මගේ හැන්ද හැම සේවකයාටම එකයි | සිළුමිණ

මගේ හැන්ද හැම සේවකයාටම එකයි

අලෙවිකරණය සහ මූල්‍ය කළමනාකරණය විනා, රක්ෂණයේ කිසිවක් හෝ කිසිවෙක් නොදැන ක්ෂේත්‍රයට පැමිණි ඔහු දිනෙක රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් කළේය; ඒ නිසාම, ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීම් රැසක් එක්කළ දැවැන්තයකු බවට පත්වූයේය. වුවමනාව, උනන්දුව සහ කැපවීම තුළ ඔහු ජීවිතයට ළඟා කරගත් දේ අපමණය; සමාජයට දුන් දේද එපමණය. මෙරට සහ ආසියාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ඔහු කළ කී දෑ මෙන්ම ඔහුගේ ජීවිතය, අප කියැවිය යුතු ඒ නිසාය.

අජිත් ගුණවර්ධන කියන්නෙ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්...’ මේ හැඳින්වීම ගැන මොකද හිතන්නෙ...

දැවැන්තකම ගැන මං හිතන්නෙ නැහැ. ඒත් රක්ෂණ ක්ෂේත්‍රයට නව මුහුණුවරක් දුන්නු කෙනෙක්ය කියන හැඳින්වීමට මං කැමැතියි.

මොකක්ද ඔබ ක්ෂේත්‍රයට එක් කළ නව මුහුණුවර...

ඒක මම මෙහෙම කියන්නම්. We have changed the Landscape of Insurance. ඒ කියන්නේ අපි රක්ෂණ ක්ෂේත්‍රයේ සම්ප්‍රදාය බින්දා. විප්ලවීය VIP සංකල්පය හඳුන්වා දුන්නා. ලෝකයේ සියලුම රක්ෂණ සමාගම් නියෝජනය කරන ආසියාවේ, ‘වඩාත් නව්‍ය’ (most innovative) රක්ෂණ සමාගම වෙන්න අපිට පුළුවන් වුණේ ඒ, On the spot සංකල්පය නිසා. ඒ දේ ලංකාවට විතරක් නෙවෙයි, ආසියාවටම අලුත් දෙයක් වුණා.

මේ ඔබේ තනි සිතිවිල්ලක්ද...

ඔව්. තනියම මම හිතපු දෙයක්. හැබැයි මගේ කණ්ඩායමත් එක්ක වැඩි දියුණු කොට ක්‍රියාත්මක කළ දෙයක්. රක්ෂණයේ සාමාන්‍ය ක්‍රමය තමයි, වාහනයක් හැපුණාම අලාභය ගන්න මාස හතරක් විතර යන එක. ඒ දිගු කාලීන ක්‍රමය තමයි, එක දවසකදී එතැනදීම වන්දි දෙන තැනට ගෙනාවේ. මේක ක්ෂේත්‍රයේ විප්ලවයක්. රක්ෂණ ක්ෂේත්‍රය හා බැඳුණු ජනතාව කවදාවත් නුදුටු දෙයක්.

On the spot ක්‍රියාත්මක වෙන්නෙ සෙලින්කෝ VIP නමින්. මොකක්ද මේ VIP....

අපි ළඟට එන, හැම කෙනාම අපිට වැදගත්. අපිට විශේෂයි. Very Important Persons කියන හැඳින්වීම පිටතට පෙනුණත්, මේ අකුරු තුනෙන් කියැවෙන්නේ, Vehicle Insurance Policy කියන අර්ථය. අපි එය හදවතට දැනෙන ලෙස VIP කළා. කොහොම වුණත් දැන් මේ අකුරු තුනෙන්, ඔය ඉහත කාරණා දෙකම කියැවෙනවා.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

ජේ.එල්. මොරිසන්ස් සමාගමේ සේල්ස් රෙප් කෙනෙක්. ‘තිස්සෙම වද දෙන කැස්සට - රුස්සන වැල්මිලෙක්ස්’ ඒ තමයි මං විකුණපු ජනප්‍රියම ඖෂධය. ඒ විතරක් නෙවෙයි, ග්‍රයිෆ්මික්ස්චර්, ලැක්ටොකැලමයින්, පොලියුසෝල්, පැරසිටමෝල්, ටූත් පේස්ට්, ටූත් බ්‍රෂර්ස්... මේ තමයි, මං ලංකාව පුරා විකුණපු භාණ්ඩ. සේල්ස් රෙප් කෙනෙක් විඳින කටුක අත්දැකීම් සියල්ල මං ලැබුවේ මේ රස්සාවෙන්. හැබැයි ඒ තමයි. මං කරපු සුන්දරම රස්සාවත්.

