තව්හිද් ජමාද් උන්මන්තක වියරුවේ මුල මැද අග | Page 2 | සිළුමිණ

තව්හිද් ජමාද් උන්මන්තක වියරුවේ මුල මැද අග

ඒ වර්ෂ 2010 ය. ඉන්දියා රහස් ඔත්තු සේවය ශ්‍රී ලංකා බුද්ධි අංශ වෙත වර්තාවක් ලබාදෙමින් නැඟෙනහිර පළාතේ ගොඩනැඟෙමින් ඇති මුස්ලිම් සංවිධාන කීපයක් හා ඒ හා සංධානගත වී සිටින පුද්ගලයන් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු ලබාගත හැකි දැයි විමසා සිටියේය. ගෝලීය ත්‍රස්තවාදී ව්‍යසනයක් ලෙස මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන පරිසරයක සිය අසල්වැසි රාජ්‍ය තුළ සිදු වන දේශපාලන විචලනයන් පිළිබඳ ඔවුහු සංවේදී වී සිටියෝය.

ඒ ඉල්ලීමත් සමඟ නැඟෙනහිරත් පොදුවේ රට පුරාත් ක්‍රියාත්මක වෙමින් තිබූ මුස්ලිම් සංවිධාන ගණනාවක් සම්බන්ධව හමුදා බුද්ධි අංශවල විශේෂ අවධානය යොමු විය. සැලකිය යුතු තොරතුරක් නොලැබිණි. එම සංවිධාන බිහි වී තිබෙන්නේ විශේෂ ආගමික මතවාදී ඉලක්ක සැපිරීම වෙනුවෙන් නොව ඒ ප්‍රදේශවල දේශපාලකයන්ගේ ඡන්ද ව්‍යාපෘති වෙනුවෙන් බව ඔවුන්ගේ නිරික්ෂණය වී තිබිණි.

එවකට රටේ පැවති මහින්ද රාජපක්ෂ පාලනය එම සංවිධාන බිහි වන්නට ඉඩ හැරියේ ය. ඒවා තමන්ට ඇවැසි ආකාරයෙන් හැසිරවිය හැකි බව ඔවුන් විශ්වාස කළ බව පෙනිණි. වර්ෂ 2011 දී නැඟෙනහිර බිහි වන ජාතික තව්හිද් ජමාද් සංවිධානය ආරම්භ වන්නේ එම ලාභ දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ISIS සංවිධානය හා ලංකාව

වර්ෂ 2011 දී පමණ ඊශ්‍රයාල මොසාඩ් සංවිධානයෙන් හමුදා බුද්ධි අංශ දැනුවත් කරන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිසක් ඊශ්‍රයාලය වෙත ගොස් ඇති බවය. මේ බුද්ධි තොරතුර අදාළ බරින්ම එවකට පැවති රජය සැලකුවේ නැත. නැවත වර්ෂ 2014 මොසාඩ් වාර්තාවක් නිකුත් විය. ඉන් නැවතත් කියැවී තිබුණේ සිරියාවේ අයි.එස්. අන්තවාදී යුද්ධයට සම්බන්ධ වීමට සිරියාව බලා යන ශ්‍රී ලාංකිකයන් ගැනය. රටේ අන්තවාදයට නැඹුරුවක් ඇති මුස්ලිම් සංවිධාන වැඩී වර්ධනය වන්නට රාජපක්ෂ රජය ඉඩ හරින්නේ ඒ අන්තර්ජාතික බුද්ධි තොරතුරු හුවමාරු වෙමින් පවතින මොහොතකය.

රාජපක්ෂ ආණ්ඩුව වර්ෂ 2015 ජනවාරියේ පෙරළී ගියේය. එතෙක් ඊශ්‍රයාල බුද්ධි වාර්තා කී කතාව සාධක සහිතව ඔප්පු වන්නේ 2015 ජූලි මස 11 දාය. එදින මොහොමඩ් මූෂීන් සහරාස් නිලාම් නැමැති ශ්‍රී ලාංකිකයා ISIS සටන්කරුවෙකු ලෙස සිරියාවේදී මිය ගිය ආකාරය හෙළි විණි. අයි.එස් සංවිධානය ඔහු හඳුන්වා දෙන්නේ අබු ෂුරේනි සෙයිලානි නමිනි.

