විලම්භීත මාධ්‍ය අතින් ත්‍රස්තවාදියකු වූ කටුවපිටියේ රතු ෂර්ට්කාරයා | සිළුමිණ

විලම්භීත මාධ්‍ය අතින් ත්‍රස්තවාදියකු වූ කටුවපිටියේ රතු ෂර්ට්කාරයා

මට ප්‍රංස මහා ගත්කරු ගීද මෝපසාන්ගේ නුල් කෑල්ල කෙටි කතාව සිහිපත් වේ. එහි එන අහිංසක ගැමියා නගරයේදී අහුලාගන්නේ පාරේ තිබු නූල් කෑල්ලකි. ඔහු නගරාධිපතිගේ වටිනා යමක් අහුලා ගත් අයෙකු ලෙස කවුරුත් ඔහු ගැන කතා වෙයි. සියල්ලෝම ඔහු මහ හොරෙකු යැයි හඳුන්වා දෙති. තමා නිවැරදිකරු යැයි කියන්නට දරන හැම උත්සාහයක්ම ව්‍යර්ථ වෙයි. ඔහු නිවැරදිකරු යැයි කියන්නට ඔහුට තිබෙන්නේ ඔහුගේ හෘද සාක්ෂිය පමණි. ඔහුගේ කොට්ටය යට තිබෙන්නේ කිලිටි නූල් කැබැල්ලකි. ඒ මිනිසා ජීවිත කාලයම තමන් නිවැරදිකරු බව ඔප්පු කරගැනීමට බැරිව දුක් විඳියි.

මෝපසාන් ඒ කතාව ලියන්නේ එක්දහස් අටසිය ගණන් වලදිය. මිනිසුන්ගේ කටින් කට ගිය ආරංචිය නිසා තවත් මිනිසෙකු පීඩාවට පත් වූයේ එලෙසිනි. මෝපසාන්ගේ අහිංසක ගැමියා වැනි චරිත අද ද හමුවෙයි. වෙනසකට ඇත්තේ ඒ තත්ත්වය ජනමාධ්‍ය විසින් ඇති කිරීමය.

මේ ඛේදවාචකය ඇති වූයේද පාස්කු ඉරිදා වූ ඛේදවාචකයත් සමඟය. රටක මාධ්‍යයට වගකීමක් ඇත. ඒ සැබෑ තොරතුරු රටට ඉදිරිපත් කිරීමටය. අප යම් තොරතුරක් ඉදිරිපත් කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත යුතුය. අපට සිතෙන සිතෙන අයුරු නිවැරැදිකරුවන් සැකකාරයන් ලෙසින් මාධ්‍ය මඟින් පෙන්වීමේදී සිදු වන්නේ බරපතළ හානියකි.

“මගේ මේ අවනඩුව මම කාටද කියන්නේ . මට පාරක තොටක යන්න බයයි. මගේ දරුවෝ ‍ෙදන්නා, බිරිය ගැන මට බයයි. මම දැන් ජීවත් වෙන්නේ හරි බයෙන්. මගේ ඥාතින්ට මේ සිද්ධිය නිසා වුණේ ලැජ්ජාවක්.” ඔහු අපට කියන්නට වූයේ මහත් සිත්තැවුලෙනි.

ඔහු කවුද?

පොස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරු කටුවපිිටිය පල්ලියට යන මාර්ගයේ තාප්පයක් අසල දුරකතනයක් කනේ ගසාගෙන සිටි රතු ටීෂර්ට් කාරයා ඔහුය. අසල CCTV කැමරාවක සටහන් වී තිබූ එම දර්ශන රූපවාහිනි නාලිකාවකින් පෙන්වීමේදී එය දුටු කවුරුත් මරාගෙන මැරුණ ත්‍රස්තවාදියාට සේම රතු ටී ෂර්ට් කාරයාට ද වෛර කරන්නට වුහ. රූපවාහිනි ප්‍රවෘත්තිවලදී ඔහු සිටින රූප රාමු රතුපාටින් රවුම් කරමින් පෙන්වද්දි කවුරුත් ඒ ගැන විමසිලිමත් වූහ.

ඒ සිදු වීමෙන් පසු මා මිතුරෙකු කීවේ රතු ටී ෂර්ට්කාරයා තම ගමේ සිටින අහිංසක මිනිසෙකු බවය. එය දැනගැනීමෙන් සිතේ ඇති වූයේ කනගාටුවකි. එදින සැබැවින්ම වූයේ කුමක් ද යන්න සෙවීමට පසුගිය දිනෙක රතු ටී ෂර්ට්කාරයා සොයා අපි කටුවාපිටිය ගමට ගියෙමු.

රතු ටී ෂර්ට්කාරයා නිවසේ නොවීය. සිටියේ ඔහුගේ බිරිය කුසුම් ශ්‍රියානිකා , පුතුන් දෙදෙනා හා සොයුරිය පමණි.