මොකක්ද ඒ තරමට තිබුණු සුන්දරකම...

මහ පාරේ කඩයක් කඩයක් ගානෙ ගිහින් බඩු විකුණන එක ලේසි දෙයක් නෙවෙයි. ඒත් මහපාරෙදි අපි මොන තරම් දේ දකිනවද... මොන තරම් මිනිස්සු මුණගැහෙනවාද, මොන තරම් මිනිස්සු හඳුනා ගන්නවද... මොන තරම් සිතිවිලි මා තුළම උපදිනවද... මං රස්සාව කළේ මේ සියල්ල විඳිමින්. කොයි තරම් දුෂ්කර වුණත් මං වැඩ කළේ ආසාවෙන්. ආසාවක් නැති කිසිම දෙයක් මං කරන්නෙ නැහැ.

සාර්ථක මිනිසුන් හැමෝම ජීවිතේ කවදා හෝ ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඔබත් එහෙමද...

ඔව්. සේල්ස් ජීවිතයේදී අනන්තවත්. ‘බඩු තියෙනවා... නෑ අද ඕනෙ නැහැ... දැන් බැහැ, සල්ලි නැහැ...’ මුදලාලිලා ඔය වගේ කියපු අවස්ථා ඕනෙ තරම්. මට ප්‍රශ්නයක් නැහැ. මං ආයෙ දවසක යනවා. මොන තරම් ප්‍රතික්ෂේප වුණත් නැවත නැවතත් උත්සාහ කිරීමයි වැදගත්. ප්‍රතික්ෂේප වුණා කියලා, අත්හැරියා නම්, සේල්ස් රෙප් කෙනෙක් කොහොමද මේ වගේ රක්ෂණ සමාගමක මුල් පුටුවකට එන්නේ... මේ වගේ අලුත් සංකල්ප බිහි කරන්නේ. ඕනෙම දෙයක් මට අත්දැකීමක්. සියල්ල අතරින් ඉලක්කය වෙත යන එක විතරයි මට වැදගත්.

ඒ සේල්ස් ජීවිතයේ මොනතරම් කාලයක් හිටියද...

අවුරුදු දෙකයි. ඊළඟට මං ගියේ රෝලන්ඩ්ස් සමාගමට. දිස්ත්‍රික් සේල්ස් ඔෆිසර්. එතැන හිටියේ මාස එකොළහයි. ඊළඟට සෙලින්කෝ සමූහයට අයත් ද ෆිනෑන්ස් පොලොන්න‍රුව ශාඛාවේ, සේල්ස් මැනේජර් විදියට සෙලින්කෝ සමාගමට එනවා. එතකොට මට වයස 21යි. පියවර ගණනාවක් පහු කරලා මේ තැනට මං ආවේ බොහොම මහන්සි, දිගු ගමනක් ඇවිදලා. ඒ ගමනට දැන් අවුරුදු හතළිහකුත් ඉක්ම ගිහින්. මගේ ජීවිතයේ හොඳ හරියයි වැඩිහරියයි දෙකම ගත කළේ මේ ආයතනයේ,

අවුරුදු හතළිහක් එකම ආයතනයක. එපා වුණේ නැද්ද ඔබට...

