ක්‍රීඩා සමාජ විසි හතරක් තිබුණාට ක්‍රීඩකයන් පහළොවක් හොයාගන්න බෑ | සිළුමිණ

ක්‍රීඩා සමාජ විසි හතරක් තිබුණාට ක්‍රීඩකයන් පහළොවක් හොයාගන්න බෑ

බන්දුල වර්ණපුර ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ප්‍රථම නායකයා මෙන් ම ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දීමේ නියමුවා ද විය‍. මේ ඒ පිළිබඳ කතාබහකට අප වෙන් කළ ඉඩකඩයි.

ඔබේ ක්‍රිකට් ජීවිතය පටන් ගන්න තැනින් ම අපේ කතාවත් පටන් ගනිමු?

මම නාලන්ද විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් පටන් ගත්තේ. වයස අවුරුදු 10 න් පහළ ඉඳලා 14 – 16 – 18 න් පහළ ක්‍රීඩා කරලා පළමු පෙළ එක අවුරුද්දක් ක්‍රීඩා කරලා ආපු ගමනක් තියෙන්නේ. මේ වයස් කාණ්ඩවල නායකත්වය දැරුවා. 1962 ආනන්ද - නාලන්ද මහා තරගයේ වාර්තාවක් කැඩුවා.

ජයතිලක මහත්තයා මහා ක්‍රිකට් තරගයේ ඉනිමක රැස් කරලා තිබුණු වැඩිම ලකුණු වාර්තාව කැඩුවා. ඊට පස්සේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට‍ එකතු වුණා. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ඔය කාල වකවානුවේ, එස්.එස්.සී, එන්.සී.සී. සහ එක්ක ක්‍රීඩා කරලා ජයග්‍රහණය කළා. ඊට පස්සේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ හුඟ දෙනෙක් ජාතික කණ්ඩායම දක්වා ඉහළට ආවා. හය හත් දෙනෙකුට ජාතික කණ්ඩායම දක්වා ඉහළ ආවා. එහෙම ආපු ගමනක ප්‍රතිඵල තමයි ජාතික කණ්ඩායමේ නායකත්වය දරමින් පළමු ටෙස්ට් තරගයේ නායකත්වය දැරීම. ඒක නම් අදටත් මම හිතන්නේ මගේම වාසනාවට ලැබුණු දෙයක් කියලයි.

 

වාසනාවක් කිව්වේ?

මට කලින් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම හිටියා. ඒ අයට අපට වඩා ශතයක්වත් නොලැබුණු කාලයක් තිබුණේ. ඒ වගේ දුෂ්කර කාලයක් ගෙවා ගෙන ආපු කාලයක් ඔවුන්ට තිබුණේ.

අඩුම තරමේ අපේ කාලයේ මැච් එකකට රුපියල් 250/= ක් 300/= ක්වත් ලැබුණා. ඒ දේවල් පවා නැතුව තමයි ඔවුන් ක්‍රීඩා කළේ. ඔවුන් එතරම් දුෂ්කරතා යටතේ හොඳට ක්‍රීඩා කළ නිසා තමයි අපට අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය ලැබුණේ. ‍‍ ඔවුන් ඒ දුෂ්කරතා යටතේ හරි හරියට ක්‍රීඩා කළේ නැත්නම් අපට අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය පවා ඔය තරම් ඉක්මනට නොලැබෙන්න තිබුණා.

 

ඔය කාල වකවානුවේ අපේ පාසල් ක්‍රිකට් කොහොමද?

පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ හොඳ වට පිටාවක් ගොඩනැගිලා තිබුණා. ඒ නිසා තමයි ක්‍රම ක්‍රමයෙන් ඉහළට ආපු ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගුණේ. අද අපට අන්තර්ජාතිකව ලැබෙන වරප්‍රසාද සියල්ලම ලැබෙන්න හේතු වුණේ.

