දිරිමත් තරුණ දිවියට තුරුණු දිරිය | සිළුමිණ

දිරිමත් තරුණ දිවියට තුරුණු දිරිය

2018 වසර ආරම්භයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ පුහුණු පර්යේෂකයෝ (සියල්ලම ප්‍රථම පෙළ උපාධි සාමාර්ථ්‍ය සහිත උපාධිධාරී) ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයින් සහ විශේෂඥයෝ පිරිසක් එක්ව ශ්‍රී ලංකාවේ උද්ගතව පවතින ගැටලුවක් වන තරුණ විරැකියාව පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම ගැටලුව පිළිබද එක් විශ්ලේෂකයෙකුගේ අදහස වුයේ ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලද රැකියා විරහිත තරුණ පිරිසගේ අද්විතීය වර්ගයක් ඇති බවය. එම වර්ගය විදේශික ආර්ථික විශේෂඥයින්ට අනුව "අභිලාෂයෙන් තොරව රැකියා නොකරන අය" ලෙස විස්තර කළ හැකිය. මෙම තරුණ පිරිස තමන්ගේ අධ්‍යාපන මට්ටමට සරිලන රැකියාවක් ලැබෙන තුරු බලා සිටිති. තවත් ආකාරයකට පැවසුවහොත්, තම අපේක්ෂිත රැකියා අරමුණු සාක්ෂාත්වන තුරු රැකියා විරහිතව දිවිගෙවන උගත් තරුණ පිරිසකගේ කණ්ඩායමක් සිටින බවත් මෙම පිරිස අර්ධකාලීන හෝ සාමාන්‍ය වැඩ කිරීම ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට නොගැළපෙන බවත් විශ්වාසකරන අතර ඔවුන් අපේක්ෂිත රැකියාව ලබා ගැනීමට විවිධ ක්‍රම භාවිත කරති. ඒ අනුව අනිසි බලපෑම්, දේශපාලනඥයන්ගේ කාර්යාල ඉදිරිපිට රැකියා අපේක්ෂකයින්ගේ දිගු පෝලිම් ,අතීතයේ දක්නට ලැබුණු දේශපාලනඥයින්ගේ “චිට් ක්‍රමය” සහ කලකදී පැවති“තානායම් පත්වීම්” (රෙස්ට් හවුස් පත්වීම්) වැනි ක්‍රියාමාර්ග දක්නට ලැබේ.

තවදුරටත් සඳහන් කළහොත් ඉදිකිරීම් ක්ෂේත්‍ර, වතු හා කර්මාන්ත ක්ෂේත්‍ර වැනි ක්ෂේත්‍රයන් සදහා තරුණ ශ්‍රමය නොමැති වීම මෙම ක්ෂේත්‍රයන් මුහුණපාන බරපතළ ගැටලුවකි. මෙසේ වීමට හේතු වී ඇත්තේ වර්තමානයේ බහුලව දක්නට ඇති ඌබර්, පික්මී, ත්‍රීරෝද රථ කුලී පදනම මත ධාවනය, ඌබර් ඊට්ස්, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් හා චයිනීස් ඩ්‍රැගන් වැනි ආහාර සපයන ආයතන ආහාර යතුරු පැදි මගින් බෙදා හැරීම නිසා තරුණ ආකර්ෂණය ඒ සදහා යොමු වීමයි. මෙවැනි රැකියා මගින් තරුණ තරුණියන්ගේ නිදහස උපරිම ආකාරයෙන් භුක්ති විඳීමට හැකි වීම මෙම ආකර්ෂණය සඳහා බලපාන ප්‍රධාන කරුණයි. උදාහරණයක් ලෙස තේ හෝ රබර් වතු යායක් නැරඹීමට ගියවිට එම වතු යායේ කම්කරු නිවාස අසල නවතා තිබෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව නිරීක්ෂණයේ දී මෙම තර්කය වඩාත් තහවුරු වෙයි. අයි.පී.එස්. විසින් මෑතකදී සිදුකළ අධ්‍යයනයකට අනුව වාසනාවකට මෙන් ත්‍රිරෝද රථ රිය­ැදුරන්ගෙන් බහුතරය තරුණ පිරිස නොවන බවද මැදි වියේ පසුවන අය බවද ඔවුන් විදේශීය රැකියා වැනි වෙනත් ක්ෂේත්‍රයන්හි කලින් සේවය කර මෙරටට පැමිණී අය බවද සනාථ විය.

