සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ මෙසේ කියති | සිළුමිණ

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබලයෝ මෙසේ කියති

ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථානයක් ලෙස නම් කළ ශ්‍රී ලංකාව වැඩි කාලයක් යන්නට මත්තෙන් සංචාරයට වඩාත් අනතුරුදායක කාලයක් ලෙස නම් කෙරිණි.

මුහුණ දෙන්නට සිදු වූ අනපේක්ෂිත සහ අවාසනාවන්ත තත්ත්වය හමුවේ අප කුමක් කළ යුතුද... යළි නැඟිටීමට අපට ඇති ශක්තිය හැකි ඉක්මනින් ලොවට කිව හැක්කේ කෙසේද... මේ සියල්ලන්ට හොඳම විසඳුම් ඇති ප්‍රායෝගික මිනිසුන් කිහිප දෙනෙකු අපි විමසුවෙමු. ඔවුන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ යෝජනා, අදහස් ලෙස මෙලෙස පෙළ ගස්වමු.

ඉකෝ රේන් ෆොරස්ට් සහ සිට්‍රස් හෝටල් සභාපති, ප්‍රේමා කුරේ යනු, මෙරට හෝටල් ක්ෂේත්‍රයේ තවමත් සක්‍රිය, ජ්‍යෙෂ්ඨයෙක්. නායකත්වයේ දැවැන්තයෙක්. මේ තත්වයෙන් ගොඩ එන්නේ කොහොමද... මේ ඔහුගේ අදහස.

ආරක්ෂක අංශ ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා

අපිට ඉන්නේ දරුණු යුද්ධයක් අවසන් කරපු, ලෝකෙටම ආදර්ශයක් දීපු ශක්තිවන්ත බලවත් හමුදාවක්. ඉතින්, අපි සම්පූර්ණ විශ්වාසය තබා තියෙන්නේ අපේ ෆෝසස් ගැන. ඔවුන්ට මේ දේ කරන්න පුළුවන්. නමුත් නායකත්වය තමයි ලෝකෙට හරි පණිවුඩය දෙන්න ඕනෙ. මේ ව‍ෙග් ප්‍රශ්නවලට මුහුණ දුන් ලෝකෙ අනිත් රටවල් බොහොම ඉක්මනට ඒ තත්වයෙන් ගොඩ ඇවිත් ආපහු තමන්ගෙ තැන හදා ගත්තා. සංචාරක ලෝකෙ අපිට තිබෙන තැනත් යළි ඉක්මනින් ගොඩනඟා ගැනීමයි, වැදගත්.

මේ වෙන කොටත් සංචාරකයන්ට අනතුරු ඇඟවීම්, අවවාද දීපු රටවල් බලාගෙන ඉන්නවා, අපේ රටේ වෙන දේ. අහුවුණ ත්‍රස්තවාදියො නැවත අත්හරිනවා කියන එක ලෝකෙටත් යනවා. එය රටේ ආරක්ෂාව ගැන හොයන අයට යන හොඳ පණිවුඩයක් නෙවෙයි. සංචාර මෙහෙය වන්නන්ට අපි හරි පණිවුඩය යවන්න ඕනේ. මේ බාධාව ඔවුන් ඉවත් කරගන්නේ එවිටයි. මොකද, මේ වෙනකොට ඔවුන් සංචාරකයන්ගේ රක්ෂණාවරණ පවා ඉවත් කරලා. ඉන්ෂුවරන්ස් එකක් නැතිව කවුද අද සංචාරය කරන්නේ.

මේ ප්‍රශ්නය නිසා, තරු හෝටල්වල විශාල සේවක පිරිසට මොකද වෙන්නේ. ඒ පොඩි සේවකයන්ගෙ සර්විස් චාර්ජ් එක නවතිනවා. ඔවුන් බහුතරයක් කුඩා වැටුපක් ලබන අය. සර්විස් චාර්ජ් එක තමයි ඔවුන්ට වටින්නේ. ඔවුන්ගේ ආදායම. මුහුදු වෙරළ ආශ්‍රිත හෝටල්වල තත්ත්වයත් එලෙසමයි. යන්තම් හරි ඔළුව උස්සලා ඉන්නේ, රේන් ෆොරස්ට් වගේ, දේශීය සංචාරකයො ඇලුම් කරන ඇතුළේ පොඩි තැන් විතරයි. මොකද, දැන් සංචාරකයො බලන්නෙ සෙනඟ අඩු ලස්සන තැන්වලට යන්න. නමුත් මුහුද අයින්වල තිබෙන අපේම සිට්‍රස් හෝටල්වලත් සෙනග ඉන‍්නෙ සියයට දහයට අඩු ප්‍රමාණයක්. පිටට නොපෙනුණාට, හෝටල්වලට එළවළු, පලතුරු, මස්, මාළු සැපැයූ ඈත පළාත්වල සැපයුම්කරුවන්ටත් සිදුවෙලා තියෙන්නෙ ඒ වගේම අහිතකර බලපෑමක්.

