අපට තවදුරටත් ඉවසන්න වෙනවා | Page 2 | සිළුමිණ

අපට තවදුරටත් ඉවසන්න වෙනවා

පාස්කු ඉරිදා එල්ල වූ අමානුෂික ප්‍රහාරයත් එක්ක ගෝලීය මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදයට ඇඟිල් දිගු වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

මෙය ගෝලීය ත්‍රස්තවාදයක් බව ඇත්ත. නමුත් මේ ගෝලීය ත්‍රස්තවාදය මෙතන පැළ වෙන්න උදව් කරේ කවුද? කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. අපේ රට පුංචි රටක්. ආරක්ෂාව ලබාදෙන්න අමාරු ඉන්දියාව වගේ විශාල රටක් නෙමෙයි. අනෙක් අතට වසර 30ක යුද්ධයකට මුහුණ දීල අත්දැකීම් ලබපු රටක්. ඒ නිසා මේ රට ලේසියෙන් ආරක්ෂා කරන්න පුළුවන් රටක්. මට හිතෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබුණු විරසකය නිසා ඒ අය ඒ අයගේ මතය ස්ථාපිත කරන්න උත්සාහ කළා මිසක් රටේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන කිසිම දෙයක් ගැන කල්පනා කරල බැලුවේ නැහැ.අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය බනිනවා, ආණ්ඩුවට. නමුත් පාර්ලිමේන්තුව කියන්නේ විපක්ෂය හා ආණ්ඩුපක්ෂය කියන දෙක ම මිසක් එකක් නෙමෙයි. ආණ්ඩු පක්ෂය තමන්ගේ වගකීම පැහැර හරිනවා නම් විපක්ෂය ඒක පෙන්නන්න ඕන. මෙහෙම දේවල් තියෙනවා මොනවද මේ දේවල් වෙනුවෙන් ගත්ත ක්‍රියා මාර්ග කියල අහන්න තිබුණා. නමුත් ඒ අය එහෙම කළේ නැහැ. මේ අය කටයුතු කරේ ඉදිරියට පැවැත්වෙන ඡන්දය දිහා බලාගෙන. ඊළඟ පාර ලොකු පුටුවට මම එන්නේ කොහොමද; කියන එක කල්පනා කළා මිසක් අහිංසක ජනතාවට යහපත සලසන්න අපි මොනාද කරන්නේ කියල මේ අය කල්පනා කළේ නැහැ. ඒ නිසා මේ ගැටලුවට මේ හැමෝම වගකියන්න ඕන. පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයේ ලේ මේ හැමෝගෙම අත්වල තැවරිලා තියෙනවා. ඒකෙන් මේ කාටවත් නිදහස් වෙන්න බැහැ.

එල්.ටී.ටී.ඊ යට මිනිස් බෝම්බ හදන්න සෑහෙන කාලයක් ගත වුණා. නමුත් ඉස්ලාම් මූලධර්මවාදීන්ට මේ තත්ත්වයට පත් වෙන්න එතරම් කාලය ගත වුණේ නැහැ. මේකට හේතුව කුමක් කියලද ඔබ හිතන්නේ?

මුස්ලිම් ජනයා හැමදෙනාම සිංහල දෙමළ අය වගේ නිදාගෙන නැඟිටලා නිකන් උඩ බලාගෙන ඉන්න අය නොවෙයි. මොනවා හෝ දෙයක් කරලා සල්ලි හොයන්න තමයි බලන්නේ. එක්කෙනෙක්ගේ බිස්නස් එක වැටුණාම දහදෙනෙක් එකට එකතුවෙලා ඒ වැටුණු ව්‍යාපාරයට සල්ලි දාල නැවත ලාබ ලබන තත්ත්වයට පත් කරනවා. එහෙම ලාබ ලබන කාලෙට ඒ ලාබයෙන් තමන් වියදම් කළ මුදල අයකරගෙන නැවත ඒ ව්‍යාපාරය කරගෙන යන්න ඔහුට අවස්ථාව සලසා දෙනවා. ඒ විදියට එකිනෙකාට උදව් කරගන්න සමාජයක් තමයි මුස්ලිම් සමාජය. මේ විදියට මුදල් හා ලාභය මත පදනම් වෙලා ඔවුන් වැඩ කරාට තමන්ගෙ අඹුදරුවන්ගැන හොයල බලන්න වෙලාවක් මේ අයට නැහැ. නමුත් සිංහල දෙමළ සංස්කෘතීන්වල පවුලේ හැමෝම එකට වාඩිවෙලා කෑම කාලා, කතා බහ කරල සිපවැළඳ ගෙන ආදරෙන් ජීවත් වෙනවා. ඔවුන් පුතා කොහේද ගියේ, දුවකොහේද ගියේ කියල අහනවා. මොනවද කරන්නේ කියල හොයල බලනවා. නමුත් මුස්ලිම් ගෙදරක තාත්තා නැහැ. ඔහුට හැම මොහොතකම බිස්නස්... බිස්නස්... බිස්නස්. මේ නිසා ඔවුන් ජාතියක් වශයෙන් එකට හිටියට පවුලක් වශයෙන් අසම්පූර්ණයි. ඔවුන් අතර මා පිය දූදරු සබඳකම් වර්ධනය වී නැහැ. ඒ නිසා ඔවුන්ගේ දරුවෝ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වෙලා මිනිස් බෝම්බ වෙනකම් මේ දෙමව්පියන් දන්නේ නැහැ. එහෙම නම් මේ සබඳතා අතර විශාල පරතරයක් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න ඒ සමාජය කටයුතු කරන්න ඕන.

ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් මේ ප්‍රහාරය සිදු කිරීමට කිතුනු දේවස්ථානම ඉලක්ක කර ගැනීම ඔබ දකින්නේ කොහොමද?

මම දැක්කා එක් වීඩියෝවක ඔය සහරාන් කියන පුද්ගලයා කිතුනුවන් කුරුසයට අයිති අය බල්ලන් ලෙස හඳුන්වනවා. මට හිතෙන්නේ කිතුනුවන් ඔවුන්ගේ ආගමට අගෞරවයක් ලෙස ඔවුන් සිතන බවයි. ඒකට හේතුව තමයි ඊසා නබි මැරුණේ නැහැ කියලා ඔවුන් පිළිගැනීම. ඔවුන් අහන්නේ උඹල කොහොමද කියන්නේ ඊසා නබි කුරුසයට තියල ඇණ ගැහුවා කියලා, ඔහු මිය ගියේ නැහැ. අල්ලාහ් විසින් ඔහු ස්වර්ගයට ගෙන ගියා. ඉසා නබී කියලා මේ අය හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි. එනිසා ඔවුන් සලකන්නේ කිතුනුවන් ඔවුන්ගේ ආගමට තර්ජනයක් විදියටයි. ඒ අය කියන විදියට අන්තිමට ඒ ඊසා නබි තමයි ලෝකය විනාශ කරන්නත් එන්නේ. දෙවන හේතුව ලෙස මා දකින්නේ නවසීලන්තයේ සිදු කළ වෙඩි තැබීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය සිදු කළ බවයි. මොකද එය සිදු කර තිබුණේ කිතුනුවෙක්. ඒ මොහොතේ ඔවුන් ප්‍රකාශ කර තිබුණා ලෝකයේ කොතැනක හෝ ඉන්න උඹේ ආගමට අයිති හැම ජාතියකට ම මේකට වන්දි ගෙවන්න වේවි කියල. එහෙම කියලා ආරක්ෂාව නැති පුංචි රටක් වුණු අපේ රට ඔවුන් තෝර ගත්තා. මොකද අපේ රටේ කිසිම ආරක්ෂාවක් නැහැ. ඕන කෙනකුට ඕන තැනකින් එන්න පුළුවන්, යන්න පුළුවන්. කොහෙන්ද ආවේ මොනවටද ආවේ කියල හොයලා බලන්නේ නැහැ. ඔවුන් ඒක දැනගෙන මෙහේ තුර්කියට ගිහින් පුහුණු වෙච්ච අයව යොදාගෙන මේ ප්‍රහාරය දියත් කර තිබෙන බව පේනවා.

බටහිර ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන අයිඑස් ත්‍රස්තවාදය දකුණු ආසියාවට සංක්‍රමණය වීමක් ලෙස මේ සිද්ධිය වටහා ගන්න බැරිද? ඒවගේම මේ හරහා ආසියාවේ ඔවුන්ගේ ආධිපත්‍ය පැතිරවීමට උත්සාහ කිරීමක් ලෙස මේක දකින්න බැරිද?

ඔව්, ඔවුන් ඔබ කිව්වා වගේ බටහිර ලෝකය තුළ ඒක හදල ඉවරයි. අපි දැක්කා මීට ප්‍රථම ප්‍රංසයේ නොස්ට්‍රඩෑම් කිතුනු දේවස්ථානයකටත් ඔවුන් ප්‍රහාර එල්ල කරනවා. දැන් ආසියාවත් ඔවුන් අල්ල ගන්න බව ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි අපේ ආරක්ෂක අංශ තවදුරටත් ශක්තිමත් කළ යුතු වෙනවා. මීට මුහුණ දෙන්න වෙන විකල්පයක් අපට නැහැ.

