BOLLYWOOD & HOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD & HOLLYWOOD

මහ ඡන්දෙදි තරු කැමැත්ත

ඉන්දීය මහ මැතිවරණය පිළිබඳව බොලිවුඩ් කලාකරුවන් සහ කලාකාරියන් තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. තදබල අසනීපයක් නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ප්‍රවිණ නළු රිශි කපූර්ටත් ඒ උනන්දුව ඇතිවෙලා. තම සහෝදර නළු නිළියන් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අයුරු දැනගත් රිශිටත් තම ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා තම රටට යෑමට ඉඩ දෙන්නැයි ඔහු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරලා.

ඒත්, වෛද්‍යවරු රිශිගේ ඉල්ලීමට ඉඩ දී නැහැ. ඒ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැති නිසා‍. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ රිශිගේ රෝගී තත්ත්වය තවමත් හරි හැටි හඳුනාගෙන නැති බවයි. ඒ නිසා ඡන්දය ප්‍රකාශ කරන්න ඉන්දියාවට යෑමේ වරම ඔහුට ලැබෙන එකක් නැහැ. මේ නිසා රිශි තවත් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, නිව්යොර්ක් නුවර සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි. ඒත් එවැන්නකට ඉඩ දීමේ නීති ප්‍රතිපාදන නැතිලු.

ඉන්දියාවේ මේ දිනවල රැඳී සිටින ජනප්‍රිය බොලිවුඩ් තරු කැල නම් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතරන් කැපී පෙනෙන්නේ උර්මිලා මතොන්ද්කාර්. ඇය ඡන්ද අපේක්ෂිකාවක ද වන නිසයි වැඩි දෙනකුගේ අවධානය යොමුවී තිබෙන්නේ. ඇය කොංග්‍රස් පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස තරග වදින්නේ උතුරු මුම්බායි ආසනය වෙනුවෙන්. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඇය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කළේ ඉක්මනින් ම ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි. සුපිරි නිළි ප්‍රියංකා චොප්රා, තම මව සමඟ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කර එද්දී මාධ්‍ය කැමරා ඇසට ලක්වුණා. අමිතාබ් භච්චන්, අභිෂේක් සහ ඓශ්චර්යා යුවළ, ජනප්‍රිය ගායක සහ සංගීතඥ ශන්කර් මහාදේවන් යන තරු පිරිවර ද ඡන්දය ප්‍රකාශ කරන්නට පැමිණ සිටියා.


මරාගෙන මැරෙන චරිතයකින් දොරට වඩින කරන්

වයස අවුරුදු 15 පටන් සිනමාව ගැන උනන්දුවක් දැක්වූ ඔහු, අද වන විට 25 වියැති තරුණයෙක්. වසර දහයක පමණ කාලයක සිට අසුන් පිට යෑමට, මෝටර් බයිසිකල් පැදීමට, බැංකොක් හිදී සටන් කලාව පුහුණුවීමට මෙන් ම රංගනය පිළිබඳ පාඨමාලාවන් හැදෑරීමට ද කාලය කැප කළ ඔහු, යොවුන් වියට එළඹෙත් ම සිනමාවට එකතු වුණේ සහය අධ්‍යක්ෂවරයකු හැටියටයි. ඔහු තමයි, කරන් කපාඩියා.

අද ඔහු බොලිවුඩ් නළුවෙකු ලෙස හපන්කම් දක්වන්නට පටන් ගෙන තිබෙනවා. ළඟදීම තිරගත වීමට නියමිත ‘බ්ලෑන්ක්’ නම් වූ චිත්‍රපටයෙන් රංගනයට ඔහු පිවිසෙන්නේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුගේ චරිතයකට පණ පොවමින්. කරන්ගේ වාසගම ඔබ අප කාටත් හුරුයි. සැබවින්ම ඔහු බොලිවුඩ් සිනමා නිළියකගේ පුත්‍රයෙක්. කරන්ගේ මව, ජනප්‍රිය නිළියක වූ සිම්පල් කපාඩියා. ඇය, ජනප්‍රිය නිළි ඩිම්පල් කපාඩියාගේ සෙහොයුරියයි. “හුඟ දෙනෙක් මා ගැන දන්නේ නැහැ. මොකද, මම මාධ්‍යවලින් ඈත්වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන නිසා. අවුරුදු 11 වෙනතුරු මම හැදුණේ මගේ ආච්චි ළඟ. ජීවිතය ඉදිරියට ගෙනියන්න මගේ අම්මා පසුබිමෙන් හිටියා. (සිම්පල් කපාඩියා 2009 දී මිය ගියා) අද මගේ ලොකුම රසිකාව තමයි, මගේ ලොකු අම්මා, ඩිම්පල් කපාඩියා.” කරන් තම ජීවිතයෙන් බිඳක් ‍එලෙස හෙළි කළා.