පොලොන්නරුවෙ සේල්ස් මැනේජර් විදියට සෙලින්කෝ සමාගමට බැඳුණාට මට ඉන්න තිබුණේ අව්වට රත්වෙන, කැකෑරෙන ටකරන් වහලයක් තිබෙන පොඩි කාර්යාලයක. මං නැවැතුණෙත් එතනමයි. රෑට මදුරුවෝ, උදේට කෝඳුරුවෝ. දවස ගෙවා ගන්නේ අපහසුතා ගොඩක් මැද්දේ. ගොවි ගම්මානවල මිනිසුන්ට ණය දෙන සහ ඔවුන්ගේ තැන්පතු ගන්නා මූල්‍ය සමාගමක් විදියට ඉතාම දුෂ්කර කටයුත්තක් මට තිබුණේ. ගොවීන් අද්දවා ගැනීම ලෙහෙසි වුණේ නැහැ. මං ඔවුන්ගේ කෙනෙක් ව‍ුණා. හවසට මාත් නාන්න ගියේ ඔවුන් නාන ඇනිකට් එකට. නාන ගමන් ගමේ මිනිස්සු එක්ක සුහද වුණා. මං කෑවේ, බත් අම්මා කෙනෙකුගෙන්. එතැනදීත් මට ඕනෙ තරම් ගම්මු මුණ ගැහුණා. ඔවුන්ගේම කෙනෙක් වෙලා මේ හිතවත්කම ගොඩ නඟා ගැනීම මතයි, මට ගොවීන් ගෙන්වා ගත්තේ . ශාඛාව දියුණු කළේ. සමාගමේ අනෙක් ශාඛාවලට සාපේක්ෂව පාඩු ලබන, ඇදගෙන ගිය ශාඛාවක් විදියට තිබුණු පොලොන්නරුව, මං ලාබ ලබන ශාඛාවක් බවට පත් කළා. දුෂ්කරම කාල පරිච්ඡේදයක් වුණත් මං අත්හැරියේ නැහැ. මට තියෙන්නේ එහෙම පටන් ගැන්මක්. එහෙම ගෙවුණු අවුරුදු හතළිහම මං වැඩ කළේ කැමැත්තෙන්. එපා වුණා නම් මං මෙතන රැ‍ඳෙන්නෙත් නැහැ.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද....

නාහෙට නාහන... රණ්ඩු තුන හතරකටවත් පැටලෙන... ඕන දේකට ඉදිරිපත් වෙන... මට හොඳයි කියලා හිතුණු දේ කරන, හොඳ හිතුවක්කාරයෙක්. අන්තිමේ තාත්තා හිතුවා මාව ගෙදර තියා ගන්නවට වැඩිය පිට තියෙන එක හොඳයි කියලා. අන්තිමේ මට සිද්ධ වුණේ, ඉගෙන ගනිමින් හිටි විද්‍යාර්ථයෙනුත් අස්වෙලා මගේ ගෙදරිනුත් ඈත්වෙලා ගාල්ලේ රිච්මන්ඩ් එකට යන්න. තුනේ පන්තියේ ඉඳලා දහයෙ පන්තිය වෙන කල් මං හිටියෙ රිච්මන්ඩ් විදුහලේ. හැබැයි මං ඕ ලෙවල් කළේ කිංස්වුඩ් එකේ.

ඇයි එකපාරටම කිංස්වුඩ් ගියේ....

දහයේ පන්තියේදී මට රිච්මන්ඩ් එක ඇති වුණා. ක්‍රීඩා කරලා තිබුණු නිසා ඕනෙ ඉස්කෝලෙකට මාව ගන්න බව මං දැනගෙන හිටියා. මං තනියම උත්සාහ කරපු හැම ඉස්කෝලයක්ම මාව ගන්න කැමැතිත් වුණා. මං වේස්ලි එක තෝරා ගත්තා. වෙස්ලි එකට ගිහිනුයි තාත්තාට දැන්නුවේ. මං ඉන්න ඕනෑ එහෙ කියලා, ඒ පාර තාත්තා ඇවිත් මාව අස් කරගෙන නුවර අරන් ගිහින් කිංස්වුඩ් දැම්මා. ඉතින් කිංස්වුඩ් ගියේ මට ඕනෙකමට නෙවෙයි. තාත්තාගෙ ඕනෙකමට. ඕනෙ බරපතළ තීරණයක් තනියම ගන්න, එදත් මං බය නැහැ. අදත් එහෙමයි.

දරා ගැනීම... අරපිරිමැස්ම කවදා හෝ අත්විඳ තියෙනවද...

