මුස්ලිම් සමාජයෙන් ආරක්ෂක අංශවලට ලැබුණු සහාය නිසා තමයි මේ සිද්ධිවලට සම්බන්ධ සියයට අනූපහක්ම අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. ඒත් ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ වෛරි ප්‍රකාශ හා ඇතැම් දේශපාලන පක්ෂවල උසිගැන්වීම් සමස්ත මුස්ලිම් ප්‍රජාවම අපහසුතාවට පත් කළා.
රට මින් පෙර කිසිදාක නොවූ පරිදි අන්තර්ජාතික ත්‍රස්තවාදයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ වත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් එක් වී කටයුතු කරාවි යැයි ජනතාව අපේක්ෂා කළා. එත් එහෙම දෙයක් තවමත් පෙනෙන්න නෑ...
මෙතනදී ආණ්ඩු පක්ෂය විදියට අප කාර්යභාරයන් රැසක් ඉටු කළා. ඒත් යම් යම් උදවිය මෙතැනදී දේශපාලන වාසි ගන්න දරපු උත්සාහයත් අප දුටුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එනවාද නැද්දයි ඇසූ විට ‘වෙලාව ආවාම කියන්නම්‘ කියලයි කලින් කීවේ. බෝම්බ පිපිරුණා විතරයි ඔහු කිව්වා තමා ජනාධිපතිවරණයට ස්ථිර ලෙසම එන බව. ඉතිං එතකොට අපට හිතෙන්නේ මේ වගේ තත්ත්වයක් එන කල් බලාගෙන හිටියා වගේ නේ!
මේ ව්‍යසනය සිදු වුණේ අප්‍රේල් 21. තම නෑදෑ-හිතවතුන් තුන්සිය ගානක් අහිමි වී ගියත් කිතුනු ප්‍රජාව උරණ වී මුස්ලිම් ජනතාවට පහර දෙන්න ගියේ නෑ. ජනතාව ආවේගාත්මකව ප්‍රතිචාර දැක්වූවා නම් ඒක සිද්ධ වෙන්න ඕනෑ බෝම්බය පිපිරුණු වහාමයි. එහෙම නොවී සිද්ධියට සති තුනක් ගිය පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹීම කාගේ හරි බළල් අතක් ක්‍රියාත්මක වීමක් කියලා තමයි නිගමනය කරන්න පුළුවන්. යම් යම් දේශපාලන පක්ෂ ආණ්ඩු විරෝධිව හා ජාතිවාදි අරගලයක් නිර්මාණය කිරීම සඳහා පසුබිම හදපු බව පැහැදිලියි. එදා ‘83 කළු ජූලිය වේලාවේදී එල්ටීටීඊ සංවිධානයට පිරිස් බලය නැති අවස්ථාවක සමහර ජාතිවාදි අය ද්‍රවිඩ ජනයාට පහරදීලා ඒ සංවිධානය ශක්තිමත් කළා. අන්න ඒ වැඩේම තමයි මේ කිසිදු දෙයකට සම්බන්ධ නැති අහිංසක මුස්ලිම් ජනතාවට පහර දීමෙන් සිදු වන්නේ.
අප කල්පනා කළ යුත්තේ මේ ත්‍රස්ත උවදුරින් කොහොමද රටක් වශයෙන් ගොඩ යන්නේ කියන එකයි. ඒත් සමහර විපක්ෂ දේශපාලනඥයන් හිතන්නේ මේ ප්‍රශ්නය දඩමීමා කරගෙන අප කොහොමද ආණ්ඩු පක්ෂයට එන්නේ කියන-එකයි
ඇත්තටම වයඹදී මොකද වුණේ?