එම මරණය මුලින්ම වාර්තා කරන්නේ නිලාම්ගේ බිරියගේ දෙවන සොයුරාය. ඔහු තස්කීර් අහමඩි තාජුඩීන් ය. ඔහුත් ISIS සටන්කරුවෙකු බවත්, ඔහු නිලාම්ගේ මරණය වාර්තා කරන්නේ සිරියාවේ ISIS සටන් බිමේ සිට බවත් හෙළි විය. ISIS සටන්කරුවන් ඔහුව හඳුන්වා තිබුණේ අබු දුජානා සෙයිලානි නමිනි.

එම ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් දෙදෙනා පිළිබඳ ලැබෙන තොරතුර මත කරන ලද පරීක්ෂණයේදී බුද්ධි අංශ දකින්නේ ඒ පුද්ගලයන්ගේ පවුල් පිටින් සිරියාවට සංක්‍රමණය වූ අයුරුය. නිලාම්ගේ ගර්භණී බිරියත්, ඇයගේ මවත්, දරුවන් පස්දෙනාත්, නිවසේ වැඩකාරියත් 2015 ජනවාරි මස 15 ​​වන දින සිරියාවට ගොස් ඇති බව තහවුරු විය.

එම තොරතුරු ඔස්සේ බුද්ධි පර්යේෂණ මෙහෙයවිණි. එහිදී හෙළි වන වැදගත් තොරතුරු රාශියකි. නිලාම්ගේ වැඩිමල් සහෝදරයා ඉෂාක් අහමඩ් මූෂින් ය. ඔහු “මුස්ලිම් ඒඩ්”නැමැති අන්තර්ජාතික රාජ්‍ය නොවන ආයතනයේ අප්‍රිකා රටවල් භාරව සිටි ප්‍රධානියා ය. ඉෂාක් සිය අන්තර්ජාතික තලයේ විධායක රැකියාව අත්හැර දමා වර්ෂ 2013 අගෝස්තු මස 13 දින සිය භාර්යාව හා දරුවන් පස් දෙනෙකු සමඟ ඕමානය වෙත පිටත්ව එතැනින් තුර්කිය හරහා සිරියාවට ගොස් ISIS සංවිධානයට බැඳුණු බව හෙළි විය. ඔහු සංවිධානයට බැඳෙන්නේ එහි අධ්‍යාපන අංශයේ ඉහළ පරිපාලන තනතුරක් ලබමිනි. අයි.එස් සංවිධානය ඔහුට ලබාදෙන නම අබු අන්සාර් සෙයිලානිය. ඔහු තවමත් ISIS සංවිධානයේ ඉහළම විධායකය තුළ සිටී.

ඒ විමර්ශනය ලාංකික ISIS ත්‍රස්තවාදීන් රැසක් ගැන හෙළි කළේය. එම සංවිධානයේ ඉහළම විධායක ලෙස සිටින ඉෂාක් අහමඩ් මූෂින්ගේ එක් දියණියකගේ ස්වාමිපුරුෂයා ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ද්විත්ව පුරවැසිභාවය ලද ශ්‍රී ලාංකිකයෙකි. ඔහු මොහොමඩ් සුහෙයිර් අරූස්ය. ඔහුත් ISIS සාමාජිකයෙකි. සංවිධානයේ නම අබු ආසියා ය. ඔහු එම සංවිධානයේ වෛද්‍ය සේවයේය.