“මගේ මහත්තයා අරෝෂන් ජූඩ්. එයා වැඩට ගිහිල්ලා ඉන්නේ. අනේ අපි වින්ඳ දුක නම් කියලා නිම කරන්න බැහැ. අපි තවමත් බයෙන් ජීවත් වෙන්නේ. විසි එක්වැනිදා උදේ අපි හතර දෙනාම උදේ දේව මෙහෙයට පල්ලි ගියා. අපි ඔක්කෝමලා එක ළඟ හිටියේ. මෙයාට කෝල් එකක් ආවා ෆාදර් නෙවිල්ගෙන්. එයා එළියට ගියා. ඊට ටික වේලාවකට පස්සේ තමයි බෝම්බය පිපිරුවේ. මාව උඩ විසි වුණා වගේ දැනුණා. පුතා මාව බදලා අල්ලා ගත්තා. මගේ කකුල තුවාල වුණා. මම ලොකු පුතාගේ අත අල්ලාගෙන හිටියේ. අපි නවලෝක රෝහලට ගියා. පැය ගාණක් මාව ගැහෙන්න ගත්තා. කොහොම වුණත් බෙහෙත් දාගෙන ගෙදර ආවා.

සඳුදා පොලිසියෙන් අපේ ගෙදරට ආවා. මහත්තයා කැමරාවල ඉන්නවා කිව්වා. අපේ දුරකථන අංක අරගෙන ගියා. පස්සේ තමයි අපි රූපවාහිනියෙන් දැක්කේ. අපිට බය හිතුණා. අපි ගියා මීගමු පොලිසියේ බුද්ධි අංශයට. ඒ මහත්තයා අපේ විස්තර අහලා අපට කිව්වා ගෙදර යන්න කියලා. ආරක්ෂාව ඔනෙද කියලත් අපෙන් ඇහුවා. මහත්තයා බදාදා වැඩට ගියා. එයා දුරක වැඩ කරන්නේ. මම මේ පැත්තේ හැම මළගෙදරකටම වගේ ගියා. මිනිස්සු බණිනවා “ඕකව මරන්න ඕන, වාහන වල යනවා දැකලා තියෙනවා“ කියලා බණින්න ගත්තා. මම කියන්න පුළුවන් තැන්වලදී මහත්තයගේ නිවැරදි බව කිව්වා.

මම ගෙදර ආවේ අඬාගෙන. සමහරු නම් අපි ගැන හොයලා බැලුවා. වෙන දා අපේ ගෙදර ආව සමහරු එන්නේ නැතිව ගියා. අපි ලොකු අපහසුතාවකට පත් වුණා. මං මගේ දරුවෝ ගැන බයෙන් හිටියේ. රෑ තිස්සේ අපේ ගේ ඉස්සරහා බල්ලෝ බුරනවා. මිනිස්සු යනවා එනවා වගේ දැනෙනවා. ඒත් එළියට බහින්න බයෙන් හිටියේ. අපේ මහත්තයාව ටීවී එකේ පෙන්වනවා දැක්ක නෑයෝ එයාව අඳුනගෙන තිබුණා. ඒත් ඒගොල්ලෝ බයට කාටවත් කියලා නැහැ.

ඉතාලියේ ඉන්නවා අපේ ඥාති දුවක්. ඇය කියලා තියෙනවා අර ඉන්නේ මාමා කියලා. හැමෝම මහත්තයාව හඳුනාගෙන. අපි පුදුමාකාර අපහසුතාවකට මේ සිද්ධිය නිසා මුහුණ පෑවේ. මාධ්‍යයෙන් පෙන්නුවේ මගේ මහත්තයා දරුණු ත්‍රස්වාදියෙකු විදිහට. එදා කොහෙද හිටියේ මොකද වුණේ කියලා මගේ මහත්තයාගෙන්ම දැනගන්න පුළුවන්. ”

දෑසේ නැඟි කඳුළු පිස දමමින් ශ්‍රියානිකා තම සැමියා වූ අරෝෂාන්ට දුරකතන ඇමතුමක් අරන් දුන්නාය. තවමත් පාසල් වයසේ සිටින පුතුන් දෙදෙනා සිටින්නේ බියෙනි.