ඒ නිසා පාසල් ක්‍රිකට් තවාන එහෙම නැත්නම් පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන බලධාරීන් මීට වඩා අවධානයක් යොමු කරන්න ඕනෑ. ක්‍රීඩා සමාජවලට වඩා ක්‍රිකට් ගැන හිතනවා නම් පාසල් ක්‍රිකට් ගැන මීට වඩා අවධානය යොමු කරන්න ඕනෑ. අද ඡන්ද ගැන හිතලා තමයි ක්‍රීඩා සමාජවලට මේ තරම් පාලකයන් අවධානය යොමු කරන්නේ.

මේ ක්‍රීඩා සමාජවලට වඩා පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවුරුදු 15 – 16 – 17 වෙන කොට ක්‍රීඩා කරන්න පුළුවන් මට්ටමක දියුණුවක් තියෙන්න ඕනෑ. මූලික දේවල් හරියට හදා ගන්න ඕනෑ. ඒ නිසා අපි ඇත්තටම කතා කරන්න ඕනෑ. අර වයස් කාණ්ඩවල හරියට හදා ගන්න බැරි වුණොත් ඊට පස්සේ මොන මට්ටමේ හදන්න ගියත් හරි යන්නේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායමට එනකොට ක්‍රීඩකයකුගේ තාක්ෂණය හදන්න වෙනවා නම් පාසල් මට්ටමේ දී මොනවාද හදලා තියෙන්නේ. ඒ සඳහා දායකත්වය දෙන පාසල් මට්ටමේ පුහුණුකරුවන්ට යම් ප්‍රතිලාභයක් ලැබෙන්න ඕනෑ.

 

ඔබ කියන දේ තව ටිකක් පැහැදිලි කළොත්?

පාසල් මට්ටමේ අද හැම පුහුණුකරුවකුගේ ම ලොකුම ටාගට් එක වෙලා තියෙන්නේ තරගාවලියක් හෝ තරගාවලි ජය ගැනීම විතරයි. ඒත් ඔවුන්ගෙන් වෙන්න ඕනෑ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කරන්නේ කොහොමද කියන එකයි.

අද දුෂ්කර පළාත්වල ඉන්න ක්‍රීඩකයන්ට තියෙන අවස්ථා අඩුයි. දිනේෂ් චන්දිමාල් ගන්න. චන්දිමාල් එන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්. ධර්මාශෝක විද්‍යාලයෙන් ආනන්ද විද්‍යාලයට ඇවිත් තමයි ජාතික කණ්ඩායමට එන්නේ. එහෙම නම් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට යුතුකමක් තියෙනවා මේ ක්‍රීඩකයාව හදාගෙන ඉදිරියට ගෙනත් ජාතික කණ්ඩායම දක්වා ගෙනාපු ඉස්කෝල දෙකට යම් මුදල් ප්‍රමාණයක් සමසමව දෙන්න.

ඊට අමතරව දිනේෂ්ව 15 න් පහළ පුහුණු කළ පුහුණුකරුවාට වගේ ම ආනන්දයේ පුහුණුකරුවාට මාස හයකවත් ප්‍රසාද දීමනාවක් දෙන්න. ඒ පාඩම අනිත් පාසල්වලට යනවා. එතකොට ඔවුන් උනන්දු වෙන්නේ නැද්ද ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් බිහි කරන්න‍. මේ උනන්දුව තමයි ඇති කරන්න ඕනෑ‍. එහෙම නැතුව ඡන්දය දිනලා පාටි දාලා බයිලා කියලා ක්‍රිකට් ගොඩ ගන්න බෑ.

අපි ක්‍රිකට් තවාන්වලට වියදම් කරන්න ඕනෑ. ඒ වගේ ම දිස්ත්‍රික්ක පළාත් වශයෙන් අරගෙන අඩු මුදලකට පහසුකම් දෙන්න ඕනෑ. අපේ දියුණුව තියෙන්නේ එතැනයි. මේ දේවල් කරන්නේ නැතුව අපට ඉදිරියට යන්න බෑ. අපි මුලින් ම කල්පනා කරන්න ඕනෑ ක්‍රීඩකයන් බිහි වෙන්නේ කොහෙන්ද කියලා.