නුවර ළමයෙක් ගාල්ලේ තනියම බෝඩ් වෙලා ඉස්කෝලෙ යන කොට මොනවද දරාගන්න වෙන්නෙ නැත්තේ? කෑම් බීම්... ඇඳුම් පැලඳුම්... මිල මුදල්... පාවිච්චි කරන වතුර පවා, ඊට අදාළයි... මට ගෙදර යන්න ලැබුණේ නිවාඩු මාසවල විතරයි. එතකල් මාව බලන්න ගෙදරින් එනේනෙ නැහැ. දුර වැඩි බව මට තේරෙනවා. ඉතින් මමම කියනවා, මාව බලන්න එන්න එපා කියලා. අම්මලව දකින්න නැති එක මට හරි දුකයි. ඒත් මං දන්නවා දුරයි. ඒ නිසා මං දරාගන්නවා. හැබැයි අවුරුදු දහය වෙනකොට මං පුරුදු වුණා. ගාලු ඉඳන් තනියම නුවර යන්න. රිච්මන්ඩ් හිල් එකෙන් රුහුණු කුමාරිට නැගලා මරදානෙන් බැහැලා ආයෙ උඩරට මැණිකේට නගිනවා. නුවරින් බැහැලා මගේ පොඩි ට්‍රන්කා පෙට්ටියත් උස්සාගෙන ස්ටේෂමෙන් එළියට එනවා. නුවරින් තමයි තාත්තා මාව ගන්න එන්නේ. නිවාඩුව ඉවර වෙලා මං ආපහු ගාලු ගියෙත් ඔය විදියටමයි. අවුරුදු දහයක් නැති පොඩි කොල්ලෙක් හැදුණේ වැඩුණේ පදං වුණේ මේ අත්දැකීම් එක්ක. හුඟක් දේවල්වලට ජීවිතේ තනියම මුහුණ දීපු එකම තමයි, අපිව හයිය මිනිස්සු කළේ.

කවුද ඔබට තව හිටියේ...

අයියයි අක්කයි මල්ලිලා දෙන්නයි. මේ හතර දෙනාම ගෙදර ඉදිද්දී මට විතරක් තනියම පිට ඉන්න වුණු ගැන තරහව... දුක... ළමයෙක් හැටියට නොතිබුණාම නෙවෙයි. නමුත් ඒ සියල්ල මං අමතක කළේ රිච්මන්ඩ් එකේ දක්ෂ ක්‍රීඩකයෙක් වෙලා. පස්සෙ කාලෙක කිංස්වුඩ් ගියාමත් මං ඒ ක්‍රීඩා කෞශල්‍ය ඒ විදියටම පවත්වා ගෙන ගියා.

මොනවද ඔබ කරපු ක්‍රීඩා...

12,14, 16 සහ 17න් පහළ ක්‍රිකට් ගැහුවා. 12 සහ 14න් පහළ කැප්ටන් වුණා. අවුරුදු දහතුනේ ඉඳන් හැම වයස් කණ්ඩායමකටම ෆුට්බෝල් ගැහුවා. වයස 12, 14, 16, 18 සහ 20න් පහළ ජාතික සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශුරයා මං. ටේබල් ටෙනිසුත් ඒ වගේ. කොල්ලෙක් වුණොත් මේ හැම අත්දැකීමක්ම ලබන්න ඕනේ. මගේ ජීවිතේ බැලන්ස් කළේ ක්‍රී‍ඩාව. හැබැයි මං විභාග අවුල් කරගත්තෙත් ඕනෑවට වඩා ක්‍රීඩා කරන්න ගිහිල්ලා.

ඒ කියන්නේ...

ක්‍රිකට් ගැහුවා. ඇත්ලටික් කළා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ගැහුවා. ඔය සේරම කරලා මං ඕ - ලෙවල් ෆේල් වුණා. දෙවැනි පාරත් කළා. ඊ‍ට පස්සෙ මට, ඒ ලෙවල් කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. ක්‍රීඩා කරලා තිබුණු නිසා රස්සාවක් හොයා ගන්න ඒ තරම් අමාරු වුණෙත් නැහැ. මං තීරණයකට ආවා. තාත්තාගෙන් උදව් ඇතිව, මං මගේ පළමු රස්සාව හොයා ගත්තා. වයස අවුරුදු 18 යි, මං මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තා.

මවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු වටිනාම දේ මොකක්ද....

ආදරය. ජීවිතයේ සමහර අවස්ථාවල මට ඒ ආදරය තවමත් දැනෙනවා. ගෙදරින් ඈත්වෙලා හැදුණු වැඩුණු නිසාදෝ ඒ ආදරයේ වටිනාකම එදත් මට හරියට දැනුණා. අදටත් මට ඒ ආදරය නොමියෙන මතකයක්.

ආදරය දන්නා මිනිස්සුත් බලය ලැබුණාම වෙනස් වෙනවා. සේවකයන් අරභයාත් ඒ ආදරය දයාව එලෙසමද...

මම මනුෂ්‍යත්වයට ආදරය කරන කෙනෙක්. අපේ හැම සේවකයෙක්මත් ඒ කුලකයට ඇතුළත්. නමුත් බනින වෙලාවට මං බනිනවා. රාජකාරියට ‍මේ කිසිවක් අදාළ නැහැ. හැඟීම්බර වෙලා ආයතනයක් ගෙනියන්න බැහැ.

හුඟක් ආයතනවල ‘බොස්ගෙ සෙට් එකක්’ ඉන්නවා. ඔබටත් එහෙමද....

මෙහෙ සියලුම දෙනා බොස්ගෙ සෙට් එක තමයි. ආයෙ වෙන වෙන සෙට් නැහැ. හැමෝටම බෙදන්නෙ එකම හැන්දකින්. හිතවත්කම අනුව, මගේ හැන්ද වෙනස් වෙන්නෙ නැහැ. නියම නායකයෙක් කවදාවත් නොකළ යුතු දෙයක් ඒක. කිහිප දෙනෙක් ළං කරගෙන 3700 ගණනකට වෙනස් කමක් කරන්න මං කැමැති නැහැ. මගේ න්‍යාය තමයි, හැමෝම වැඩ කරන්න ඕනෙ. වැඩ කරන තරමට තමන්ට ලැබෙනවා. අනික, සේවකයෝ යමක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. නියම නායකයා ඔවුන්ට දිය යුතු දේ දෙනවා. කාගෙවත් බලපෑම් ඔහුට අදාළ නැහැ.

ජීවිතය රිදවපු බරපතළම අත්දැකීම මොකක්ද...

මං බොහොම ආදරයෙන් වැඩ කරපු මගේ සමාගම සෙලින්කෝ, කඩා වැටීම. එවිට මං, සෙලින්කෝ රක්ෂණ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා.

ඒ කඩා වැටීමට ඔබත් වගකිව යුත්තෙක්ද...

කිසි සේත් නැහැ. මගේ ගනුදෙනුව සහ වගකීම තිබුණෙ රක්ෂණ සමාගමට. මං මගේ වගකීම සියයට දාහක් ඉටු කළා. නැත්නම් සියල්ල කඩා වැටෙද්දී, රක්ෂණ සමාගම විතරක් මේ වගේ, ක්ෂේත්‍රයේ මුදුනේ ඉන්නෙ කො‍හොමද... ඒ තමයි හරි නායකත්වය. හරි මග පෙන්වීම. අවංකව වැඩ කිරීම සහ සිය කණ්ඩායම නිසි පරිදි මෙහෙයවීම, නායකත්වය ඔවුන්ට යහපත් පූර්වාදර්ශයක් වීම.

දක්ෂයෙක් වෙලත් ඔබ ඇයි, ඒ වෙනුවෙන් කිසිවක් නොකළේ...

අනුන්ගේ වගකීමක් යටතේ තිබෙන දෙයක් ගැන මං මොනවා කරන්නද. අවශ්‍ය නම්, ඕන කෙනෙකුට තිබුණා අපේ ආදර්ශය ගන්න. ඉල්ලන උදව්වක් දෙනවා විනා මට අදාළ නොවන අනුන්ගේ දේට ඇඟිලි ගහන එක, මගේ විදිය නෙවෙයි.

ඔය කියන විදියට ඔබට සේවකයන් එක්ක තිබෙන්නෙත් ගනුදෙනුවක් ....