නිලාම්ගේ බිරියගේ බාල සොයුරා තස්කීර් අහමඩ් තාජුඩීන් හෙවත් අබු දුජානා සෙයිලානි අයි.එස් සටන් බිමේ සටන් කරන අතර ඔහුගේ වැඩිමල් සොයුරා වූ තාජුඩීන් මොහොමඩ් තව්සිත් සිය බිරිය සහ එකම දරුවා සමඟ සිරියාවට යයි. සිරියාවේදී ISIS සංවිධානයට බැඳී සංවිධානයේ ග්‍රාම ආරක්ෂකයෙකු ලෙස සේවය කරයි. වර්ෂ 2015 වන විට ශ්‍රී ලාංකික මුස්ලිම් පවුල් 05ක පුද්ගලයෝ 37 දෙනෙක් සිරියාවට ගොස් සිටියහ. පවුල් තුනක් දෙමටගොඩය. පවුල් දෙකක් දෙහිවලය. ඒ වකවානුවේ ඒ පිරිසෙන් නව දෙනෙක් සක්‍රීය අයි.එස්. සටන්කරුවෝ වූහ. ඒ සියලු තොරතුරු රජයේ ඉහළ නිලයන්හි සිටින සෑම වගකිවයතු ප්‍රධානියෙක්ම එදා දැනුවත් වී සිටියහ.

වර්ෂ 2017 අගෝස්තු 31 වන දින නිලාම්ගේ බිරියගේ දෙවන සොයුරා වූ තස්කීර් අහමඩ් තාජුඩීන් හෙවත් අබු දුජානා සෙයිලානි ජිවිතක‍්ෂයට පත් විය. ඒ වග අයි.එස් සංවිධානය නිල වශයෙන් වාර්තා කළේය. එම වාර්තාව අන්තර්ජාතික ප්‍රවෘත්ති ඒජන්සිවලත් කියැවිණි. යළිත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් ගැන රටේ කථිකාවක් ඇති විය. ඒ වන විට මුලින්ම මිය ගිය නිලාම්ගේ බිරිය ගැනත් තොරතුරු බුද්ධි අංශවලට වාර්තා විය. එම ගැහැනිය නිලාම් මිය ගිය පසු තවත් අයි.එස් සටන්කරුවන් දෙදෙනෙකුට බිරිය වී දරුවන් නව දෙනෙකු බිහි කර ගුවන් ප්‍රහාර හමුවේ මිය ගියාය. ඒ දරුවන්ගෙන් දෙදෙනෙක් මේ වන විට සිරියා අනාථ කඳවුරකය. වාර්තා වන අකාරයට තවමත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් හය දෙනෙක් අයි.එස් සටන්කරුවන් සේ සිරියාවේ සටන් වැදී සිටිති. ඔවුන්ගේ පවුල්වල 26 දෙනෙක් සිරියාවේ ජීවත් වෙති.

අප ජීවත් වෙමින් සිටියේ එවැනි ගිනිගත් පරිසරයකය. එහෙත් අයි.එස් සටන්කරුවන් ගොඩනඟන්නට හදන කුරාසාන් නම් සිහින ඉස්ලාම් දේශයේ රටවල් අතරට ඔවුන් ලංකාව නම් කර තිබුණේ නැත. ඔවුන් කුරාසාන් සිතියම සකස් කර තිබුණේ ලංකාව ඉන්දියාවේම කොටසක් ලෙස සලකාය. ඊට පරිබාහිර වූ යම් හේතුවක් මත ලංකාවට ISIS ප්‍රහාරයක් එල්ල නොවන බවට වූ විශ්වාසයක් රජයට තිබුණු බව පෙනිණි. එහෙත් සිහින සුන් කරමින් ISIS සංවිධානය සිය මාරක ඉලක්කය ලබා ගත්තේය. ඒ තව්හිද් ජමාද් සංවිධානය වටා රොක් වූ ම්ලේච්ඡ උන්මන්තකයන් මඟිනි.