 

මේ දේවල් කරන්න අපට ක්‍රීඩා සමාජ අතිවිශාල ගණනක් ඕනැද?

අද ක්‍රීඩා සමාජ 24 ක් තියෙනවා. හරියට 15 ක් හොයාගන්න බෑ. අපේ කාලයේ ක්‍රීඩා සමාජ 8 යි තිබුණේ. ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සියයට අසූවක් විතර මේ ක්‍රීඩා සමාජ 8 හරහා ජාතික තලයට එනවා. අද ඔක්කොම හිතන්නේ ක්‍රීඩා සමාජ පළමු පෙළ තරග අටක් ගහලා සහතිකයක් ගත්තාම එංගලන්ත ප්‍රාන්ත ක්‍රීඩා කරන්න පුළුවනි.

මේ ක්‍රමයෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු ‍කරන්න බ‍ෑ. ජාතික කණ්ඩායම ශක්තිමත් කරන්න නම් ක්‍රීඩා සමාජ 8 නැත්නම් 10 නියෝජනය කරන ක්‍රීඩකයන් වෙන්න ඕනෑ. එතැන තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන පදනම තියෙන්නේ. ඒ පදනම එතැනින් ලැබෙන්නේ නැත්නම් වැඩක් නෑ.

 

මෙහෙම දේවල් වෙන්නේ ඇයි?

මොන දේකට මේ වගේ දේවල් වෙනවාද කියලා හිතාගන්න තමයි බැරි‍. හැබැයි එකම දේ තමයි මේ දේවල් හැදෙන්න ඕනෑ නම් කැබිනට් පත්‍රිකාවක් එන්න ඕනෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද සංඛ්‍යාව ගැන එහි අනිවාර්යයෙන් ම ඇතුළත් වෙන්න ඕනෑ.

දෙවැනි කරුණ තමයි අපේ ක්‍රීඩා නීතිය සම්පූර්ණ වෙන්න ඕනෑ. කණ්ඩායමක් තේරුවට පස්සේ අනුමැතිය සඳහා ඇමැතිවරයාට යවන්න වුවමනා නෑ. ඔය දෙක අනිවාර්යයෙන් ම සිද්ධ වෙන්න ඕනෑ. තව හුඟක් දේවල් හැදෙන්න ඕනෑ. මේවා කතා කරන්න ගිහින් කොහෙන් කෙළවර වෙයි ද කියන එක තමයි හිතාගන්න බැරි. අඩුම තරමේ ව්‍යවස්ථාව වෙනස් වෙනවා නම්, ක්‍රීඩා නීතිය වෙනස් වෙනවා නම් එතැන තමයි මේ ගමනේ ආරම්භය වෙන්නේ. මේ දේ වෙනස් කරන්න ඕනෑ කියන මතයේ ක්‍රීඩා ඇමැති ඉන්නවා නම් මොවුන්ව ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා ඉන්න ඕනෑ. ක්‍රීඩා අමාත්‍යවරයාට මේ දේවල් කරන්න විශාල ශක්තියක් ඕනෑ කරනවා. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තරුණ කඩිසර කෙනෙක්. එතුමාට මේ දේ කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ දේ කරන්න කාලය ඇතිවෙයිද කියන ප්‍රශ්නය නම් තියෙනවා.

 

ආසියානු‍ ක්‍රිකට් සම්මේලනයේ වැඩ කරලා ලබාගත්ත අත්දැකීම් මොනවාද?

ආසියානු ක්‍රිකට් සම්මේලන සංවර්ධන කළමනාකාර තනතුර දැරුවේ. කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ. එතැන දී නේපාලය, ඇෆ්ගනිස්තානය වගේ රටවල් ක්‍රිකට්වල යම් යම් දියුණුවක් ලැබුවේ ඒ කාලයේ දී තමයි. මට ලැබුණු පහසුකම් නිසා නිදහසේ වැඩ කරන්න ලැබුණා.