“අපි පල්ලි ගිහිල්ලා හැමදාම ඉන්න තැන තමයි එදත් හිටියේ. පුජාව ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මට පියතුමාගෙන් දුරකතන ඇමතුමක් ආවේ. ඒ නිසා මම එළියට ආවා. ඒ ඇවිත් නතර වුණේ බ්‍රදර් හවුස් එක ගාව. පියතුමාත් එතැනට ආවා. (ඒ රූපවාහිනි දර්ශනයේ පියතුමා එනවා යාන්තමින් පේනවා). මම ඒ වේලාවෙදී දැක්කා බෑග් එකක් එල්ල ගත් තරුණයෙක් පල්ලියට යනවා. ඔහුට හොඳ කඩවසම් වැදගත් පෙනුමක් තිබුණේ. මම තනිවම හිතුවා මොකෙක්ද යකෝ මේ කියලා. ටික වේලාවකට පස්සේ තමයි විශාල ශබ්දයක් ආවේ. බෝම්බයක් පිපුරුණා කියලා හිතුණේ නැහැ. මම හිතුවා ටියුබ් ලයිට් එකක් පිපිරුවා කියා. ශබ්දයත් එක්කම මම පල්ලියට දිව්වා. එතැන මිනිස්සු කියද්දි බෝම්බයක් පිපුරුවා කියා මම කිව්වා බෑග් එකක් කරේ දාගත්ත එකෙක් ආවා කියලා. ඒ ආව කොල්ලට කුඩුකාරයෙකුගේ පෙනුම තිබුණේ නැහැ. වැදගත් පාටයි . ඒ නිසා සැකයක් ඇති වුණේ නැහැ.

පස්සේ තමයි ආරංචි වුණේ බෝම්බකාරයා එන දර්ශනත් සමඟ මාවත් රවුම් කර කර TVවල පෙන්වනවා කියලා. මම කල්පනා කළේ දෙයියනේ මම මොකද කරන්නේ කියලා. මම පොලිසීයට කිව්වා එතැන හිටිය රතු ටී ෂර්ට්කාරයා මම කියලා. පොලිසියෙන් කිව්වා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් මම කිව්වා මගෙ නෝනා බයවෙලා ඉන්නේ කියලා. කවුරුත් මා ගැන සැක කළා. අපි ඒ. එස්. පී. ඔෆිස් එකට ගියා. බුද්ධි අංශයේ මහත්තයෙක් හමු වෙලා සියලු විස්තරය කිව්වා. කට උත්තරයක් දීලා ආවා.

මම ඒ රූපවාහිනි නාලිකාවට කතා කළා. ඔවුන් විනාඩියකටත් අඩු කාලයක් තමයි මගේ නිවැරදි කම ගැන කියන්න ඉඩ දුන්නේ. නමුත් ඔවුන් නිවැරදි කිරීමක් කළේ නැහැ. අනෙක් නාලිකාවේ එහෙමවත් නැහැ. ගමේ මිනිස්සු මා ගැන දන්නවා. නමුත් මේ වෙලාවේ කවුරුත් මා දිහා සැකෙන් බැලුවේ. මම විදේශයක ඉඳලා ඇවිත් මාස හතරයි. සමහරු කියලා තිබුණා මම අවි පුහුණුවකට ගිහින් ඇවිත් කියලා. මට බය මගේ පුතාලා ගැන. බිරිය ගැන. නිවැරැද්දේ හිටපු මාව තත්පර ගණනකදී රටටම ත්‍රස්තවාදියෙක් බවට පත් කළා.

මම ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍ර යේ කළමනාකරුවකු හැටියට සේවය කරන්නේ. මම නිවැරදි කෙනෙක් බව මම දන්නවා. මගේ ගෙදර අය දන්නවා. පල්ලියේ පියතුමන්ලා දන්නවා. නමුත් මට ලොකු කැළලක් මේ නිසා වුණේ. මට සමාජයට මුහුණ දෙන්න ලැජ්ජයි. මේ සිද්ධිය නිසා මගේ දරුවන්ට මොනවා හරි වුණොත් මම ජීවත් වෙලා මොකටද?”අරෝෂාන් පවසන්නේ බොහෝ වේදනාවෙනි.

තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි අප දැන් මුහුණ දී සිටින්නේ ඊටත් වඩා ලොකු පිඩාවකටය. දැන් මේ මොහොතේ රටේ මොනවා සිදු වේදැයි යන්න අවිනිශ්චිතය. මිනිසුන් දෙස සැකයෙන් නොව විමසිල්ලෙන් බැලිය යුතු කාලයකි මෙය. විශේෂයෙන්ම රටේ මාධ්‍ය ආයතනවලට , මාධ්‍යකරුවන්ට වගකීමක් ඇත. ඒ නිවැරදි තොරතු ජනතාවට දීමටය. මාධ්‍ය ආචාර ධර්ම ගැන සැලකිලිමත් විය යුතුය. අරෝෂාන්ට වූ දේ තවත් අයෙකුට වීමට ඉඩ නොතැබිය යුතුය. තම මාධ්‍ය මඟින් තොරතුරු ලබා දීමේදි එක විය යුත්තේ ලැබෙන තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය නොවිමසා ජනගත කීරිමෙන් නොව සත්‍ය තෙරතුරු රටට දීමෙනි.

ඡායාරූප -ගයාන් පුෂ්පික
විශේෂ ස්තූතිය - මාකස් ප්‍රියන්ත ප්‍රනාන්දු හා ඩිනාල් ප්‍රනාන්දු මහත්වරුන්ට

අදහස්