ශ්‍රී ලංකාව තුළ පවතින බැංකු මගින් ණයක් ලබා ගැනීම සදහා රාජ්‍ය සේවකයෙකුගේ ඇපකරයක් අත්‍යවශ්‍ය වීම සාමාන්‍ය ක්‍රියාවලිය වන අතර, මධ්‍යම, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යවසාය අංශයන් පිළිබද ණය තොරතුරු කාර්යාංශය (CRIB) මගින් ඇපකරුවන් සදහා නිර්මාණය කර ඇති ගැටලුකාරී ප්‍රශ්න නිසා ණය සහතික කිරීමට ජනතාව කැමැත්තක් නොදක්වයි.

ඉන්පසු මෙම මූලික ගැටලු විසඳන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාව සිදු විය. මෙහිදී විශේෂිත ණය යෝජනා ක්‍රමයක්සැලසුම් කරන ලද්දේ නම්, එය(i) තරුණවියෙහි පසුවන පුද්ගලයින් සදහා වීම, (ii) වසර 3ත් 4ත් දක්වා කාලයක සිට ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන අය වීම, (iv) සාධාරණ පොලී අනුපාතයක් යටතේ ලබා දිය හැකි ණය යෝජනා ක්‍රමයක් වීම , (v.) රජයේ සේවකයින් ඇපකරුවන් ලෙස අවශ්‍ය නොවන දෙමව්පියන් හෝ අදාළ බැංකුවේ ගිණුම් හිමියකුට සහතික කළ හැකි වීම යනුවෙනි. මෙම ණය ලබා ගැනීමේදී එම බැංකු ශාඛාවේ නියෝජිතයෙකු, දෙමව්පියන්, ඥාතියෙකු හෝ ගිණුම් හිමියෙකු සහතික කර තිබේද? එවැනි ව්‍යවසායකයින් සිටිනවාද? ඔවුන් සොයා ගන්නේ කෙසේද? එවැනි ණය යෝජනා ක්‍රමයක් බැංකුවෙන් අනුමත කරන්නේද? එවැනි තරුණ ව්‍යවසායකයින් "අපේක්ෂා විරහිත විරැකියාව" මත රැඳී සිටියිද? යනාදී වශයෙන් ගැටළු පැන නැගිය හැකි බව පෙනී ගියේය. මෙසේ බොහෝ විවාද, හා තර්කයන්ගෙන් අනතුරුව සංකල්ප පත්‍රිකාව සකස් කරන ලදී. මෙම විෂයය සම්බන්ධව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් අප විමසු අතර සහකාර අධිපති අසෝක හඳගම මහතා මහබැංකුවේ වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරින්ගේ මාසික රැස්වීමේ න්‍යාය පත්‍රයට මෙම සංකල්පය පිළිබදව ඇතුළත් කිරීමට හා මේ සදහා සහයෝගය ලබා දීමට එකඟ විය.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (1980 වර්ෂයේ දී යෞවන කටයුතු හා රැකිරක්ෂක අමාත්‍යධූරය හෙබවු වර්තමාන අගමැතිතුමා විසින් පිහිටුවන ලදි) දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර මෙමගින් ව්‍යාප්ත ව්‍යාපාරික සැලැස්ම සකස් කිරීම සඳහා සහාය වීමට යෝජිනා කරන ලදි.

ලංකා බැංකුවේ සන්නිවේදන විශේෂඥයින් විසින් මෙම ණය යෝජනා ක්‍රමය ‘’තුරුණු දිරිය’’ ලෙස නම්කරන ලදි.

ලංකා බැංකුව විසින් තම ශාඛා සදහා 2018 මාර්තු මස මෙම ණය යෝජනා ක්‍රමය පිළිබදව පළමු චක්‍ර ලේඛණය නිකුත්කරන ලදි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය (PMO / PDO) හා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන , උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය (CPMU) සමඟ එක්ව මෙහි අධීක්ෂණ කටයුතු කිරීමට තීරණය කළේය. CPMU හි එක් විශේෂඥයකු කරනු ලැබු යෝජනාවක් වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය අධීක්ෂණය කරනු ලබන්නේ කුමන මට්ටමකද යන්න සොයා බැලීම සහ මේ සදහා නිශ්චිත නිලධාරියෙකු නම් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බවය.