ඒ වාගේ තැනක හිටපු මගෙන් අද කිසිම වැඩක් ගන්න රටට වුවමනාවක් නෑ. මට අවස්ථා තුනක් විතර හම්බ වුණා. මට මුලින් ම ගන්න කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක තනතුර. මේ තනතුර සම්බන්ධයෙන් සියලු දේ කතා බහ කරලා, එනකොට වයස වැඩියි කිව්වා. එතකොට මම ඒ.සී.සී. එකේ හිටියේ. මම ඒ.සී.සී. එකට ගියාම ඔවුන්ට ඒ.සී.සී. එකට අවුරුදු තුනක කාලයක් ඕනෑ. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඕනෑ අවුරුද්දයි. මම ඉතින් අවුරුද්දේ වැඩේට පයින් ගහලා අවුරුදු තුනේ වැඩේට ගියා. අපේ දේශපාලන හිතවත්කම්, පස්සෙන් යන්න ඕනෑ, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම ඉතින් ඕවා පස්සේ යන්නේ මොකටද? කියලා හිතලා ඒ.සී.සී. ආරාධනය බාර ගත්තා.

 

දෙවැනි ආරාධනාව?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය බාර ගන්න කිව්වා. මම හා කියලා මට අවුරුද්ද මතක නෑ. මාර්තු මාසේ 31 කොළඹ එනකොට ඉන්ටර්නෙට් එකේ දැක්කා මං වෙනුවට වෙන කෙනෙක් පත් කරලා තියෙනවා.

 

මේ වගේ දේවලින් පෙනෙන්නේ කිසිම ස්ථාවර භාවයක් නෑ කියන එක නේද?

ඔව්, කිසිම ස්ථාවර භාවයක් කිසිම තැනක නෑ. පාලක මණ්ඩලයේ කවුරු හිටියත් මට ප්‍රශ්නයක් නෑ. මම වැඩ කරන්න කැමැතියි. මගේ දැනීම තියෙන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන්. පල්ලේකැලේ ක්‍රීඩාංගණය ඔය කවුරු මොනවා කිව්වත් ඔය ක්‍රීඩාංගණය හදන්න මූලිකත්වය ගත්තේ මම. අන්තර්ජාතික තරග කොහොම වුණත් අපේ රටේ පළමු පෙළ තරග පවත්වන්න තමයි ඔය ක්‍රීඩාංගණය හැදුවේ. ඒකේ ඉතිහාසය ගත්තොත් ගොඩක් දේවල් තියෙනවා කියන්න. ඒත් අදටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මට ආරාධනාවක් නෑ. පල්ලේකැලේ ක්‍රීඩාංගණයට යන්න මේක හදන්න මූලිකත්වය ගත්තේ මම. ඕක තමයි අපේ රටේ තත්ත්වය. මට හිතෙන විදියට බන්දුල වර්ණපුර කියන මනුෂයා කොමිස් නැතුව, කාටවත් යටත් වෙන්නේ නැතුව, වැඩ කරනවාට කවුරුත් කැමැති නෑ කියන එකනේ මේ දේවලින් කියන්නේ. මම මේ ජීවිතයේ ලබා ගත්ත හැම දෙයක් ම ලබා ගත්තේ ක්‍රිකට් නිසා.‍

ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් නිසා, නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් නිසා. මම මේවාට සේවය කරන්නේ නැත්නම් දායකත්වය දෙන්නේ නැත්නම් ඒක මගේ දුර්වලතාවක්. ‍අඩු පාඩුවක්.‍ හැබැයි එහෙම කියලා මම කිසිම කෙනෙකුට යටත් වෙන්න පහත් වෙන්න කැමැති නෑ‍. වර්ණපුර කියන නමට විශේෂ සැලකිලි එපා. හැබැයි සුදුසුකම් තියෙනවා නම් ඒ අවස්ථාව දෙන්න වැඩ කරන්න එපා.

