ මහතා මේ වනවිට විහාර බිතු සිතුවම් 10,000 ක් පමණ රූප ගත කොට ඇත. ඒ සඳහා මිලි මීටර් 15 wide මිලි මීටර් 55 හා මිලි මීටර් 24 Wide Angle කාච භාවිතා කර ඇත. කිසිදා ඔහු ඩිජිටල් තාක්ෂණය උපයෝගි කරගෙන නැත. තමා විසින් මෙතෙක් ගන්නා ලද වර්ණ ඵලක (Slide) මිදුණු පිනි රහිත (No Frost) ශීතකරණයක තබා ඇත. 1982 තම විහාර බිතු සිතුවම් සහිත ඡායාරූප ප්‍රදර්ශනයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේත්, පවත්වා ඇත. මේ ප්‍රදර්ශනයට පැමිණි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජයසිංහ මහතා මුල්කිරිගල විහාර සිතුවම දැක මෙසේ කියා ඇත.

“මේ ප්‍රදර්ශනය ප්‍රශංසනීයයි. මගේ සිත වැඩියෙන් ම ඇදී ගියේ මුල්කිරිගල පින්තූරෙට. මේ පින්තූරය ජනාධිපති ලේකම් කාර්යාලයට පරිත්‍යාග කරන්න.”

ජයසිංහ මහතා පරිත්‍යාග කළ ඒ චිත්‍රය ජෙෆ්රි බාවාගේ සැලසුමක් අනුව පැරැණි පාර්ලිමේන්තුවේ සවි කර ඇත.

ගාමිණී ජයසිංහ මහතා Sri Lankan Buddhist Art නමින් විහාර බිතුසිතුවම් සහිත CLASSICAL ELEGANCE, Southern Tradition; Post – Classical කෘති කාණ්ඩ 3 කින් මුද්‍රණයකර ඇත. මේ ග්‍රන්ථ වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ නුගේගොඩ සරසවි ප්‍රකාශකයන් විසිනි.

“මා පළ කර ඇති කෘති පෙරළා බලන විට මට විශාල සතුටක් ලැබෙනවා. මේ කාර්ය සඳහා අවංකව කැප වුණා, දුක් වින්ඳා. එහි ප්‍රතිඵල තියෙන මට විටෙක හිතිල තෘප්තිමත් ඒ වැඩේ කළා කියලා විශාල සතුටක් දැනුණා. මට දැන් වයස අවුරුදු 80 යි. මම දැන් මැරෙන්න බය නැහැ. මම බුද්ධාගම පිළිපදින කෙනෙක්. පව් පින් දෙක පිළිගන්න කෙනෙක්. ගිය ආත්මේ කරන ලද කුශලයකින් තමයි මට විහාර බිතු සිතුවම් රූපගත කරන්න ලැබුණේ. මේ ග්‍රන්ථ පළ කිරීමෙන් සරසවි ප්‍රකාශන ආයතනයේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා දක්වන අනුග්‍රහය මම දකින්නේ ලොකු පින්කමක් හැටියට‍. මගේ පොත් මිලයි. ඇතැම් පොතක් රුපියල් 3200 ක්. සමහර පොත් ඊටත් මිලයි. නවීන තාක්ෂණයෙන්, මනහර මුද්‍රණය වන මේ Coffee Table Books මිල නොතකා අලෙවිවීම ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්. එතුමාට පින්.”

ජයසිංහ මහතාගේ ග්‍රන්ථයක් දොරට වැඩි අවස්ථාවක එවකට කථානායකව සිටි වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා මෙසේ කීවේය.

“ගාමිණී ජයසිංහ මහත්තයෝ මේ පොතේ තියෙන බිතු සිතුවම් තියෙන හැම පන්සලකටම පාහේ මම ගිහින් තියෙනවා. හැබැයි මේ බිතු සිතුවම් හරියට සමීපව දැක්කේ ඔබගේ පිහිටෙන්. එයට ස්තුතිය පුද කරන්න ඕනෑ ඔබතුමාට නෙවෙයි, ඔබතුමා මෙලොවට බිහි කළ දායාදය කළ දෙමවුපියන්ට.”

Comments