අපට දුක දෙන්නේ කවුරුද? | Page 2 | සිළුමිණ

අපට දුක දෙන්නේ කවුරුද?

දුක හා දුකට හේතුව විග්‍රහ කරමින් දේශිත, ‘අඤ්ඤතිත්ථීය සූත්‍ර දේශනාව‘ පදනම් කරගත් ලිපියකි.

අද අප සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ එන අඤ්ඤ තිත්ථීය සූත්‍ර දේශනාව පිළිබඳවයි. ‘අඤ්ඤතිත්ථීය‘ කියන්නේ ‘අන්‍ය තීර්ථක‘ -එනම්: බෞද්ධ නොවන- කියන අදහසයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දිනක් පාන්දරින්ම පිණ්ඩපාතය පිණිස ආරාමයෙන් නික්මුණා. වේලාසන වැඩි නිසා උන් වහන්සේ ඒ අසල වූ අන්‍යතීර්ථක ආරාමයට වැඩම කොට ඒ පිරිස සමඟ කතාබහ කරන්න සිතුවා. කතාබහෙන් පසු ඒ අන්‍ය තීර්ථකයන් සාරිපුත්ත තෙරුන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා:

“ශ්‍රමණ බ්‍රහ්මණවරුන් කර්මය පිළිගන්නවා. ඔවුන් කියනවා දුක තමා විසින් කරන ලද දෙයක් බව. කර්මය පිළිගන්නා තව පිරිසක් කියනවා දුක කරන ලද්දේ වෙන කෙනකු විසින්ය කියලා. තවත් පිරිසක් කියනවා දුක දෙපිරිසක් විසින් එකතු වෙලා කරන ලද දෙයක් බව. තවත් පිරිසක් කියනවා දුක තමන් සහ අනුන් විසින් කරන ලද දෙයක් බව. තවත් පිරිසක් කියනවා දුක තමුන් කළෙත් නැහැ, අනුන් කළෙත් නැහැ කියලා. හේතුවක් නැතිවයි දුක හටගත්තේ කියලා තවත් පිරිසක් කියනවා.“ මේ ආකාරයට දීර්ඝ විස්තරයක් කියලා අහනවා “ඔබ වහන්සේ කොහොමද බුුදු රජාණන් වහන්සේ කියන ආකාරයට මේ දුක පිළිබඳ කියන්නේ“ කියලා.

සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා: “දුක හේතුවකින් හට ගත්තා කියලයි බුදුන් විසින් දේශනා කර තිබෙන්නේ...“ කියලා.

සියලු දුක් ‘කරුමෙ‘ ද?

අප සිතාගෙන ඉන්නේත් සියලු දුක් අප විසින්ම කරගන්නා ලද දේවල්ය, අප ඒ දේවල විපාක විඳිනවාය, අප ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ අප විසින් සසර කරන ලද කර්ම නිසායි කියලායි. ඒත් නිවැරදිව බලනවා නම් හිතන්න අවශ්‍ය වන්නේ දුක හේතු ඵල දහමින්ම හට ගත් බවයි.

ඒත් බුදුදහම හැර බොහෝ ආගම් පවසන්නේ ලෝකය හා සත්ත්වයා නිර්මාණය කරන ලද්දේ දෙවියන් විසින් යනුවෙනුයි. දෙවියන් වහන්සේට මවන්න පුළුවන් නම් උන් වහන්සේට පුළුවන් වෙන්න ඕනෑ රෝග පීඩා දුක් කම්කටොලු නොදෙන්න! මෙය සම්මා දිට්ටිය නොවෙයි.

සාරිපුත්ත තෙරණුවන් පවසනවා: “බුදු රජාණන් වහන්සේ කිව්වා දුක හේතු ඵල දහමින්මයි හටගන්නේ කියලා. කුමක් හේතුවෙන්ද හට ගන්නේ කියලා පැහැදිලි කරනවා. එනම්: ඇසයි, රූපයි, සිතයි එකතු වීමෙන් දුක හටගන්නවා. කනයි, ශබ්දයි, සිතයි එකතු වීමෙන් කනේ දුක හට ගන්නවා. මේ ආකාරයට නාසයයි, දිවයි, කයයි, මනසයි හේතුවෙනුන් දුක හටගන්නවා‍.“

මේ ඉන්ද්‍රීය ආයතනයි, බාහිර ආයතනයි, සිතයි එකතු වීමෙනුයි මේ දේ සිදු වන්නේ. මේ එකතු වීම කොතරම් සියුම්ද කියනවා නම්: සිත දියුණු කරගත් කෙනකුට මිස, ලෝකයේ විද්‍යාවෙන් කොතරම් දියුණු වූ කෙනකුට වත් දකින්න හැකි දෙයක් නොවෙයි. මේ තුන එකට එකතු වීම සිදු වන්නේ මනෝමය වශයෙන් නිසා එය භෞතික උපකරණවලින් දකින්න පුළුවන් දෙයක් නොවෙයි. පරමාණු වැනි සියුම් දේවල් තීක්ෂ්ණ උපකරණවලින් දකින්නට පුළුවන් වුණත් මේ වගේ සිතේ සියුම් අවස්ථා දකින්නට නොහැකි වන්නේ සිත යනු අරූපි දෙයක් නිසායි. එහි රූපයක් නැහැ. දියුණු කරන ලද සිතකින් නම් මේ ස්පර්ශය කියන කාරණාව දකින්නට පුළුවන්.