තව්හිද් ජමාද් සංවිධානය

තව්හිද් ජමාද් නිකාය රට තුළ මුලින්ම ඇති වන්නේ දශක ගණනකට පෙරය. එය මුලින්ම බිහි වන්නේ ඕල් සිලෝන් තව්හිද් ජමාද් ලෙසය. ඒ දෙමටගොඩ මල්ලිකාරාමයේ පිහිටි දෙමටගොඩ පල්ලිය වටාය. තව්හිද් ජමාද් සංවිධානය ගොඩනැඟීමට මුල් වන පිරිස අතර තාජුඩීන් කෙනෙක් සිටියේය. ඒ තාජුඩීන් සිරියාවේදී සටන් කර මිය ගිය තව්සි අහමඩ් තාජුඩීන් හා තස්කීර් අහමඩ් තාජුඩීන්ගේත්, සටන් කරුවන් තිදෙනෙකුට බිරියව සිට දරුවන් නව දෙනෙකු වදා මිය ගිය ගැහැනියගේත් පියාය.

ඕල් සිලෝන් තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයන් කුරානය තම තමන් විග්‍රහ කරගන්නා ආකාරය අනුව නිකාය ගණනකට කැඩී ගියේය. ඒ ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාද්, ජාතික තව්හිද් ජමාද්, එක්සත් තව්හිද් ජමාද් ආදී වශයෙනි. එම සංවිධාන පිළිබඳ බුද්ධි අංශ 2014 න් පසු අතිශය සංවේදී වූයේය. ඔවුන් දුටු බිහිසුණුම කාරණා අතර හෂීම් සහරාන් නැමැත්තෙක් වර්ෂ 2011 දී කාත්තන්කුඩියේ ආරම්භ කළ ජාතික තව්හිද් ජමාද් නැමැති සංවිධානයක් තැතිගන්වනසුලු අන්තවාදයක් පතුරවමින් සිටින ආකාරය විය. ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාද් නැමැති සංවිධාන ඉන්දියාවේ තමිල්නාඩුවේ අන්තවාදී මුස්ලිම් ජමාදයක් විසින් හසුරුවන ආකාරය විය.

ඒ වන විට ජාතික තව්හිද් ජමාදය අතිශය අන්තවාදී වූ 47 දෙනෙකු ස්වකීය නිකාය වටා ගොනු කරගනිමින් සිටියේය. එහෙත් එවැනි අවස්ථා විෂයෙහි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන නැති බව කියැවිණි. මේ අතර 2017 මාර්තු 10 දා කාත්තන්කුඩියේ සුන්නතුල් අල් ජමාද් මුස්ලිම්වරු හා ජාතික තව්හිද් ජමාදය අතර ගැටුමක් ඇති විය. ජාතික තව්හිද් ජමාද් අනුගාමිකයෝ සුන්නතුල්වරු කපා කොටා දැමූහ. ඒ අවස්ථාවේ හෂීම් සහරාන් අත්අඩංගුවට ගෙන ඔහුගේ මාර්ගයෙන් අනෙක් අන්තවාදීන් අත්අඩංගුවට ගත හැකි පරිසරයක් නිර්මාණය විය. එහෙත් සහරාන් සැඟවී ගියේය. අවශ්‍ය ප්‍රමාණයේ බලයක් සහිතව මෙහෙයුමක් ක්‍රියාත්මක කර සහරාන් අත්අඩංගුවට ගැනීමට රජයට ඕනෑ තරම් අවස්ථාව තිබිණි.

ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි

අයි.එස්. බලපෑම ලාංකික මුස්ලිම් සමාජයේ අන්තවාදී කොටස් වෙත වැටෙමින් තිබුණු වකවානුවක ලංකාවේ ඉහළම ධනවත් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන උගත් තරුණ පිරිසක් අවිචාරවත් ආගමික අන්තවාදය වෙත ඇදී ගියහ. දෙමටගොඩ දේශබන්දු, දේශ ශක්ති ඊබ්‍රහීම් හාජ්ජියාර්ගේ තරුණ පුත්තු දෙදෙනා ඒ කල්ලියේ සිටියහ. ගගනගාමී ඉංජිනේරුවරයෙකු වූ එංගලන්තයේ ඉංජිනේරු උපාධියත්, ඔස්ට්‍රේලියාවේදී පශ්චාද් උපාධියත් හැදෑරූ අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් සිටියේය. ඔවුන්ගේ නිකාය හැඳින්වූයේ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි නමිනි.