ලෑස්තියි. මාත් එක්ක වැඩ කරනවා නම් කෙළින් වැඩ කරන්න. කොමිස් බෑ. මාත් එක්ක වැඩ කරන්න හුඟක් අයට බෑ.

 

1979 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ ඔ‍බේ නායකත්වය යටතේ. කොහොමද ඒ මතකය?

අද අපේ ක්‍රිකට් වගේ තමයි 1979 ඉන්දියා ටීම් එකෙත් ස්ථාවරත්වයක් තිබුණේ නෑ. නායකත්වය වෙනුවෙන්, ක්‍රීඩකයන් වෙනුවෙන් ඔවුන්ටත් ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒක තමයි අපට වාසියට තිබුණේ. ඒ ටීම් එක දිහා බලන කොට ප්‍රබල ක්‍රීඩකයන් රැසක්ම හිටියා. හැබැයි නායකත්වයේ ප්‍රශ්නයක් තිබුණ‍ා. අපට ඒ වාසිය ලබාගෙන තරගය ජය ගන්න පුළුවන් වුණා.

ඔවුන්ගේ ප්‍රශ්නයක් මතු වුණු නිසා තමයි ඉන්දියාවට අවාසි වුණේ. අද අ‍පේ ටීම් එක ගත්තොත් නෝනලාව සම්බන්ධ වෙනවා. නායකත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. හැම කෙනෙකුගේ ම ඔළුව අවුල් වුණාම හැම දෙයක් අවුල් වෙනවා. ඔළුව කෙළින් තියෙන කොට අනෙක් අයවත් හරියට හසුරුවා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ ම හොඳ විනයක් තියෙන්න ඕනෑ. ඒ දේවල් නැති වුණාම හැම දෙයක් ම කඩා ගෙන වැටෙනවා.

අපේ පුහුණුකරුවන්ට ඒ ගිවිසුමෙන් ඉවත් වෙන්න, ඉවත් කරන්න ක්‍රමයක් නෑ. එයම 2020 දක්වා ගෙන යන්න අපි ඒ ගිවිසුමෙන් ම බැඳිලා ඉන්නවා. කවුද ? මොන ලෝකයේ ද එහෙම ගිවිසුම් හදන්නේ. කවුද මේ ගිවිසුම හැදුවේ. ගිවිසුමක් කියන්නේ දෙපැත්තේම කාට හෝ අවාසියක් අඩුපාඩුවක් වෙනවා නම් ඉවත් කිරීමේ හා ඉවත් වීමේ බලය තියෙන දෙයක්. අද එහෙම එකක් නෑ.

 

අද පරාජයක දී අඩුම තරමේ කරුණු දැක්වීමක් කරන්නේ නෑ.

ඔව්, පරාජය වෙන කොට පුහුණුකරු, නායකයා. වගකිව යුතු අය ඉදිරියට ඇවිත් කියන්න ඕනෑ. අද එහෙම දෙයක් නෑ. අපට අඩුපාඩු තියෙනවා. මේවා හදා ගන්න ක්‍රම‍වේදයක් තියෙන්න ඕනෑ. ඒ හරහා මේ දේවල් හදා ගන්නවා කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනෑ.

අපේ රටේ ප්‍රේක්ෂකයන් කියන්නේ ලොකු දෙයක්. ඔවුන් ඉන්දියාවේ වගේ නෙවෙයි. අද අපි මාකට් එකට ගියත් ජනතාව අහන්නේ ක්‍රිකට් ගැන මොනවාද කියන්නේ කියලයි. අපිට දෙන්න උත්තර නෑ. ඒක අදාළ නායකයා - පුහුණුකරු සහ අදාළ අය ඇවිත් කියන්න ඕ‍නැ.මේ අද කිසිම දෙයක් කියන්නේ නෑ. තමන්ගෙන් වරදක් වුණා නම් ඇවිත් කියන්න ඕනෑ.

 

හැබැයි අද ඔවුන්ට ජනතාව ඉදිරියට ඇවිත් ජනතාවගෙන් සහ ජාතියෙන් සමාව ඉල්ලන්නේ?