විවාහයට විශ්‍රාමය ඈඳිලා

දැන් තිරගත වන ‘Avengers: Endgame’ චිත්‍රපටයේ රඟන ක්‍රිස් එවන්ස් පසුගියදා සිදු කළ ප්‍රකාශයක් නිසා බොහෝ දෙනෙකු සිතුවේ මේ දක්ෂ රංගන ශිල්පියා සිනමා රංගනයෙන් ඉවත් වේවිය කියලයි. 1997 දී (වයස අවුරුදු 16 දී) අධ්‍යාපනික වාර්තා වීඩියෝ චිත්‍රපටයක පෙනී සිටීමෙන් තම සිනමා චාරිකාව ආරම්භ කළ ක්‍රිස් එවන්ස් කිහිප වතාවක් ම විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා.

රසික ආකර්ෂණයට ලක්වූ චිත්‍රපට රැසක රඟපෑ ක්‍රිස් පැවසුවේ විවාහයක් ගැන සිතීමට දැන් කාලය එළඹ තිබෙන බවයි. “විවාහයක් කරගෙන දරුවො ලබලා ජීවිතය හොඳින් ගත කරන්නයි මගේ කල්පනාව. මට බිරියක් අවශ්‍යයි. දරුවන් අවශ්‍යයි” ක්‍රිස්ගේ මේ ප්‍රකාශයට වැරැදි අරුතක් දුන් ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කළේ රංගන දිවියෙන් විශ්‍රාම ගැනීමට ක්‍රිස් අදහස් කරගෙන සිටින බවයි. “මම කොතනකදිවත් කිව්වෙ නැහැ, සිනමාවෙන් විශ්‍රාම ගන්නවාය කියලා” ක්‍රිස් අසත්‍ය ප්‍රචාරවලට එලෙස පිළිතුරු දුන්නා.

මේ වනවිට 37 වැනි වියෙහි පසුවන ක්‍රිස් ගේ පෙම්වතිය කවුරුන් විය හැකි දැයි සමහරු විමසනවා. ඔහු සහ සිනමා නිළි ජෙනී ස්ලේට් අතර පවතින්නේ කෙබඳු සමීප ඇසුරක් දැයි බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වෙලා.


මරියාට ගෞරව සම්මානයක්

ගීත රසික කැල ප්‍රිය කරන තරුවක් පසුගියදා පැවැති බිල්බෝඩ් සංගීත සම්මාන උලෙළේදී විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. ගායිකාවක, ගීත රචිකාවක, සිනමා නිළියක මෙන් ම ගී තැටි නිෂ්පාදිකාවක ලෙසින් ද හපන්කම් දක්වා ඇති ඇය තමයි, මාරියා කැරේ.

මේ වනවිට තම ජීවිතයේ පස්වැනි දශකය අබියස සිටින මාරියා, සංගීත ලොවට පිවිසුණේ 1990 දීයි. ලාස් වේගාස් නුවර පැවැති බිල්බෝඩ් සම්මාන උලෙළෙහිදී තමන් වෙනුවෙන් පිදෙන සම්මානය ලබාගැනීමට වේදිකාවට පිවිසෙද්දී ප්‍රේක්ෂකාගාරයෙන් ඇය වෙත පළවුණේ උණුසුම් ප්‍රතිචාරය මුසුවූ අත්පොලසන් නාදයක්. මාරියාට බිල්බෝඩ් සම්මානය පිරිනැමීමට වේදිකාවට පිවිසුණු ජනප්‍රිය ගායිකා ජෙනිෆර් හඩ්සන් ගෙන් ද පළවුණේ එවැනිම උද්වේගකර ප්‍රතිචාරයක්.

සම්මානය දෝතට ගත් විගසින් ම තම නිවුන් දරුවන් දෙදෙනා දෙස බලා ප්‍ර‍ීතියෙන් හඬ නගන්නට මාරියා අමතක කළේ නැහැ. (ඇගේ දරු දෙදෙනා වන මොරෝක්කාන් සහ මොන්රොගේ වයස අවුරුදු 8 යි. දෙදෙනාගේ උපන්දිනය යෙදී තිබුණේ අප්‍රේල් 30 දාටයි.) මේ පුංචි දරුවන් දෙදෙනා ද මව වෙතට දෑත් දිගු කරමින් සතුට පළ කළා.

 

 

Comments