සිනා කතා | Page 2 | සිළුමිණ

සිනා කතා

කීයක් නං ඉතුරුයිද?

“රට ගිනි අරගෙන තියෙද්දි මොකද සංවිධායකතුමා මොනවදෝ ගණන් වගයක් හද හදා ලොකු සතුටකින් වගෙ හිනා වෙන්නෙ?” සුබසිංහගේ කාර්යාලයට ගොඩ වූ විපුල ඔහුගේ අමුතු හැසිරීම දෙස පරීක්ෂාවෙන් බලමින් ඇසීය.

“ඇයි මනුස්සයෝ අද උදේ ප්‍රවෘත්ති ඇහැව්වෙ නැද්ද? හෙට මැයි දිනේට නියමිත පෙළපාළි රැස්වීම් හැම දෙයක්ම නවත්තන්ඩ තීරණය කරල. අපේ පක්ෂෙ පෙළපාළිය තිබුණා නං අපේ ආසනේ එකාලට යන්ඩ වාහනය, බොන්ඩ අරක්කුයි, කන්ඩ බත් පාර්සලුයි කීයක් නං යනවද? දෙයියන්ගෙ පිහිටෙන් දැන් ඒ සේරම වියදම් ඉතුරුයිනෙ” සුබසිංහ කීවේ කට පළල් කොට සිනා සෙමිනි.

 

කවුරු හරි එහෙම කළොත්...?

“හෙමින් හෙමින් වුණත් කමක් නැහැ ඔයා ව්‍යායාමෙටත් එක්ක පාර දිගේ ටිකක් දුර ඇවිද්දොත් නේද හොඳ?” අසංග කීවෙ මෝරා වැඩී ඇති තම බිරියගේ බඩ දෙස බලමිනි.

“‍ඔයාට පිස්සු ද අනේ. මට මේ බඩත් බැඳගෙන අමාරුවෙන් වගෙ පාර දිගේ ඇවිදින කොට කවුරු හරි මදාවියෙක් පොලිසියට ඔත්තුවක් දුන්නොත් මම බර බෝම්බයකුත් බඩේ බැඳගෙන යන ත්‍රස්තවාදී කාන්තාවක් කියල” මුතු කීවේ සෙමින් තම කුස අතගාමිනි.

 

හේතුව ඒක නෙමෙයිද?

“ලියනගේ මහත්තයා මොකද මේ තට්ටේ ගාලා. මොකද හැබෑට ඔහේගෙ කොණ්ඩෙට වුණේ?”

හැරමිටියක් ගසමින් සෙ‍මෙන් සෙමෙන් තම කඩයට ගොඩ වූ ලියනගේ දෙස බැලු දැදිගම සිනාවක් නඟමින් ඇසුවේ‍ ප්‍රශ්නාර්ථයක් දල්වාලමිනි.

“මේ පෑවිල්ලෙ සැරට දාඩිය දාන්ඩ ගත්තාම කොණ්ඩෙත් කසන්ඩ ගන්නවා දැදිගම. ඒකයි තට්ටේ ගෑවේ” ලියනගේ කඩයේ කොනක වූ පුටුවක වාඩිවෙමින් කීවේය.

“හැබෑද මං හිතුවා. ලියනගේ මහත්තයා පසුගිය දවස්වල මධුෂ්ගෙ ඩුබායිවල සාදයට ගියාවත්ද කියල.‍ ඒකට මෙහෙන් ගිය කට්ටිය හැමෝම ආපහු එව්වේ තට්ටේ ගාලනෙ” දැදිගම කීවේ සෝපහාසි සිනාවක් නඟමින්.

 

 

ස්තුති නොකර පුළුවන්ද?

“දයාපාල මල්ලි, ඔයා පහුගිය සතියේ සිංදුවක් ලියලා ඒකට තනුවක් දාලා ඔයාට ඒක ගායනා කරලා හදපු සීඩී තැටියක් මට දුන්නනෙ. අන්න ඒ සීඩී තැටියට ස්තුති කරන්නයි මම මේ කතා කළේ.” වැඩිහිටි නළුවකු වූ වරකාපොල, දයාපාල හට දුරකථන ඇමතුමක් දෙමින් කීවේය.

“තෑන්කියු මිස්ටර් වරකාපොල, තකහනියක් මට කෝල් කළාට. ඔහොම කතා කරල මගෙ සින්දුව අගය කරන එක මට කරන ලොකුම ගෞරවයක් විදියටයි මම සලකන්නේ” දයාපාල පිළිතුරු දුන්නේ උතුරා යන සතුටකිනි.

“නෑ... නෑ... මල්ලි, සින්දුව ගැන නෙමෙයි මම කිව්වේ. අපේ ගෙදර සාලෙ බිත්තිය අද්දරට ලොකු අඹ ගහක් තියෙනවා. ඒකෙ මේ දවස්වල ගෙ‍ඩි පිරිලා. වවුලොයි, වදුරොයි ඒ අඹ ඵලදාවට වහවැටිලා කරන විනාසෙට මොනවා කරන්නද කියල විස්සෝප වෙවී ඉන්නකොට සාලෙ ඉඳගෙන මම ඔයාගෙ සින්දුව ඇහැව්වා. එදා ඉඳලා කිසිම වවුලෙක් වඳුරෙක් අපේ වත්ත කිට්ටුවටවත් එන්නෙ නැහැ. ඒ නිසා දැන් මම ඒක හැමදාම දානවා. ඒක හින්දා මේ දවස්වල ගහේ අඹ ටික අපූරුවට පැහෙනවා. ඉතින් මල්ලි, ඒ උපකාරෙට ස්තුති නොකර ඉන්ඩ පුළුවන්ද?” වරකාපොල කීවේ කෘතඥතා පූර්වකව ය. 

Comments