මේ බිහිසුණු ස්වරූපය බුද්ධි අංශ වෙත නිරීක්ෂණය වන්නේ ලංකාවේ අයි.එස් ත්‍රස්තවාදීන් සම්බන්ධව සිදු කරන විමර්ශනයේදීය. එම නිකාය අනුගමනය කරමින් සිටියේ අල්ඛයිඩා සංවිධානයේ ත්‍රස්තවාදය වෙනුවෙන් අන්තවාදී දේශන පවත්වමින්, ඉස්ලාමීය තරුණයන් ආගමික අන්තවාදයට ඇද දැමූ යේමන් ඇමරිකානුවෙකු වන අන්වර් අවුලකි නැමැති ත්‍රස්තවාදියා ය. ඔවුන් ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි නිකායක් පිහිටුවා ගන්නේ වර්ෂ 2015 දීය. මැද පෙරදිග ISIS බලපෑම සහ එහි ආකර්ෂණීය ප්‍රචාරණ කටයුතු තීව්‍ර වන අවධියේ මේ පිරිස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔවුන් හා එකතු වී සිටියහ.

කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් එංගලන්තයේ උපාධිධාරියෙකි. ඔස්ට්‍රේලියාවේ පශ්චාද් උපාධිය හැදෑරූවෙකි. ඒ වකවානුවේ දී ගොඩනඟාගත් සබඳතා මත ඔහු සිය මිතුරෙකු සමඟ සිරියාවට ගිය බවත්, මිතුරා සිරියාවේ නවතිද්දී කෙටි කාලයක් එහි ගත කර ඔහු ලංකාවට පැමිණ අන්තවාදී කටයුත්තක් සඳහා සූදානම් වන බවත් බුද්ධි අංශ හෙළිදරව් කළේය. ඒ තොරතුර මත වරක් ආරක්ෂක බුද්ධි අංශ එම පුද්ගලයා වැල්ලම්පිටියේදී කොටු කරගත්තේය. ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඔහු ගැන සියලු තොරතුරු සහිත ලිපි ගොනුවක් පවත්වාගෙන යමින් ඔහු අතිශය බිහිසුණු අන්තවාදියෙකු බව වාර්තා කළේය. ඊබ්‍රහීම් හාජියාර්ගේ කුප්‍රකට පුතුන් දෙදෙනා ප්‍රශ්න කළේය. දේශබන්දු, දේශ ශක්ති ඊබ්‍රහීම් හාජියාර් ඒ මුළු ක්‍රියාවලියම දැනගෙන සිටියේය. කිසිවෙකුට කිසිවක් රහසක් වූයේ නැත.

එක් වීම

මේ වකවානුවේ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ හෂීම් සහරාන් විසින් චතුර ලෙස පවත්වාගෙන යනු ලැබූ අන්තවාදී දේශන මාලාව ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි කණ්ඩායම ආකර්ෂණය කර තිබිණි. තමන්ට අවශ්‍ය දෘෂ්ටිවාදය සහරාන් ළඟ පවතින ආකාරය ඔවුහු නිරීක්ෂණය කළහ. කණ්ඩායමේ පිරිසක් යොදාගත් දිනක කාත්තන්කුඩියට ගොස් හෂීම් සහරාන් මුණ ගැසුණාහ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වන ඊබ්‍රහීම් දෙසොහොයුරන්, අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් ද එම ගමනට එක් වූ බව කියැවිණි. පසුව එම කණ්ඩායම් දෙක 2017 දී මල්වාන ජාතික තව්හිද් ජමාද් තිප්පළක ආගම වෙනුවෙන් මිය යෑම සඳහා වන “බයියත්” නැමැති දිවුරුම ලබා දුන්නේය.