ඉතින්, සංචාරක ව්‍යාපාරය හා බැඳුණු මේ සියලු දෙනා යළි නැගිටින්න නම්, මේ ISIS ත්‍රස්ත බිය ආයෙ අපේ රටේ නැහැ කියන සහතිකය ආණ්ඩුව රටට සහ ලෝකෙට දිය යුතුයි. එය පිළිගත හැකි ලෙස ඉදිරිපත් කළ යුතුයි.

අපේ රට සංචාරයට සුදුසු තත්වයක තියෙනවා කියන පණිවුඩය එහෙම පිළිගත හැකි විදියට ඉදිරිපත් කළොත් විතරයි අපිට ඉක්මනින් යළි යථා තත්වයට එන්න පුළුවන්. මේ වෙලාවෙවත් අපේ රටේ දේශපාලකයො කෙළින් වැඩ කරන්න ඕනෙ.

ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වීමෙහිලා සෑම අංශයකින් ම ඍජු දායකත්වයක් දක්වන ජෙට්වින්ග්ස් හෝටල් සමූහයේ ප්‍රධානී ශිරෝමාල් කුරේ මහත්මිය.

නිවැරැදි පණිවිඩය එක තැනකින් දෙන්න

“තවමත් අපි ජාත්‍යන්තරයේ ඉන්නෙ ‘Stop Sale’ වෙලා. මෙතෙක් කලක් අපි එක්ක වැඩ කළ සංචාරක මෙහෙයවන්නන් තවම ඉන්නෙ දෙගිඩියාවෙන්. අපේ රට ‘Stop Sale’ නිසා අපේ රටට එහා සංචාරකයන්ගේ ඉන්ෂුවරන්ස් පවා නවතලා. රටවල් 33ක් අපේ රටට සංචාරකයන්ට යන්න එපා කියලා අනතුරු අඟවලා. අපේ වෙරළ තීරය පාළුවට ගිහින්. පොඩි පොඩි ‘විලා’ස් ඇතුළුව හෝටල් තිස් ගණනක් තිබෙන සමාගමක් විදියට අපිටත් මේ තත්වය බරපතළ ලෙස දැනෙනවා. අපේ හෝටල් සේවකයන් අප බලාගත යුතුයි. ඒ වගේම, ටුවරිස්ට් බස්, වෑන්, කාර් දෙසිය ගණනක් නඩත්තු කරන සමාගමක් විදියට ඒවායේ රියැදුරන් පවා අපි නඩත්තු කළ යුතුයි. ක්ෂේත්‍රයේ කඩා වැටීම නිසා මේ අය පාරට වැටෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ. කොයි ආයතනයත් අමාරුවෙන් මේ කාල පරිච්ඡේදයට මුහුණ දී ගෙන ඉන්නෙ, රජයෙන් විශ්වසනීය පණිවුඩයක් ලැබෙන තුරුයි.

එකම දේ, දැන්වත් එක එක අය, වෙන වෙන ම ප්‍රකාශ නිකුත් කරන එක නවතලා ලෝකෙට පිළිගන්න පුළුවන් එක ප්‍රකාශයක් දෙන්න ඕනේ. ජාත්‍යන්තරයට ඒ විශ්වසනීය පණිවුඩය යන්න ඕනේ. අපේ එක ම විශ්වාසය මේ වෙලාවෙ තියෙන්නෙ අපේ රටේ තිබෙන ප්‍රබල හමුදා සේවය ගැන. ඔවුන්ගේ කැපවීමට අපි හුඟක් කෘතවේදි වෙනවා. ඔවුන්ගේ ශක්තියෙන් අපිට මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය සහාය දීලා, මේ වෙලාවෙ රටේ නායකයන් ආරක්ෂාව තහවුරු කිරීමයි කළ යුතු දේ. එහෙම නැතිවුණොත්, යුරෝපය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ ධනවත් රටවලින් ශ්‍රී ලංකාවට එන්න උනන්දුවක් දක්වන විශාල සංචාරකයන් ප්‍රමාණයක් අපිට අහිමිවෙලා යන්න පුළුවන්.

ලෝකෙ කොයි රටක වුණත් මේ දේ වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ඒවට මුහුණ දෙන ආකාරයයි වැදගත්. ඒ වගේම, ආරක්ෂිත උපක්‍රම පිළිබඳවත් මේ වෙලාවෙ සෑම හෝටලයක් ම නැවත සිතිය යුතුයි.

