දකුණට ආ සුද්දන් රට ගැන කියන කතාව | Page 2 | සිළුමිණ

දකුණට ආ සුද්දන් රට ගැන කියන කතාව

ගෝලීය ත්‍රස්තවාදය පිටු දකිනවා මෙන්ම ගෝලීය ආර්ථික කොල්ලයෙන් රට බේරාගැනීමට ද පාලකයන්ට මහත් මෙහෙවරක් කිරීමට ද කාලය එළැඹ ඇති බව පසක් වූයේ පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමත් සමඟය. ඒ ත්‍රස්ත ක්‍රියා හමුවේ දේශීය ආර්ථිකයේ මර්මස්ථානවලට ද එල්ල වූයේ මරු පහරකි.

නාගරික ව්‍යාපාරිකයන් තම වෙළෙඳාම් කටයුතු කරගැනීමට නොහැකි බව හූල්ලමින් සිටින විට අනෙක් පසින් විදේශ විනිමය මෙරටට ගෙන එන සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් සංචාරක ක්ෂේත්‍රයේ දහස් ගණනක් ආර්ථික අනතුරකය. ඒ ගෝලීය ආර්ථික රකුසා දේශීය ව්‍යසනය හමුවේ ආර්ථික කොල්ලයට දත්මිටි කමින් බලා සිටිනු පෙනේ.

සංචාරක කර්මාන්තය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථිකය පසුගිය වසර වන විට කැපී පෙනෙන වර්ධනයක් ලැබුවේය. එහෙත් මේ වන විට එය මුළුමනින්ම වෙනස් වී ඇත.

බෝම්බ පිපිරීමෙන් පසු ගෝලීය ආර්ථික කොල්ලකරුවන් විසින් මේ රටේ සංචාරක ව්‍යාපාරය අඩපණ කිරීමටත්, මෙරට සංචාරකයන් ඔවුන්ගේ රටවලට ඈඳාගැනීමට මෙහෙයුමක් දියත් කර තිබේ.

මේ වන විට ලංකාවට පැමිණි විදේශිකයන් මෙරටින් පිටව ගිය විට කුඩා සංචාරක හෝටල්වලට මෙන්ම මහ පරිමාණයේ සංචාරක හෝටල්වලටද අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. මෙරටට පැමිණීමට හෝටල් කාමර ඇණවුම් කර තිබූ බොහෝ දෙනෙකු මේ වන විට එම ඇණවුම් අවලංගු කර තිබේ. ඉන් අදහස් වන්නේ සංචාරකයන් සංචාරයෙන් මිදී ඔවුන්ගේ රටේම ඉන්නවා කියන අදහස නොවේ.

ඔවුන් මෙරට ඇණවුම් අවලංගු කර වෙනත් රටකට යෑම සිදු කරයි. මේ තත්ත්වය ඉදිරි ආර්ථිකයට බලපාන ආකාරය ගැන සංචාරක කර්මාන්තයට සම්බන්ධ වූවන් සිටින්නේ සැකයෙනි.

දැනට ලංකාවට පැමිණි සුළු පිරිසක් හොටෙල් කාමරවලට සහ එම හෝටලය අසල වෙරළට වී කල් ගෙවති. ඔවුන් දේශීය සුන්දරත්වය නැරඹීමට රට තුළ සංචාරය නොකරති. වැලිගම මිරිස්ස වෙරළ තීරයේ සංචාරක හොටෙල් හිමිකරුවෙකු පැවසුවේ පසුගිය වකවානුවේදී බ්‍රේකින් Braking News යන ශබ්දය රූපවාහිනී යන්ත්‍රයෙන් ඇසුණු සැණින් වෙරළේ සිටින විදේශිකයන් රූපවාහිනිය වටා එක්රොක් වන බවය. මේ ප්‍රවෘත්ති වාර්තාකරණය ඔවුන්ව බිය කර තිබිණි.

“පැකේජ් පාටි” නැමැති ක්‍රමයට රටට ඇතුළු වන සංචාරකයෝ ඔවුන්ගේ කාලය අවසන් වන තෙක් එහි රැඳී සිටීම සිදු කරති. ඊ‍ට හේතුව ඔවුන් කිසියම් ඇස්තමේන්තුවකට අනුව මෙරට රැඳී සිටින කාලය තුළ වියදම් සැලසුම් කිරීමය. දෛනික වියදම ඔවුන් මෙරටට ඇතුළු වීමට පෙර සිටම සැලසුම් කර තිබේ. ඒ අනුව රටේ ත්‍රස්තවාදී තත්ත්වයක් පැවතුණද පැකේජ් පාටියට පැමිණි අය තමන්ගේ කාලය උපරිම ගත කර මවුරට බලා යති.