ඉන් පසු එළඹි වකවානුවේදී එම නව නිකාය සාමාජිකයන් 147 දෙනෙකු දක්වා බඳවාගන්නා ආකාරය බුද්ධි අංශ දුටුවේය. ඔවුන් අතරින් බිහිසුණු ප්‍රචණ්ඩකාරිත්වයක් ප්‍රකට කළ තරුණයෝ 39 දෙනෙක් හඳුනාගනු ලැබූහ. එ පිරිස ගැන කරන රහසිගත විමර්ශන සඳහා අවශ්‍ය තාක්ෂණික හා අන්තර්ජාතික සහාය, විදේශ ඔත්තු සේවාවල සහයෝගය කළමනාකරණය විය. තත්ත්වයේ බිහිසුණු යථාර්ථය අවබෝධ කරගත් ආරක්ෂක අංශ ඒ පිරිස අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටියේය. එහෙත් රජය දුටුවේ එය මුස්ලිම් සමාජය කලඹන අනවශ්‍ය කටයුත්තක් බවය. කුමක් හෝ නිසා ඔවුහු ඒ මොහොත මඟ හැරියහ.

වේදනාත්මක  යථාර්ථය

අතිශය වේදනාත්මක යථාර්ථය වන්නේ ජාතික තව්හිද් ජමාද් සංවිධානය හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි කණ්ඩායම ඒකාබද්ධව පවත්වාගෙන ගිය සංවිධානාත්මක අන්තවාදී හැසිරීම්වල ස්වරූපය හමුදා බුද්ධි අංශ විසින් මුල සිටම හෙළිදරව් කරගෙන තිබීමය. ඊට සම්බන්ධ පුද්ගලයන් 147 දෙනා වෙනුවෙන් ලිපිගොනු 147 ක් විවෘත කර ඔවුන්ගේ සියලු තොරතුරු යාවත්කාලීන කරමින් 2017 දක්වා පවත්වාගෙන ගොස් තිබීමය. එම තොරතුරු ආරක්ෂක මණ්ඩලය වෙත දැනුම් දී තිබීමය. එහෙත් දේශපාලනයේදී සිදුවන ගණනය කිරිම් හා කියැවීම් ඇත්තේ අප විශ්වාස කරන ප්‍රතිමානයන්ට පහළිනි. එවකට හමුදා බුද්ධිඅංශ ප්‍රධානියාට විදේශ තානාපති සේවයක් ප්‍රදානය කෙරිණි. අදාළ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ විශිෂ්ට නිලධාරීහු විතැන් කෙරුණාහ. සියලු පරීක්ෂණ අඩාළ විණි. අවසානයේ 2018න් පසු එළඹි වසර එකහමාර තුළ මේ අන්තවාදය වැඩී වර්ධනය වූ ආකාරය පිළිබඳ නිශ්චිත කියැවීමක් නොවීය. අවසානයේ ලාංකික මුස්ලිම් අන්තවාදයේ පරිවර්තනය ප්‍රකට වූයේ ලෝකයේ පළමු වරට එකම දිනයක ජාලගතව වැඩිම මරාගෙන මැරෙන ප්‍රහාර සංඛ්‍යාවක් එල්ලවූ රට ලෙස ලංකාව ඉතිහාසගත වීමෙනි.

ඇත්ත නම් මේ අන්තවාදයේ මුල මැද සහ අග රටේ ඉහළම තැන්වලට රහසක් වී නොතිබීමය. අවසාන මොහොතේ ප්‍රහාරය එල්ල වන දිනය ගැන තොරතුර ලැබිණි. ප්‍රහාරය එල්ල කළ හැකි පරාසයන් ගැනත් ඊට එක් විය හැකි පුද්ගලයන් ගැනත් තොරතුරු ලැබිණි. ඒ පුද්ගලයන් පිළිබඳ නඩත්තු කරගෙන පැමිණි පිලිගොනු තිබිණි. නොලැබී තිබුණ එකම තොරතුර පහර එල්ල කරන්නේ කොතැනටද යන්න පමණය.