ඒ අනුව "තුරුණු දිරිය" වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා සමිබන්ධීකරණ නිලධාරියෙකු නම් කිරීමට සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටි අතර පළාත් මට්ටමින් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේ මුලික වටයේ දී නිලධාරීන් පත් කරන ලදි. ඉන් පසුව දෙවන වටයේදී පළාත් සභා, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA), ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වන ලදී.‍

තුරුණු දිරියේ ප්‍රගතිය සදහා ජාතික මට්ටමේ සිට පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරි වසම් ආදී සියළුම මට්ටම්වල රාජ්‍ය ආයතනයන්වලින් උපරිම සහයෝගය ලබා ගෙන ඇත. පළාත් සමාලෝචන වැඩසටහන් මගින් කළමනාකරුවන්හට ක්ෂේත්‍රයට පිවිස ණය යෝජනාව ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් සමග මුහුණට මුහුණ ලා සන්නිවේදනය කිරීමට අවස්ථාව උදා වේ. මෙහිදී වැවිලි කළමණාකරුවන් විසින් කරන ලද ප්‍රකාශයක් සඳහන් කළ හැකිය- ඔවුන්ට අනුව ඔබේ වගාවට හොඳම පොහොර, ඔබේම පාවහනේ පතුලයි." එනම් ඔබ විසින්ම ඔබගේ වගා ක්ෂේත්‍රය සාර්ථක කර ගැනීම සදහා වගා ක්ෂේත්‍රයට ගොස් පරික්ෂාකිරීමෙන් මුල් අඩිතාලම දැමිය යුතු බවයි. ක්ෂේත්‍රයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හෝ අධීක්ෂණය සඳහා කොළඹ වායු සමීකරණය කරන ලද කුටියක් හොඳම ස්ථානයක් නොවේ"

උදාහරණයක් ලෙස දැක්වුවහොත් ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු හා අදහස් උපයෝගී කරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කොන්දේසි අනුව තුරුණු දිරිය වෙනස් කිරීම තීරණාත්මක විය. තරුණ ව්‍යාවසායකයින් බොහෝ පිරිසක් තමන්ට වයස අවුරුදු 30 පසුකළාට පසු තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන බැවින් ඔවුන්ගේ ඉල්ලීම මත වයස් සීමාව අවුරුද් 35 සිට අවුරුදු 40 දක්වා දීර්ඝ කරන ලදි. ජාතික වෘත්තීය සුදුසුකමක් (NVQ) සහිත පාඨමාලා හෝ විදාතා පමණක් පිළිනොගෙන පෞද්ගලික ආයතන මගින් හෝ වෘත්තීය සහතිකයක් ලබා ගෙන ඇත්නම් එය පිළිගැනීමට ද , ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ ලියවිල්ල වෙනුවට ග්‍රාම නිළධාරී සහතිකය පිළිගැනීමටද පළාත් රැස්වීම්වලදී යෝජනා විය. තවද ව්‍යවසායකයෙකුගෙන් ණය අයදුම් කිරීමේ මුල් අවධියේදී ඉල්ලා තිබූ ව්‍යාපාරය ලියාපදිංචි සහතිකය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් බව පළාත් රැස්වීමක දී වාර්තා කරන ලදී. ක්ෂේත්‍ර නිලධාරීන් යෝජනා කරනු ලැබුවේ මෙයට විකල්පයක් ලෙස ග්‍රාම නිලධාරී සහතිකය මගින් ව්‍යාවසායකයෙකුට තම ව්‍යාපාරය වර්ෂ 03ක් පවත්වා ඇති බව සහතිත කිරීම සුදුසුබවය. සමහර බැංකු කළමනාකරුවන් විසින් ව්‍යාපාරය පවත්වාගෙන යාම සදහා තරුණ ව්‍යවසායකයාට ව්‍යාපාරය කිරීමට ඇති අධ්‍යාපන සුදුසුකම් අතර සබඳතාවයක් ඉල්ලා සිටී. මෙහිදී නීතිඥවරයෙකු හා සංවර්ධන පරිපාලකවරයෙකු වශයෙන් මා වටහා දුන්නේ ව්‍යාපාරය හා තමන් ලැබු අධ්‍යාපන සුදුසුකම් අතර සබඳතාවක් තිබීම අවශ්‍ය නොවන බවත් ඉගෙනුම ලැබු විෂයට පරිබාහිරව පුද්ගලයෙකුට ව්‍යාපාරයක නියැළීමට හැකිබව මෙන්ම ව්‍යවසායකත්වය, සංවර්ධන බැංකුකරණය සහ ව්‍යාපෘති සදහා ණය දීම ප්‍රවර්ධනය කළයුතු බවත්ය. මෙම ගැටලුව සම්බන්ධයෙන් එක් ණය අපේක්ෂකයෙකු තම අදහස් දක්වා සිටියේය. ‘’කළමනාකාරතුමියනි, මගේ ව්‍යාපාරය පැඟිරි තෙල් හින්දවීම නම් මා ඒ පිළිබදව උපාධියක් ලබා ගැනීම අවශ්‍යද‘’ කියාය