ඔව්, බීලා ඇවිත් වාහන අනතුරු සිදු කරලා අද ජනතාවගෙන් සහ ජාතියෙන් සමාව ඉල්ලන්න වෙලා තියෙන්නේ. ඇත්තටම කනගාටුයි මේ වගේ දේවල් අහන්න දකින්න ලැබීමත්.

එදා ක්‍රිකට් කියන්නේ අපේම ක්‍රීඩාවක් විදියට තමයි හදුනා ගත්තේ. අද එහෙම දෙයක් නෑ. බොහෝම කලකිරීමෙන් කතා කරන ක්‍රිකට් ක්‍රීඩාවක්. මෙහෙම කළ කිරීමෙන් කතා කරපු අතීතයක් තිබුණේ නෑ. තිබුණෙත් එකම දෙයයි. ඒ 1983 තහනම් දකුණු අප්‍රිකානු සංචාරය විතරයි. හැම කෙනෙක් ම ඇහුව්වේ ඇයි එහෙම ගමනක් ගියේ කියලයි. ගිය කාරණා සම්බන්ධයෙන් කනගාටු වෙනවා. ඒ හැර වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ. ඒක වෙනම කතාවක්.

 

ඒකත් පාවාදීපු අය හිටියා?

ඔව්. ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක පුද්ගලයෙක් හිටියා එයා තමයි හැම දෙයක්ම තීරණය කළේ. අද වෙන්නෙත් ඒ දේම තමයි. අද හැම දෙයක්ම පාලනය කරන්නේ කවුද? ඒ වගේම තමයි එදත් තනි පුද්ගලයකු තමයි එහෙම කළේ. ඔය මම කියන දැන් පුද්ගලයා අර එදා තනි පාලනය ගෙන ගිය පුද්ගලයාට පයින් ගහලත් තියෙනවා. පස්සේ කාලයේ දෙන්නා එකතු වෙලා වැඩ කරලත් තියෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ තනි පුද්ගලයකු තනි කණ්ඩායමකට අයිති දෙයක් නෙවෙයි.

මේ අපේ ජාතියට - රටට අයිති දෙයක්. සමහර අවස්ථාවල ශ්‍රී ලංකා රජයට වඩා ක්‍රිකට්වලට මුදල් ලැබෙනවා. මේ මුදල් කොහේටද යන්නේ කියන එක ප්‍රශ්නයක්නේ. ක්‍රිකට්වල දියුණුවට ද, පුද්ගලයන්ගේ දියුණුවට ද, තමන්ගේ අයව ආරක්ෂා කර ගන්නද කියන එක හොයලා බැලුවොත් තේරෙයි. දැන් ළඟ දී විගණන වාර්තාවක් එනවා කියලා තියෙනවා. අපි බලමු මොනවද වාර්තාවේ කියන්නේ කියලා. අගමැතිතුමාට, ජනාධිපතිතුමාට සහ ක්‍රීඩා අමාත්‍යතුමාට මේ වෙනස කරන්න ඕනෑකමක් තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන්. එහෙම නැතුව මේ දේ කවදාවත් වෙනස් කරන්න බෑ. අපට නිදහසේ වැඩක් කරන්න අවස්ථාව දෙනවා නම් ඒ දේවල් කරලා දෙන්න පුළුවන්.

 

ඔබ කණ්ඩායම ඇතුළේ විනය පවත්වා ගෙන ගියේ කොහොමද ?

ඕනෑම තැනක අංක එකට තියෙන්න ඕනෑ විනයයි. අද අපේ රටේ පාර්ලිමේන්තුව ගනිමු. පාසල් යන ළමයෙක් තියාගෙන ඉන්න පුළුවන් තැනක්ද එතැන? විනය කියන දේ අපේ ගෙවල් වලින්ම හැදෙන්න ඕනෑ දෙයක්. ගෙදර විනය කුණුවෙලා නම් සමාජයට යන්නෙත් ඒ කුණු ගොඩ තමයි. විනය නැතුව කිසිම දෙයක් රටේ කරන්න බෑ. ළඟම සිද්ධිය ගන්න බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ප්‍රධානියා හප්පලා දාලා විනාශ කරගෙන ගියා. විනයක් තියෙන්නේ කොහොමද? අද විනයක් නෑ. පාලනයක් නැති සමාජයක අපි ඉන්නේ.