රටේ දේශපාලන අශික්ෂිතකම ප්‍රශ්න කිරීමට යොදා නොගෙන මේ ව්‍යසනයේ පීඩනය සමස්ත මුස්ලිම් සමාජය වෙත මුදාහැරීමේ මුග්ධකම කුමදැයි අප අපෙන්ම විමසිය යුත්තේ එබැවිනි. එළඹ ඇත්තේ මුස්ලිම් සමාජයත් සමඟ එක්ව පුරවැසියන් ලෙස මේ රටේ සමස්ත දේශපාලනය ප්‍රශ්න කිරීමට අවශ්‍ය මොහොත ය. එහෙත් සමාජය පෙළගස්වමින් ඇත්තේ මෙතෙක් මේ රට ගුබ්බෑයමක් බවට පත් කළ අශික්ෂිත දේශපාලනයේ පහසු ගොදුරක් වී ජාතිවාදී ව්‍යසනයකින් සියල්ල හමාර කරගැනීමටය.

තව්හිද් ජමාත් නමැති කල්ලිය මුලින්ම දැනගත්තේ අප නොවේ. රටේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුය. එම කල්ලියට එරෙහිව ප්‍රථම ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ඔවුහුය. අවශ්‍ය අවස්ථාවල තව්හිද් ජමාද් අන්තවාදීන්ගේ අතපය විසන්ධි කළේ ඔවුහුය. මුස්ලිම් සමාජය හසුරුවන පිළිගත් ආගමික විද්වත් මණ්ඩලය ජමිය තුල් උලමා සංවිධානය ය. තව්හිද්කරුවන්ගේ එකම මව්ලවි කෙනෙකුවත් ඔවුන් සිය සංවිධානයේ ලියාපදිංචි කරගෙන නැත. එනම් මුස්ලිම් සමාජය තුළම මේ මනෝ විකෘතිකයන්ට ලැබෙන පිළිගැනීමක් නැත. එම කල්ලි ඇති වුණ දා සිට ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කළේ ඔබත් මාත් දකින වීරයන්ට ඇඳගත් ෆේස් බුක් ජෝකර්ලා නොවේ. මේ මුස්ලිම් මිනිස්සුය. මුස්ලිම් අන්තවාදය පිළිබඳ අවසාන මොහොත දක්වා රටේ බුද්ධි අංශ දැනුවත් කළේ මේ මුස්ලිම් මිනිස්සුය.

ඔවුන් ඔවුන්ගේ කොටස ඉටු කර තිබිණි. බුද්ධි අංශ බුද්ධි අංශවල යුතුකම ඉටු කර තිබිණි. වරදාගත් තැන පැහැදිලිය. ප්‍රශ්නය පල්ලිවලින් හමුවන කඩු නම් ඒ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ තව්හිද් ජමාද්ලා එළි දැක්වූ ආගමික අන්තවාදී ත්‍රස්තවාදයට මෙපිටිනි. අලුත්ගම පල්ලියට ගහනවිට, අකුරණ පල්ලි කුඩු කර ගිනි තියන විට උපන් අනාරක්ෂිතබවේ ප්‍රකාශනය මේ කඩුය. මේ පටලවන පැටලවිල්ල කෙළවර කරගන්නා තැන කොතැනදැයි අපම දන්නේ නැත. දැනෙන පැහැදිලිම ඇත්ත අප බිහිසුණු ජාතිවාදී ව්‍යසනයක එළිපත්තේ සිටින බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට එල්ල වීමට වසරකට පෙර ජාතික තව්හිද් ජමාදය හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහීම් ෆී සෙයිලානි කණ්ඩායමේ කොටසක් කැඩී ගියේය. සහරාන් හා ඊබ්‍රහීම් සොහොයුරන් ඇතුළු පිරිසට ඉක්මන් ප්‍රහාර මාලාවක් අවශ්‍ය විය. එහෙත් තවත් කොටසක් කීවේ ඉක්මන් ප්‍රහාරයකට සුදුසු වේලාව මෙය නොවන බවය. ඒ මත බෙදී ගියේය අන්තවාදී පිරිස් දැන් අත්අඩංගුවේය. එවැනි ඉක්මන් අත්අඩංගුවට ගැනීමක් කළ හැකි වූයේ ඒ පුද්ගලයන් පිළිබඳ 2017 දක්වා පවත්වාගෙන පැමිණි දීර්ඝ බුද්ධි වාර්තා නිසාය. එම වාර්තා සහිතව වුවත් තමන් අත්අඩංගුවට ගන්නා උන්මන්තකයන් රඳවා තබාගන්නා ආකාරය, ඔවුන්ව ප්‍රශ්න කරන ආකාරය සම්බන්ධව මතු වෙමින් ඇති ගැටලුව ආරක්ෂක අංශම ප්‍රශ්න කරමින් සිටී.

