ළඟ­දීම අලුත් දෙයක් කර­නවා | Page 2 | සිළුමිණ

ළඟ­දීම අලුත් දෙයක් කර­නවා

රියැලිටි වේදිකාවෙන් රංගනයට පිවිසුණු ඇය හංසිනී විමල්සිරිය. ගායනයට මෙන්ම රංගනයට දක්ෂ හංසිනි මේ දිනවල දෙරණ නාලිකාවෙන් විකාශය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍යයෙන් අප හමුවට එනවා. කලාවේ දිගු ගමනක් යන්නට පෙරුම් පුරන මේ රුවැත්තිය මෙවර රසඳුන තුන්වැනි පිටුව හැඩකරන්නට එක්වූයේ මෙලෙසයි.

කොහොමද හංසිනී...

හොඳින් ඉන්නවා.

නිශානි මේ දවස්වල හරිම ජනප්‍රියයි නේද?

ඔව්. සංගීතේ ටෙලිනාට්‍යයේ ලොකු අක්කා තමයි නිශානි කියන්නෙ. නිශානිට මග තොටේදිත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නිශානි කියන්නෙ මොන වගේ චරිතයක්ද?

නිශානි කියන්නෙ වයස අවුරුදු තිස්පහක් පමණ වන ළදරු පාසල් යන දරුවකු සිටින මවක්. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. පවුගේ වැඩිමහල් සොහොයුරිය නිසා ටිකක් සැරයි. වසයි.

සංගීතෙ පළමු ටෙලි නාට්‍යයද?

ඔව්. සංගීතේ පළමු ටෙලිනාට්‍යය. ඒ මීට පෙර දෙරණ නාලිකාවෙන් විකාශය කළ පෝය ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. ඒ ටෙලි චිත්‍රපටවලින් ලබපු අත්දැකීම නිසා සංගීතේ රඟපාන්න පහසුවුණා.

ඇයි ඔබට මවගෙ චරිතම ලැබෙන්නේ...

මගේ වයස දැන් අවුරුදු විසි පහයි. සංගීතේ ටෙලි නාට්‍යය සහ ගිරිදුර්ග පෝය ටෙලි චිත්‍රපටයේ මවගේ චරිත රඟ දක්වනවා. අනෙක් ටෙලි චිත්‍රපට දෙකේම රඟපෑවේ තරුණියකගෙ චරිත.

හංසිනි කලාවට එන්නෙ රියැලිටි වැඩසටහනකින්..

දෙරණ ඩ්‍රිම්ස්ටාර් සීසන් 07 තරගයේ නවවැනියා වූයේ මමයි. එම තරගය පැවැත්වුණේ 2017වසරෙදි. ඉන් පසුවයි රංගනයට පිවිසෙන්නේ.

ගායනය පැත්තෙන් මොනවද ඔබ කළේ?

ඩ්‍රිම්ස්ටාර් තරගයෙන් පසුව මගේම ගීත තුනක් කළා. තව අලුත් ගීතයකුත් මේ දිනවල කරගෙන යනවා. ඩ්‍රිම්ස්ටාර් එන්න කලින් ‘ආදරේ කතාවක්‘ ගීතය එළි දැක්වුවා. ඉන් පසුව තමයි ‘රෝස හීනය‘ හා ‘අනුරාගි‘ ගීත ගායනා කළේ. තව මෑෂප් කවර් එකක් කළා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ සියල්ලම යූ ටියුබ් එකෙන් අසන්න පුළුවන්.

රංගනය හා ගායනය යන මාධ්‍යයන් දෙකෙන් එකක් තෝරාගන්න සිදු වුණොත්...

නිසැකවම ගායනය තමයි තෝරා ගන්නේ. කොහෙත්ම අදහසක් නැහැ දිගටම රඟපාන්න. අනාගතයේ හොඳ ගායිකාවක් වෙන්න තමයි කැමැති. සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ දීර්ඝකාලීනව කෙරෙන නිර්මාණයක් නිසයි. ඒ ඇරෙන්න වෙනත් නිර්මාණ භාරගෙන නෑ.

පාසල් කාලයේදිත් කලා කටයුතුවල නියැළුණාද?

පහ වසර දක්වා පාසල් ගියේ දෙබරවැව ජනාධිපති ප්‍රාථමික විදුහලට. හයවැනි වසර සිට උසස් පෙළ දක්වා දෙබරවැව ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවා. පාසලේදි ගායනය පැත්තෙන් සහභාගි වුණත් රංගනය පැත්තෙන් ඉදිරිපත් වී නැහැ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැනත් මතක් කරමු...

මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ව්‍යව­ාහරික සංගීත හා ජනසන්නිවේදන අංශයේ අධ්‍යාපනය ලබනවා. දැන් තුන්වැනි වසරේ ඉගෙනුම ලබන්නෙ. එහිදී අධ්‍යක්ෂවරයකු ලෙස කොහොමද වැඩ කරන්නේ කියාත් ඉගෙන ගන්නවා.

පවුලේ විස්තර ටිකක් කියමුද?

මගේ ගම තිස්සමහාරාමය. ඉගෙනුම් වැඩ සහ ටෙලි නාට්‍යයේ වැඩ නිසා කොළඹ නැවතිලා ඉන්නවා. මගේ මව සහ පියා විශ්‍රාමික රජයේ සේවකයන්. සොහොයුරන් තිදෙනාම විවාහකයි.

පෙම්වතා ගැනත් මතක් කරමුද?

දැනට පෙම්වතෙක් නැහැ. යෝජනා නම් එනවා. පෙම්වතියක් වන්නට පෙර සම්පූර්ණකර ගන්න වැඩ තියෙනවා. අම්මගෙ, තාත්තගෙ බලාපොරොත්තු ඉටු කරන්න ඕනෑ. ඔවුන් මං ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙනයි ඉන්නෙ.

අනාගත බලාපොරොත්තු මොනවද?

රැකියාවක් ලෙස කලාවේ නිරත වෙන්න අදහසක් නැහැ. රංගනයෙන් ඉවත් වුණත් ගායනයෙන් ඈත් වෙන්න ටිකක් අමාරුයි. මම දැනටත් ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පය හදාරනවා. ඒ පැත්තෙන් දෙයක් කරන්නත් අදහසක් තියෙනවා. ළඟදීම තව අලුත් දෙයක් කරනවා. එය කලාවට සම්බන්ධ දෙයක්. ඒ ගැන පසුව කියන්නම්. 

Comments