 

අතීතයේ මේ විදියට ක්‍රිකට් ආයතනයට මුදල් තිබුණද?

නෑ. රොබට් සේනානායක මහත්තයා අවුරුදු 18 ක් ක්‍රිකට්වල හිටියා. කිසි කෙනෙක් ආවේ නෑ. කිසි කෙනෙක් පොර කෑවේ නෑ. ඒ ක්‍රිකට්වල සල්ලි නැති නිසා. මේ ළඟ දී ධ්ඛ්ඛ් එකෙන් කෝටි දෙසිය ගණනක් ලැබු‍ණා. ඒ සල්ලිවලට මොනවද වුණේ කියලා කවුද හොයන්නේ.

පැරැණි ක්‍රිඩකයන් වෙනුවෙන් බෙහෙත් ටිකක් ගන්න ශත පහක් වියදම් කරන්නේ නැති ආයතනයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ. පරණ ක්‍රීඩකයන්ට බෙහෙත් ටිකක් ගන්න සෞඛ්‍ය රක්ෂණයක් හදලා දෙන්න බැරි කමක් නැහැනේ.

96 ට කලින් පවා අපට මේ විදියට මුදල් ලැබුණා . හැබැයි 96න් පස්සේ මෙය අයාලේ ගියා. රොබට් සේනානායක මහත්තයාට පසුව ක්‍රිකට්වල මොනයම් හෝ සේවාවක් කලා නම් ඒ ගාමිණි දිසානායක මහත්තයා විතරයි.

 

අද තරග පාවාදීම චෝදනා පවා එල්ල වෙනවා?

ඔව්, ඔක්කෝම අයාලේ ගියාම මෙහෙම දේවල් තමයි අහන්න දකින්න ලැබෙන්නේ. අද හරියට නිලවරණයක් තියා ගන්න බෑ. 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න කොට සභාපති ආනා පුංචිහේවා මාසෙන් එළියේ. ඊට පස්සේ ආපු අය බලන්න. අගමැතිතුමා - ජනාධිපතිතුමා සහ ක්‍රීඩා ඇමැතිතුමා එකතු වෙලා මේ දේ හරි ගැස්සුවේ නැත්නම් දිගටම යන්න වෙන්නේ මේ පාරේම තමයි.

 

ගාමිණි දිසානායක වගේ මහත්වරු ඉන්න කොටත් දකුණු අප්‍රිකාවේ ගියේ ඇයි?

අබුෆ්‍රවාඩ් වගේ අයත් හිටියනේ. ඒ මනුෂ්‍යයාට ඕනෑ වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල තනි පාලනය අතට ගන්නයි. මේ හැමෝම වැඩ කරන්නේ තමන්ගේ බලය එක තැනකට ගොනු කරගෙන පාලනය ගෙන යන්න තමයි. කළින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයකට ඡන්ද කීයද තිබුණේ. අද නිලවරණයක‍ට ඡන්ද කීයක් තියෙනවා ද. මේවා ගැන පාලකයන් අවධානය යොමු කරන්න ඕනෑ.

ඔබේ අම්මා, තාත්තා?