කොහොම වුණත් අවසන් වශයෙන් මට කියන්න තියෙන්නෙ, ඉතිරි හරිය බලාගන්න ක්ෂේත්‍රයේ අපිට පුළුවන්. මොකද, ලෝකෙ වටේම විහිදුණු හොඳ මහජන සම්බන්ධතා ජාලයක් මේ ක්ෂේත්‍රයේ අපිට තිබෙනවා.”

කොළඹ හිල්ටන් හෝටලයේ සාමාන්‍යධිකාරී මනේෂ් ප්‍රනාන්දු මහතා දැක්වූයේ මෙවැනි අදහසක්.

සේවකයන් වෙනුවෙන් කැපවිය යුතුයි

සිද්ධ වෙන්න පුළුවන් ලොකුම හානිය දැන් අපිට වෙලා ඉවරයි. ඒ ගැන කතා කිරීමත් ඵලක් නැහැ. නමුත් මේ තත්වයෙන් ගොඩ එන්න රජය හොඳ සාධනීය පියවරක් තබා තිබෙනවා. ඒ ණය සහ පොලී මූල්‍ය සහනය මේ වෙලාවේ, සංචාරක ව්‍යාපාරයේ නියැළෙන ව්‍යාපාරවලට කඩා නොවැටී ඉන්න ලොකු ශක්තියක්.

ඉතින් දැන් අපි අපේ කොටසත් ආරම්භ කළ යුතුයි. කෙටි කාලීන මූලික පියවර රජය තැබුවාට අපිටත් එහි කොටසක් තිබෙනවා. මේ ව්‍යාපාරයේ නියැළී ඉන්න අති විශාල හෝටල් සේවකයන්ගේ රස්සා අනතුරේ . හොඳ ස්ටාෆ් එකක් නැත්නම් මොන සංචාරක ව්‍යාපාරයක් වත් පවතින්නෙ නැහැ. ඒ නිසා මේ වේලාවේ අපිට ඉදිරි මාස දෙක තුන, ඒ කියන්නේ, ව්‍යාපාරයේ පිබිදීමක් යළි ඇතිවන තුරු ඔවුන්ගේ රස්සා ටික රැක දෙන්න පුළුවන් අපිටමයි.

කාටවත් කරන්න කියලා බලන්න බැහැ. නමුත්, ආදර්ශයක් විදියට හෝටල් ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරියෙක් හැටියට මං මගේ ආයතනයට දැන්වුවා, මේ වේලාවේ මගේ වැටුපෙන් 25% ක් දෙන්න කියලා. මං වගේම හෝටල් ක්ෂේත්‍රයේ ඉහළම තල‍යේ ඉන්න අය මේ දේ කළොත් පොඩි පඩි ගන්න අයගේ ඒ වැටුප ලබා දෙන්න පුළුවන් වේවි. මොකද, මේ වෙලාවේ ඒ පොඩි සේවකයන්ට ‘ටිප්’ එක පවා නැතිවෙලා ගිහින්. මේ අමාරු තත්වයෙන් ටිකක් ගොඩ එනකල් අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා. හොටෙල් ඩිවලපර්ස් ලංකා කියන, හිල්ටන් හිමිකාර අපේ සමාගම මේ වෙලාවේ පොඩි සේවකයන්ගේ රස්සා ගැන විශේෂයෙන් හිතනවා. ඔවුන් අපේ යෝජනාවලට එකඟයි.

ඒ වගේම, මූල්‍ය පහසුකම් ලබාගෙන උපරිම ලෙස හෝටල්වල ආරක්ෂක පද්ධතීන් තර කිරීම මේ වේලාවේ ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය දෙයක්. නවීන ස්කෑනර් උපකරණ, නවීන CCTV කැමරා පද්ධති, ආරක්ෂිත ගේට්ටු සහ එලාම් ඇතුළු නවීන ආරක්ෂිත ක්‍රමෝපායන් සකස් කර ගන්නට නොබි‍ඳෙන ආරක්ෂිත පසුබිමක් හදන්නට මේ ගෙවෙන මාස කිහිපය අපි පාවිච්චි කරන්න ‍ඕනේ. මොන තරම් අමාරු වුණත් මේ ආයෝජනයන්, සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට අත්‍යවශ්‍යම සාධක බවට පත්ව තිබෙන නිසා, අති නවීන තාක්ෂණයෙන් යුතු මේ දේවල් කෙසේ හෝ සපුරා ගෙන අපි ලෝකෙට පෙන්වන්න ඕනෙ, අපිට වැරැදුණා තමයි, හැබැයි ආපහු එහෙම වෙන්නෙ නැහැ...’ කියන එක.