2017න් පසුව මේ අන්තවාදය වැඩී වර්ධනය වූ ආකාරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ආරක්ෂක අංශ සතුව මේ මොහොතේ නැත. වීඩියෝ පටයක් සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි තරුණයාත්, කඩුවක් පල්ලියක තිබී හමු වන විට අත්අඩංගුවට පත් වන චූදිතයාත්, හෂීම් සහරාන් සමඟ, ඊබ්‍රහීම් සහෝදරයන් සමඟ මරාගෙන මැරෙන්නට ශපථ කළ උන්මන්තකයන් ද ගාල්වී ඇත්තේ එකටය.

මේ මොහොත වන විට අප ඉදිරියේ ඇත්තේ බුද්ධි මෙහෙයුමක් නොව ලකුණු දමාගැනීමට කෙරෙන අසංවර පොරයකි. එය අසංවිධානාත්මකය. විටෙක අතාර්කිකය. මේ සංකීර්ණය හසුරුවන අවිචාරය හිතන්නට හැකි මිනිසුන්ව තැති ගන්වා තිබේ. බුද්ධි මෙහෙයුම් සඳහා ටී.වී කැමරා සහිතව මාධ්‍යය රැගෙන යන කුණුහරපය තවමත් අපට වැටහෙන්නේ නැත. මුස්ලිම් ගෙදරකින් සිවුරක් හමු වන විට එය ප්‍රවෘත්තියක් වන රටක් ලංකාවේ හාමුදුරුවරුන් වැඩි ප්‍රමාණයක් සිය පන්සලට ලැබෙන අටපිරිකර හා සිවුරු ලොරි පිටින් විකුණන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට බව අමතක කර තිබේ. හමුදා ඇඳුමට සමාන ඇඳුම් ගැන කතා කරන විට රටේ සමස්ත රෙදි පිළි කර්මාන්තයෙන් සියයට අසූවකට ආසන්න ප්‍රතිශතයක් මෙහෙයවන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බව අමතක කර තිබේ. රටට මේ ව්‍යසනය හමුවේ තාර්කික විසඳුමක් විනා ග්‍රාම්‍ය මෙගා ටෙලි නාට්‍යයක් අවශ්‍ය නැත. කාදිනල් තුමා කීවේ මේ රටේ දේශපාලකයන් එතුමාවත් රවටා ඇති බවය.

දැන් රට හමුවේ තෝරා ගැනීම් දෙකක් ඇත. එකක් නම් දේශපාලනයට ඉදිරියෙන් සිට වගකීම් සහිත පුරවැසියන් ලෙස මේ ඛේදවාචකය විග්‍රහ කරගැනීමය. ඊට අපොහොසත් නම් ලේ විලක් නිර්මාණය කරගෙන එහි රටම ගිල්වා මිය යෑමය.

Comments