අම්මා ගෙදර හිටියේ. තාත්තා වෛද්‍යවරයෙක්. රග්බි ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ ශාන්ත පීතර විද්‍යාලයේ අපේ පවුලේ හය දෙනයි. මම පවුලේ හතර වැනියා. ස‍හෝදරයෝ දෙන්නයි, සහෝදරියෝ තුන් දෙනයි. අයියා ආනන්ද විද්‍යාලයට ක්‍රීඩා කළා. ආනන්ද - නාලන්ද කියන්නේ එකම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරපු ඉතිහාසයක් තියෙන්නේ. දෙගොල්ලන්ම ක්‍රීඩා කළේ ආනන්ද පිටියේ. මට ආනන්දයට යන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා නාලන්දයට ගියා. අයියලා දෙන්නම ආනන්ද විද්‍යාලයට ගියේ. අපි තුන් දෙනාම හැමදාම හවස හිටියේ නාලන්ද ක්‍රීඩා පිටියේ අක්කලා ගියේ විශාඛා විද්‍යාලයට.

 

පන්දුවක් වැදිලා ඇති වුණු දරුණු අනතුර මොකක්ද?

1978 ගාල්ලේ බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දී තමයි මේ දේ වුණේ. ගාල්ලේ ක්‍රීඩාංගණයේ අවුලක් තියෙනවා කොටුව පැත්තේ දර්ශන තිරයක් ගහන්න බෑ. ස්ථිර එකක් ගහන්න බැරි නිසා කැන්වර්ස් දෙකතුනක් දාලා තමයි ගහන්නේ. එදා ඉඳලා ඔය ප්‍ර‍ශ්නය තිබුණා. පොඩි දර්ශන පථයක් තිබුණේ. සිල්වෙස්ටර් ක්ලාක්ගේ බෝලයක් මගේ ඔළුවේ වැදිලා එහෙම පිටින් ම විකට් එක උඩ වැටුණා. කොළඹ ගෙනල්ලා මාස 2ක් විතර වෛද්‍ය ප්‍රතිකාර කරලා තමයි නැගිට්ටේ. ඊට පස්සේ තමයි 1979 උපනායකයා විදියට ලෝක කුසලානයට ගියේ. ඒ දවස්වල අපිට මූලික පහසුකම්වත් නැතුව තමයි ක්‍රීඩා කළේ.

 

අද සමහර අය කියනවා අපි මම ක්‍රීඩා කරන්නේ අහවල් පුද්ගලයා වෙනුවෙන් කියලා. ඔබලා ක්‍රීඩා කළේ කාට ද?

අපි ක්‍රීඩා කළේ රටට. ඒත් අද ක්‍රීඩකයෝ කියන්නේ අපි ක්‍රීඩා කරන්නේ පුහුණුකරුවෝ වෙනුවෙන් කියලා. මම 100ක් ගැහුවා කියන්නේ මේ රට වෙනුවෙන් ලබා ගත්ත දේ, අම්මා - තාත්තා - පුහුණුකරු වෙනුවෙන් පූජා කරනවා කියලා කියන්න පුළුවන්නේ.

 

ඔබ දැන් මොනවාද කරන්නේ?

දැන් මම කරන්නේ එල්.එල්.බී. ඉංග්‍රිසියෙන් ගත්තොත් නීතිය හැදෑරීම. සිංහලෙන් ගත්තොත් ළමයින්ගේ ළමයි බලා ගැනීමයි. දැන් මම කරන්නේ ළමයින්ගේ ළමයි බලා ගැනීම.

ජාතික මට්ටමට එන කොට ක්‍රීඩකයකුගේ තාක්ෂණය හදන්න වෙනවා නම් පාසල් මට්ටමේ දී මොනවාද හදලා තියෙන්නේ කියන ප්‍රශ්නය මතු වෙනවා. අඩුම තරමේ ක්‍රීඩා ව්‍යවස්ථාව වෙනස් වෙනවා නම් ක්‍රීඩා නීතිය වෙනස් වෙනවා නම්, එතැන තමයි මේ ගමනේ ආරම්භය වෙන්නේ. මට හිතෙන විදියට බන්දුල වර්ණපුර කියන මනුෂ්‍යයා කොමිස් ගහන්නේ නැතුව, කාටවත් යටත් වෙන්නේ නැතුව, වැඩ කරනවාට කිසිම කෙනෙක් කැමැති නෑ කියන එක තමයි මේ පේන්න තියෙන්නේ.

Comments