නැහැ, ඒක බොහොම ‍ෙළන්ගතු බැඳීමක්. මට අවශ්‍ය ඔවුන්ව වෘත්තිමය සහ ආකල්පවලින් ඉහළ තැනකට ගේන්න. මං ඔවුන් උනන්දු කරවන්නේ නවෝත්පාදන (most Innovative) සඳහා. ඕනෑම ක්ෂේත්‍රයක ඉස්සරහට යන්න නම්, තරගයට මුහුණ දෙන්න නම් නවෝත්පාදන නිෂ්පාදන අත්‍යාවශ්‍යයි.

මොකක්ද ඔබේ Management Style එක.....

මං ටීම් වර්කර් කෙනෙක්. ඒ වගේම, හොඳ ප්ලේයර් කෙනෙක්. මගේ ටීම් එකේ කැප්ටන් වෙලා, මං සෙල්ලම් නොකොළොත් මොකද වෙන්නේ...... කිසි දවසක හොඳ ටීම් එකක් හදන්න බැහැ, නායකයා non play Captain කෙනෙක් වුණොත්. නායකත්වය දෙන ගමන් මාත් ඔවුන් එක්ක වැඩ කරනවා. මගේ කළමනාකරණයේදී අණදීම් නැහැ. තියෙන්නෙ මඟ පෙන්වීම් පමණයි. ඒවා ක්‍රියාත්මක වෙන්නේ, වැඩි ප්‍රතිශතයක් සේවකයන්ගේ දායකත්වය මත.

එපමණද...

නැහැ. මං මගේ ස්ටාෆ් එකට ගරුත්වයෙන් සලකන නායකයෙක්. ඒ ගෞරවය දෙන ගමන් මිත්‍රත්වයෙන් ඉලක්කය කරා යන එකයි, මගේ ක්‍රමය. දොස් පවරන්න අවශ්‍ය තැන එසේ කරන්නත්, ඔසවා තබන්න අවශ්‍ය තැන ඔසවා තබන්නත් මං දෙපාරක් හිතන්නෙ නැහැ. තරහව, වෛරය හිතේ තියාගෙන ඉන්න එක හොඳ නායකයකුගේ ලක්ෂණයක් නෙවෙයි.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක්ද...

මට ඉන්නෙ දුවයි පුතයි. සජනා සහ නෙවංක. නිඹුල්ලු. වයස 22යි. දෙන්නම උසස් අධ්‍යාපනය ලැබුවේ ඕස්ට්‍රේලියාවේ. දුව නම් ලංකාවේ වැඩ කරන්න පටන් අරන්. පුතා ජූනි මාසෙ ලංකාවට එනවා. මගේ දරුවො මට හුඟක් ළඟයි. හොඳ වැටුපකට පිටරට වැඩ කරන්න පුළුවන්කම තිබෙද්දී මගේ කීම අහලා තමයි දෙන්නම ලංකාවේ වැඩ කරන්න එන්නේ.

එතකොට ඔබේ බිරිය...

ක්‍රිෂ්ණි ගුණවර්ධන. වෘත්තීය නිතීඥවරියක්. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් අැය වෘත්තිය අත්හැරියා. ඒ විතරක් නෙවෙයි, මගේ වෘත්තිය ජීවිතයේ අද යම් සාර්ථකත්වයක් තිබෙනවාද, එහි ගෞරවයේ කොටසක් ඇයටත් හිමියි. විවාහ වුණා කියලා මගේ වෘත්තීය ජීවිතයට වැට කඩොලු බාධක නොආවේ, ඈ දීපු මානසික නිදහස නිසා. ඒ නිදහස උපරිමව ලැබුණු නිසයි මං මගේ ආයතනයට පූර්ණ අවධානය දුන්නේ. කැපවුණේ.

කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා...

ඉන්නවා. ඒත් අද මං ක්‍රීඩාව විඳින කෙනෙක් විතරයි. මං ටීවී එකේ හුඟක් රග්බි සහ ක්‍රිකට් මැච් බලනවා. වර්ල්ඩ් ටූනමන්ට් තිබුණොත් ඒවා බලන්න පිටරට යනවා. විශේෂයෙන් වර්ල්ඩ් කප් මැචස්.

ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්