උද්ගත වී ඇති තත්ත්වය ගැන මිරිස්ස සංචාරක හොටල් හිමිකරුවකු වන අසංක දුමින්ද කළුආරච්චි පැවසුවේ තවමත් විදේශිකයන් මෙහි රැඳී සිටින බවය.

“ඔවුන් බොහෝ දෙනෙකු පැකේජ් පාටි ක්‍රමයට මෙහේ සංචාරයට ආපු අය. එයාලා බොහෝමයක් එම රටේදීම සැලසුම් කරනවා දවසකට කළ යුතු නැරඹිය යුතු සහ වියදම් කළ යුතු ප්‍රමාණය ගැන. ඉතිං එයාලා ආපු කාලය සම්පුර්ණ කරලා යන්නේ. ඒ නිසා වෙරළ දිහා බැලුවම සංචාරකයෝ ඉන්නවා පේනවා.

නමුත් පසුගිය දා සිදු වූ බෝම්බ ප්‍රහාරය නිසා බුකින් බොහොමයක් අවලංගු වුණා. වෙනත් රටවලත් අපේ රටේ වගේ බෝම්බ පිපිරුණා.

ඒ රටවල් ඒ තත්ත්වයට මුහුණ දුන්නා. රජය දැන් ඉදිරිපත් වෙලා රටේ ආරක්ෂාව ගැන ස්ථිරසාර සහතිකයක් දෙනවා නම් විදේශිකයන් ලංකාවට ඒවි.

සංචාරක කර්මාන්තය භාර ඉහළ නිලධාරීන් අවම වශයෙන් අවුරුදු පහක්වත් සංචාරක හෝටලයක කම්කරුවෙකු වෙලා හරි ඉන්න ඕනෑ. එවිට තමයි මේ ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය දැන ගන්නේ.

දැන් බොහෝ දෙනෙකුට විෂය ගැන අබමල් රේණුවකටවත් දැනුම නෑ. ඒ නිසා අපි දුක් විඳිනවා. අපේ සේවකයෝ දුක් විඳිනවා.

සංචාරක කර්මාන්තය නිසා දහස් ගණනක් තරුණයෝ රජයට බරක් නොවී ජීවත් වෙනවා. මේක කඩා බිඳ දැමුවොත් ඔවුන්ට ජීවත් වෙන්න යන එන මඟක් නැතුව යනවා.

ලංකාවේ ලස්සන ගැන දන්න කෙනා ආයෙ එනවා

මෙහිදී අදහස් දැක්වූ එංගලන්ත ජාතික ජේමිස් එලිඔට් JAMES ELLIOT කියා සිටියේ මේ රටේ සුන්දරත්වය ගැනය. “ ඇත්තටම මේ රටේ සුන්දරත්වය ගැන දන්නෙ මෙහාට ආපු අය විතරයි. ඒ නිසා එක් වරක් ආව සංචාරකයන් නැවත නැවතත් ලංකාවට එනවා. මේ රටේ තියෙන සුන්දරත්වය, සොබාදහම හරිම ප්‍රිය කරුයි. ඒ වගේම දකුණු වෙරළ තීරය ඉතාම මනරම්.

මේ රටේ මිනිස්සු ආගන්තුක සත්කාරයට හරිම ළැදි අය. හරිම සංග්‍රහශීලියි. ඒ නිසා බොහෝ සංචාරකයන් දිවයිනට එන්න හිතනවා. මාතර වැලිගම ප්‍රදේශයට මා පෞද්ගලිකව හරි කැමතියි. මේ ප්‍රශ්න ඉක්මනින් විසඳේවි. ලංකාවට ජය වේවා.“ ඔහු ප්‍රකාශ කළේය.

මීට වඩා ත්‍රස්තවාදය තිබුණ කාලේ ලංකාවට ආවා

ජපාන ජාතික හිඩේකි රෂිමුරයි HIDEKI RASHIMURAI දැනට ජීවත් වන්නේ ලන්ඩනයේය. ඔහු වසරකට වරක් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත් විඳින්න පැමිණෙයි. ඔහු පැවසුවේ තමා මීට වඩා ත්‍රස්තවාදීන් සිටි අවධියේද ලංකාවට පැමිණි බවයි.