2018 වර්ෂයේ ජූනි මාසයේදී මුදල් අමාත්‍යා‍යංශය විසින් "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රමය ආරම්භ කරන ලදී. මුදල් අමාත්‍යවරයා සමඟ පැවතී සාකච්ඡාවකදී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ තුරුණු දිරිය ණය යෝජනාව පිළිබදව ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අනුමැතිය ලැබුණි.

2019 වර්ෂයේ මැයි මස 08 වන දිනවන විට තරුණ ව්‍යාවසායකයින් 730 දෙනෙකු අතර රුපියල් 301,209,628.00ක ණයක් තුරුණු දිරිය මගින් ලබා දී ඇත. 2018 වර්ෂයේ දී අප්‍රේල් මස පළමු වරට “තුරුණු දිරිය” හරහා ණය මුදලක් ලංකා බැංකුවේ අංකුඹුර ශාඛාව විසින් ලබා දෙන ලදී.

මෙම ණය යෝජනා ක්‍රමය හරහා කාන්තාවන් 445 ක් (61%) ණය ලබා ගැනීමට වාසනාවන්ත විය.

“තුරුණු දිරිය” හා සම්බන්ධ ව්‍යවසායකයින් පිළිබදව විශ්ලේෂණයට අනුව රුපලාවන්‍ය, ඇදුම් මැසීම, විදුලි වැඩ, වෙල්ඩින් සහ කෘෂි කර්මාන්තය, විශේෂයෙන් පැල තවාන්, ඉතා ඉහළ ඉල්ලුමක් සහිත ව්‍යාපාර ක්ෂේත්‍ර ලෙස හඳුනාගෙන ඇත. තවද, සියලුම ණයලාභීහු NVQ, විදාතා හෝ පුද්ගලික අංශයේ සහතිකය සමඟ වෘත්තීය සුදුසුකම් සහිත පුද්ගලයෝය.

2018 අප්‍රේල් මාසයේ දී "තුරුණු දිරිය" යටතේ ණය ලබා ගත් ප්‍රථම පුද්ගලයා වූයේ අංකුඹුර ප්‍රදේශයේ ඩෙනීම් රෙදිපිළි කර්මාන්තයක් පවත්වාගෙන යන තරුණ ව්‍යවසායක ඊ.ඒ.ඩී.ටී. ගුණදාස මහතා ය. වවුනියාවේ එස්. අංකිතන් මහතා සහ මොණරාගල දිස්ත්‍රික්කයේ කේ. එම්. ආර්. කොනාරා මහත්මිය පිළිවෙළින් 50 වන හා 100 වැනි ණයලාභීහු වෙති.

බැංකු ශාඛා කළමනාකරුවන් සහ රජයේ සේවක ඇපකරුවන් අතර සම්බන්ධතාවය කපා හැරීම පහසු නැත. නමුත් ප්‍රධාන කාර්යාලයේ සහ කලාපීය කාර්ය මණ්ඩලයන්හි සහයෝගය ඇතිව තුරුණු දිරිය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.

තුරුණු දිරිය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ඉල්ලුම වැඩිවෙමින් පවතී. ලංකා බැංකු සේවක මණ්ඩලයේ සහ ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් පරිපාලන නිලධාරීන් සියලු දෙනාගෙන්ම ලැබුණු සහයෝගය තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ සාර්ථකත්වය උදෙසා තීරණාත්මක සාධකයක් වු අතර තුරුණු දිරිය සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී. ණයලාභීන් බොහෝ පිරිසක් පවසා සිටියේ ඔවුන් මේ පිළිබඳව පුවත්පත් මගින් දැනුවත් වු බවය.

අදහස්