බෝම්බ පුපුරුවාගත් ත්රස්තවාදීන් හා ඊට සහාය දුන් අය සොයාගැනීමට මුස්ලිම් ජන සමාජයෙන් ආරක්ෂක හමුදාවලට අනැගි සහායක් ලැබුණා. ඒ නිසා තමයි මේ සිද්ධිවලට සම්බන්ධ සියයට අනූපහක්ම අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. මරාගෙන මැරුණු අය කවුද කියලා හඳුනාගන්න ලැබුණේ. ඒත් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යවල ඇතැම් පුද්ගලයන් වෛරි ප්‍රකාශ නිකුත් කළා. මේ වෛරි ප්‍රකාශ හා ඇතැම් දේශපාලන පක්ෂවල උසිගැන්වීම් ආදිය වයඹ හා ගම්පහ සිද්ධිවලට බලපෑවා.
මේවාට දේශපාලනඥයන් සම්බන්ධ බව ඇත්තද?
පැහැදිලිවම නිකවැරටිය හා අනෙකුත් ප්‍රදේශවල සිද්ධිවලට එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය නායකයන් සහභාගි වුණා. ඒ අය දැන් අත්අඩංගුවටත් පත්ව සිටිනවා. එයින් පැහැදිලි වන්නේ මේ ප්‍රහාර පිටුපස ඒ පක්ෂය සිටින බවයි.
මුස්ලිම් ගම් පරීක්ෂා කරන්නැයි කළ ඉල්ලීම ඉටු නොවුණු නිසා මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූ බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයට එකඟද?
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්. එහෙම නම් ඔහුට තිබුණානේ ජනාධිපතිවරයාට කියා ඒ ගම්මාන පරීක්ෂා කරන්න. මොකද ජනාධිපතිවරයානේ ආරක්ෂක ඇමැති!
පාසල් අරඹා සති දෙකකුත් ගත වුණා. තවමත් සිසුන් පැමිණීම අඩුයි...
ආරක්ෂාව සහතික කර තිබෙනවා, දරුවන් පාසල් එවන්න කියා ත්‍රිවිධ හමුදාපතිවරුන් කිව්වත් සමහර දේශපාලනඥයන්ගේ කිසිදු වග විභාගයක් නැති ප්‍රකාශ නිසා මවුපියන් දරුවන් එවන්න බයයි. කොහොම වුණත් වෙසක් නිවාඩුවෙන් පස්සේ පාසල් යථා තත්ත්වයට පත් වේවි.
මේ රට සිංහල-බෞද්ධ රටක් කියා කාදිනල්තුමා පවා පවසද්දී මංගල සමරවීර ඇමැතිවරයා නම් කියන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියලයි...
ඒ ගැන ඔබ විමසිය යුත්තේ මංගල ඇමැතිතුමාගෙන්. මගේ අදහස නම් වසර 2500ක ඉතිහාසය අනුව මේ රට සිංහල-බෞද්ධ රටක්. ඒ ඉතිහාසය තුළ අනෙකුත් ජාතීන්ද සහයෝගයෙන් ජීවත් වුණා.
මංගල සමරවීර මහත්තයාම කියලා තිබුණා ඇත්තම කියනවා නම් දැන් මේ ආණ්ඩුව හොඳටම ඇති කියලා. එහෙම ප්‍රකාශයක් කරන්න ඇත්තේ ඇයි?
එය විමසිය යුත්තේත් මංගල ඇමැතිතුමාගෙන්. ඔහු එවැනි ප්‍රකාශයක් කර තිබෙනවා මා නම් දැක්කේ නෑ.
රිෂාඩ් බදූර්දීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න විපක්ෂයේ මන්ත්‍රීන් සූදානම් වනවා.
එජාපය ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?
තවම ඒ ගැන අප සාකච්ඡා කර නෑ. ඊළඟ අඟහරුවාදා තමයි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වන්නේ. ඒ වන විට එවැනි යෝජනාවක් ගෙනත් තිබුණොත් එජාපය ගන්නා ක්‍රියාමාර්ගය එහිදී සාකච්ඡාවට ලක් වේවි.
සංවාදය - ගාමිණි බණ්ඩාරනායක