“මේ රටට ඇත්තටම ආදරෙයි. මේ රට ලෝකයේ හරිම සුන්දර මිනිස්සු ඉන්න රටක්. මමත් මෙහෙ ආවම හරිම සතුටින් ඉන්නේ. ඒත් පවුකාර මිනිස්සු මේ රටේ බෝම්බ පුපුරනවා. අනේ මං දන්නෙ නෑ ඒ ඇයි කියලා. මේ රටේ ජීවත් වෙන මිනිස්සු හරිම අහිංසකයි. ඒ වගේම හරිම දක්ෂයි. ඔවුන් නිර්මාණශීලී පුද්ගලයන්. ඉතින් පවුකාරයන් දෙතුන් දෙනෙක් බෝම්බ පිපුරුවා කියල අපිට මේ රටට නෑවිල්ල අරින්න පුළුවන්ද. මට නම් කිසිම බයක් නෑ. මම ලබන මාසෙ ගිහින් ආයෙත් එනවා.

රටේ ආරක්ෂාව මදි

නෙදර්ලන්ත ජාතික ඊතීර් රුයික් තරුණිය EATHEER RUICH පැවසුවේ මෙවැන්නකි.

“මේ රටට අපි හරි ආසයි. මම අවුරුදු විස්සක් තුළ පහළොස් වතාවක් ලංකාවට ඇවිත් තියෙනවා. හැබැයි මේ රටේ ආරක්ෂාව නම් මදි. අපිට පාරෙ ගියත් මුහුදෙ නෑවත් කොතැන හිටියත් මොන ආරක්ෂාවක්ද?. දැන් දවස් දෙක තුනකට කලින් මේ වෙරළේම අපේ ජාතිකයෙකු මුහුදෙ ගහගෙන ගියා. ආපු විදේශිකයන්ම පමණයි ඔහු බේරාගෙන ඔහුට ප්‍රථමාධාර දුන්නේ. මේ සංචාරකයන් මේ රට ගැන විශ්වාස කරලා එන්නෙ. හැබැයි ආරක්ෂාව මදි.

බෝම්බ පුපුරපු ආරංචිය ලැබුණාම මට හරිම බය හිතුණා. ලෝකයේ ලස්සන රටක් තමයි ඔයාලට ලැබිල තියෙන්නේ. හරිම ආඩම්බරයි. හොඳ මිනිස්සු මේ රටේ ඉන්නේ. එයාලා අපිට පණ වගේ ආදරෙයි. හැබැයි කියන්නම ඕන ආරක්ෂාව නම් සීරෝ.

බෝම්බ ගහලා අපි මේ රටට එන එක නවත්වන්න බෑ

ලන්ඩන් ජාතික තරුණියක වන ඇසිලියා හර්ගෝස් ACILIA HARGOS කතා කළේ වේදනාවෙනි.

“අපේ විනෝදය නැති වුණා මේ රටේ මිනිස්සු බෝම්බවලට මැරුණා කිව්වම. ඒ වගේම අපිටත් බය දැනුණා. මම හිතනවා ඉක්මනින් මේ රටට සාමය උදා වේවි කියලා.

දකුණු වෙරළට තමයි ගොඩක් අපි ආස. බෝම්බ ගහලා අපි මේ රටට එන එක පොඩි පිරිසකට නතර කරන්න බෑ. අපි ලබන අවුරුද්දෙත් එනවා. මම ප්‍රාර්ථනා කරනවා ලබන සැරේ එන කොට මේ රටේ යුද්ධ අවසන් වෙලා තියේවි කියලා. ජී.එච්. මධුක පොඩි කාලයේ සිට ම වෙරළේ පය ගසා සංචාරක ‍ක්ෂේත්‍රයේ විවිධ ක්‍රියාකාරකම් හමුවේ ජීවිත ගොඩනඟාගත් තරුණයෙකි. ඔහු කරන්නේ ආයාචනයකි.

“ සංචාරක කර්මාන්තය පෙර වසරවල ඉතා හොඳ තත්ත්වයට තිබුණා. දැන් තත්වය වෙනස් වග අපිට පිළිගන්න වෙනවා. නමුත් ලංකාවට සංචාරකයන් එන්නේ නැහැ කියල ලෝකයට දැනගන්න තියන්න එපා. එහෙම වුණොත් එන්න ඉන්න අයත් නැති වේවි.“ ඔහු අපට කියන්නේ රටක් වශයෙන් අපට ඇති වගකීම ය.

Comments