සංචාරක ව්‍යාපාරයට ආණ්ඩුවෙන් ඔක්සිජන්... | සිළුමිණ

සංචාරක ව්‍යාපාරයට ආණ්ඩුවෙන් ඔක්සිජන්...

ලොව සංචාරය කිරීමට හොඳම රට ලෙස ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන lonely planet මගින් මීට මාස කීපයකට පෙර නම් කරන ලද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සුන්නද්ධූලී කර දමමින් එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර 2018 වසරේදී මිලියන 2.5 කට ආසන්න සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබුණු අතර 2019 වසරේ ගතවූ මුල් මාස තුන තුළදී පමණක් මෙරටට ආ මුළු සංචාරකයන් ප්‍රමාණය හත් ලක්ෂ හතළිස් දහස් හය සියයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

සංචාරක ව්‍යාපාරය මඟින් මේ වසර ඇතුලත ඇමරිකන් ඩොලර් බිලියන 14කට වැඩි මුදලක් ඉපයීමට සැලසුම් සකස් වී තිබුණු අතර රටට එන්නට ආ සංචාරකයින් නැවත ආපසු හැරී යද්දී හා තවත් සංචාරකයින් සැලසුම් කර තිබුණු සිය ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ගන්ද්දී ඉලක්ක ගත කර තිබුණු ආදායම ඉපැයීම නිසැකවම මේ කර්මාන්තයට අපහසු වනු ඇත.

අඳුරට සාප කරමින් සිටි පමණින් සංචාරකයින් යළි ලංකාවට එන්නේ නැත. පාස්කු ඉරිදා සිදුවීමෙන් කඩාවැටුණු සංචාරක ව්‍යාපාරය යළි කඩිනමින් නගා සිටුවීම සඳහා ‘සහන පැකේජයක්’ ලබාදීමට රජය තීරණය කරන ලද්දේ ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය යන්නට ගිය සංචාරක ව්‍යාපාරයට ඔක්ෂිජන් ලබා දීම සිය වගකීම හා යුතුකම බව ඔවුන් වටහා ගත් නිසාය.

ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ලොකු කුඩා සියලු ව්‍යාපාරිකයින්ට සහන රැසක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර මෙතෙක් සංචාරක ව්‍යාපාරයෙන් අයකළ 15%ක වැට් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි 5% දක්වා අඩු කිරීමට කටයුතු යොදා තිබීම ඒ සහන පැකේජය තුළ ඇතුළත් ප්‍රධානතම සහනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

මීට අමතරව සියලු සංචාරක ව්‍යාපාරිකයින් සදහා 2019 මාර්තු මස 31 වැනිදින සිට 2020 වසරේ අප්‍රේල් මාසය දක්වා වසරක කාලයක් යනතුරු බැංකු ණය නොගෙවීමට සහන කාලයක් ලබාදීමටද තීරණය වී තිබේ. එපමණක් නොව සංචාරක ව්‍යාපාරයන්හි කාරක ප්‍රාග්ධනය මත එම ව්‍යාපාරයන් යළි ගොඩ නගා ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ සියලු දේශීය වාණිජ බැංකු හරහා අමතර ණය මුදල් ලබාදීමටත් එම ණය සඳහා 75%ක පොලී සහනාධාරයක්ද ලබා දෙමින් 3.4%ක සහන පොලියක් පමණක් අයකිරීමටත් නියමිත බවද පැවසේ. මීට අමතරව එම ණය ආපසු ගෙවීම සදහා වසර දෙකක සහන කාලයක්ද ලබා දී තිබීම විශේෂත්වයකි.

මේ අතර ගෙවී ගිය සතිය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වතාවක් මෙරට තුළ සිටින තානාපති ප්‍රජාව හමු වූ අතර ගත වූ කාලය තුළ මෙරට සංචාරක ව්‍යාපාරය අත් කර ගෙන සිටි ශීඝ්‍ර වර්ධනය පිළිබදව ඔවුන්ගේ අවධානය යොමු කරමින් මෙරට සංචාරක ව්‍යාපාරය යළි ගොඩ නැගීම සදහා සහය ලබා දෙන්නැයිද ඉල්ලා සිටියේය. මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර තම රජය මගින් දැනටමත් ගෙන ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා තානාපති ප්‍රජාවට පෙන්වා දුන් අතර එම හමු වීමට සහභාගී වී සිටි තානාපතිවරු රැසක් ජනාධිපතිතුමාගේ ඉල්ලීමට සුබදායී ප්‍රතිචාර දක්වා තිබුණු බව වාර්තා විය.

ශ්‍රී ලංකා රජයට මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අදාළ ප්‍රචාරක කටයුතු සිය රටවලදී සිදු කිරීමට අවශ්‍ය සියළු පහසුකම් ලබා දීමට ද එම තානාපතිවරු එකගත්වය පළ කර තිබේ.

මේ අතර මෙම ප්‍රහාරය හමුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රයට එල්ල වන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි ලෙස අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇති අතර මෙරට සංචාරක ව්‍යාපාරය ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා ලෙස ද වගකිව යුතු සෑම අංශයක් වෙතම උපදෙස් පවා ලබා දී ඇත.

බෝම්බ පිපිරීම්වලින් පසු මෙරට සංචාරක ව්‍යාපාරයට පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වුණු බව විෂය බාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉකුත්දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ අතර මෙම තත්ත්වය හමුවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ සියලු තරාතිරම් හී ආයතන හා පුද්ගලයන්ගේ අදහස් හා යෝජනාවලටද සවන් දෙමින් මෙම ව්‍යාපාරය නැවත වර්ධනීය තත්ත්වයක් වෙත ඔසවා තැබීම සදහා වන ක්‍රියා මාර්ග ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය හා ප්‍රවර්ධන කාර්යාංශය මගින් ගන්නා ඇති බවටද ඔහු විසින් එහිදී අවධාරණය කරන්නට යෙදිණි.

අදහස්