“මමත් කිව්වේ ඔහොමමයි!“

ඉන් පසු සාරිපුත්ත තෙරුන් වහන්සේ කියනවා: “කවුරු හරි කියනවා නම් දුක තමුන් කළා කියලා, ඒ දුක හටගන්නෙත් ස්පර්ශයෙන්.. අනුන් කළා කියන දුක හට ගන්නෙත් ස්පර්ශයෙන්.. දුක තමනුයි අනුනුයි කළා, දෙපිරිසක් එකතු වෙලා කළා කියන දේත් හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් තොරව දුක විඳින්න පුළුවන්කමක් නැහැ“ කියලා.

මෙය ආනන්ද තෙරුන් වහන්සේ අසාගෙන සිටියා. උන් වහන්සේ මේ සියලු දේ බුදු රජාණන් වහන්සේට පැවසුවා. ඉන් පසු බුදු රජාණන් වහන්සේ කියනවා “සාදු! සාදු! ආනන්ද, සාරිපුත්ත තෙරුන් වහන්සේ මා විසින් දේශනා කරන ලද විදිහටමයි මේ ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙන්නේ.“ සාරිපුත්ත තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ කියනවා “සාරිපුත්තය, මේ ආකාරයට මමත් අන්‍ය තීර්ථක පිරිසකගේ ආරාමයකට වැඩම කළා. මගෙනුත් ඔවුන් මේ ප්‍රශ්නයම විමසුවා. එදා මම පිළිතුරු දුන්නෙත් මේ ආකාරයටමයි“ කියලා. “සාරිපුත්තය, මේ දේශනාවේ තියෙන්නේ ඒක දේශයක් විතරයි. ස්පර්ශය හේතුවෙන් දුක හට ගන්නවා කියන්නේ මේ ධර්මයේ තියෙන ඉතා කුඩා කොටසක් විතරයි. ආනන්ද, ඔබට මෙය විස්තර සහිතව වැටහේවා“ කියලා කිව්වා.

ඉන් පසුව ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනවා: “ස්වාමිනී ආශ්චර්යයයි! ස්වාමිනී ආශ්චර්යයි! සාරිපුත්ත තෙරුන් ඔබ වහන්සේ පිළිතුරු දුන් ආකාරයටමයි පිළිතුරු දී තිබෙන්නේ. මම විස්තර සහිතව කියන්නම්. කිසිවකු මගෙන් ඇසුවොත් ජරා මරණ හට ගන්නේ කෙසේද කියලා මම ඒ කෙනාට පිළිතුරු දෙන්නේ ජාති පච්චයා ජරා මරණං, ජරා මරණ කියන මේ වචන දෙක තුළ විශාල වචන ටිකක් ගැබ් වෙලා තිබෙනවා. එනම්: වසයට යෑම, ලෙඩ වීම, මරණයට පත් වීම, අප්‍රියයන් ඇසුරට ලැබීම, පියයන්ගෙන් වෙන් වීමට සිදු වීම, බලාපොරොත්තු වන දේ නොලැබීම, ශෝක පරිදේව දුක්ඛ, කායික දුක්ඛ දොමනස්ස, උපායාස කායික මානසික දැඩි වෙහෙස මේ වචන ටික තුළ ඔක්කෝම ටික හටගන්නවා. ජරා මරණ හටගන්නේ කුමක් හේතුවෙන්ද කියලා ඇහුවොත්: ඒ සියල්ල හටගන්නේ ඉපදීම නිසා කියලා“ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා.

ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන් පසු පිළිතුරු දෙනවා “කවුරු හරි මගෙන් ඇහුවොත් ඉපදුණේ කුමක් නිසාද කියලා, භව පච්චයා ජාති. එනම්: කර්මය නිසා ඉපදුණේ කියලා. ස්වාමීනී, කවුරු හරි මගෙන් අහනවා භවයට හේතු කුමක්ද කියලා. මම පිළිතුරු දෙනවා උපාදානය නැත් නම් දැඩිව අල්ලාගැනීම කියලා. දැඩිව අල්ලාගන්නේ කුමක්ද? රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ. කෙටියෙන් කීවොත් පංච උපාදනස්කන්ධයයි දැඩිව අල්ලාගන්නේ. මේ ආකාරයට අල්ලාගන්නේ ආශා කරන දේවල්. එසේ නම් උපාදානය හට ගන්නේ තණ්හාව හේතුවෙන්“ කියලා ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කළා.

Comments