ඒ වගේම, මේ සිස්ටම් ගැන, මාස දෙකෙන් දෙකට හෝ තුනෙන් තුනට විගණනයක් කරන්න ඕනේ. මානව සම්පතත් රැකගෙන, සංචාරකයන්ට ආරක්ෂාව ගැන දෙන තහවුරුව වෙනුවෙන් වැඩ කිරීම තමයි, අපි මේ ගෙවෙන කාලය තුළ කළ යුත්තේ.

මම නම් මේ වෙලාවේ ප්‍රමෝෂන්ස්වලට යන්න කියන‍්නෙ නැහැ. ලෝකෙ මේ සඳහා භාවිතා වන නවීන ක්‍රම හොයන්න, හදාරන්න සහ අපිට ගෙන්වා ආදේශ කරන්න. මේ පසුබිම හැදුවා කියන්නේ ජාත්‍යන්තර හෝටල් ක්ෂේත්‍රයට මේ පණිවිඩය යනවා.

ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති, මහින්ද බ්‍රැන්ඩි ගම්පොළ මහතා.

සංචාරක මඟපෙන්වන්නන්ට ලොකු විපතක්

“සංචාරකයන්ගේ නොපැමිණීමෙන් ඍජුවම අන්ත අසරණභාවයට පත්ව සිටින කණ්ඩායම තමයි ටුවරිස්ට් ගයිඩ්ලා. සංචාරකයො නැත්නම් අපි කාට මඟ පෙන්වන්නද? අපිට ETF, EPF නැහැ. නිශ්චිත මාසික වේතනයක් නැහැ.

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වූ මාර්ගෝපදේශකයන් 1350ක් ඉන්නවා. ඩ්‍රයිවර් ෂවුෆර් ගයිඩ් ලෙක්චර්ස්ලා, ඒ කියන්නේ වාහනේ එළවන ගමන් මාර්ගෝපදේශනයෙහි යෙදෙන ලියාපදිංචි තවත් 1300ක් ඉන්නවා. මේ අය හුඟ දෙනෙක් ලීස් කරලා තමන්ගෙම වාහනවලින් සංචාරකයො රටවටා අරන් යමින් මා‍ර්ගෝපදේශනයෙහි යෙදෙන අය. අද මේ අයට වාහනේ ලීසිං වාරිකයවත් ගෙවා ගන්න බැරි තැනට වැටිලා. කොටින් ම පවුල් තුන්දාහකට වැඩිය යන එන මං නැතිවෙලා.

ඇත්තට ම කිව්වොත් මේ නිසි පුහුණුව ලැබූ බලපත් ලාභි සංචාරක මාර්ගෝපදේශකයෙක් කියන්නෙ නිල නොවන තානාපති කෙනෙක් වගේ.

මොකද, සංචාරක ආයතන, කරන්නේ සංචාරකයන්ට සිහින විකුණන එක. ඒ සිහින සැබෑ කරන්නේ අපි. ‘ශ්‍රී ලංකාවට එන්න ඔබට සිතිවිල්ලක් පහළ වීම ම, ඔබ පෙර කළ කුසලයක්..’ කියන තැනිනුයි අපි පටන් ගන්නේ. අනික් රටවල නැති වෙනස අපි ඔවුන්ට පෙන්වන්න පටන් ගන්නෙ එහෙමයි.

අපේ රට නරඹලා ඔවුන් යන්නෙ මේ ගමන පින් සහ කුසල් පැත්තට පරිවර්තනය කරගෙන. ඉතින් ආයතනයක් සංචාරකයකුට විකුණන සිහිනය, යථාර්ථයක් කරන්නෙ අපි. නැවත නැවත ලංකාවට එන්න, ඔවුන් පොලඹවන්නෙ අපි.

ටුවරිසම්වලදි අපිට හොඳ හඬක් තිබෙනවා. අපි ජාත්‍යන්තර ෆෙඩරේෂනය එක්ක සම්බන්ධවයි. රටවල් 123 ක සංචාරක ආයතන 175ක් එක්ක අපේ ඍජු සම්බන්ධතා තිබෙනවා. රට ආරක්ෂිතයි. කිසි ප්‍රශ්නයක් නැහැ, මේ රටේ ඇවිදින්න කියන පණිවිඩය ආණ්ඩුව කී සැණින් අපි ක්‍රියාත්මක වෙන්න සූදානම්. එක රැයකින් රටවල් 123කට අපි ඒ පණිවිඩය දෙනවා.

මේ වෙලාවෙ ප්‍රමෝෂනල් දේ හඳුන්වා දෙනවට වඩා, ආරක්ෂාව තහවුරු කරන එකයි වැදගත්. රටේ ඉන්න අපිටවත් ඒ විශ්වාසය නැතිකොට අපි කොහොමද සංචාරකයන්ට එහෙම කියන්නෙ. ආරක්ෂාව හරි නම් ඉතිරි හරිය අපිට පුළුවන්.

අදහස්