මේ තත්ත්වයෙන් අපි සමාජයක් විදියට එළියට එන්න නම් කරන්න ඕන මොනවද?

මම මේ රටේ ජනතාවට කියන්නේ විනාශකාරී ක්‍රියාවට සම්බන්ධ වුණ කිහිප දෙනෙක් ඇරුණම හැමෝම දිහා ඒ කෝණයෙන් බලන්න යන්න එපා. ඒක වැරදියි. එහෙම කළොත් අනියමින් අපි ඔවුන්වත් ඒ සඳහා පෙලඹවීමක් කරන්නේ. දැන් ඇති වී තිබෙන තත්ත්වය අනුව ආරක්ෂක ක්‍රියාන්විතයන්වලදී මුස්ලිම් ජනතාවට හිරිහැර වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ඉවසන්න ඕන. මට මතකයි, එල්.ටී.ටී.ඊ යුද්ධය පැවති සමයේ මාත් බිරියත් දරුවනුත් එහෙ මෙහෙ යනකොට මගේ බිරිය සිංහල නිසා එයාට යන්න දෙනවා. නමුත් මාවත් මගේ දරුවනුත් උඩ ඉඳල පහළට පරික්ෂා කර රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඒ මම දෙමළ නිසා. ඉතින් ඒක අපිට වදයක් වුණත් ඉවසන්න සිදු වුණා. මොකද ඔවුන් ඒ දේ කළේ අපිත් එක්ක තියෙන පුද්ගලික තරහක් නිසා නෙවෙයි. මේ රටේ හැමෝගෙම ආරක්ෂාව සඳහායි. ඒක අපි හැමෝට ම වැදගත්. රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්න නම් අප ඊට සහාය දිය යුතුයි. එනිසා මේ තත්ත්වය පහව යනකම් එවැනි කරදර හිරිහැර ඉවසන්න මුස්ලිම් ජනතාවට සිදු වේවි. ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ මීට වැඩිය වගකීමකින් කටයුතු කරන්න ඕන. පක්ෂ විපක්ෂ හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන වෙලාවක් මේ. නමුත් අද අපිට පේන්නේ දේශපාලන වාසිය සඳහා දෙපැත්ත බෙදිලා එකිනෙකාට දොස් පවරමින් කුලල් කා ගන්න දේශපාලන වටපිටාවක්. අපට සමඟි වෙලා එක මතයකට ඇවිත් රටේ ජනතාව ගැන හිතලා කටයුතු කරන්න බැරිනම් අප තවත් විශාල අර්බුදයකට මේ රට අරගෙන යනවා. එනිසා ජනතාවගේ ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් රජ්‍ය නිසිලෙස කළමනාකරණය කළ හැකි නව දේශපාලන සංස්කෘතියකට මේ රට රැගෙන යා යුතුයි.

අද ඇතැම් ආගමික නායකයන් පක්ෂ පාටවලට බෙදිලා මේ බල සූදුවේ ඉත්තන් බවට පත්වෙලා රට අගාදයටම ඇදගෙන යනවා. ඔබත් පක්ෂ දේශපාලනයට කඩේ යන ආගමික නායකයෙක්ද?

අපට ආගමික නායකයන් විදියට දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෙන්න අවසරයක් නැහැ. එහෙම සම්බන්ධ කමක් තිබුණොත් අපේ තනතුරවලින් හා අපේ පූජ්‍යභාවයෙන් අපව ඉවත් කරනවා. ඇතැම් පක්ෂවලට සම්බන්ධව කටයුතු කරන ආගමික නායකයන් ඉතාම සුළු පිරිසක් අප දකිනවා. නමුත් බහුතර පිරිසක් එහෙම නැහැ. ඇතැම් අවස්ථාවල ජාතික ප්‍රශ්නයක් ගැන කතා කරන්න ගියාම මේ අය දෙපැත්ත තුන් පැත්ත බෙදිලා වාද කරනවා. ඉතින් අදාළ ප්‍රශ්නයට මේ අය විසඳුම් දෙන්නේ කොහොමද? එනිසා අප හැමෝම අපේ පූජ්‍යත්වය රැක ගන්න ඕන. අපට පැවරී තිබෙන්නේ පක්ෂයක වැඩ කොටසක් නොවෙයි. ජනතාව ආධ්‍යාත්මිකව සුවපත් කිරීමේ කාර්යයයි. අප අපේ කටයුත්ත නිසියාකාරව ඉටු කරමින් කටයුතු කිරීම මෙහිදී ඉතාම වැදගත් බවයි මගේ අදහස.

සේයාරූ - සිරිපාල හල්වල

Comments