සිනමා කර්මා­න්තය කියන්නේ පාඩු ලබන මාධ්‍ය­යක්් නො‍ෙවයි | සිළුමිණ

සිනමා කර්මා­න්තය කියන්නේ පාඩු ලබන මාධ්‍ය­යක්් නො‍ෙවයි

පසුගිය පාස්කු ඉරිදා මෙරට ස්ථාන අටකට එල්ල වු ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් පැන නැඟුණු තත්ත්වය සමස්ත ආර්ථිකයටම දරුණු ලෙස බලපා තිබේ. එය අනෙක් ක්ෂේත්‍රයන්ට මෙන්ම කලාවටත් පොදු කරුණකි. කලාව තුළ විශේෂයෙන් සිනමා ක්ෂේත්‍රයට මෙයින් එල්ලවූයේ දරුණු පහරකි. මහජනතාව සිනමාහල්වලට නොයෑම හේතුවෙන් සිනමාහල් වැසී යන තත්වයට පත්ව තිබේ. ඒ පිළිබඳව මෙන්ම චිත්‍රපට සංස්ථාවේ සභාපතිනිය අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සමඟ කළ සංවාදයකි මේ.

චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිනිය ඔබයි. පසුගියදා ඇති වූ ත්‍රස්තවාදි ප්‍රහාර හේතුවෙන් සිනමා ක්ෂේත්‍රයට සිදු වූ බලපෑම කෙබඳුද?

පසුගිය පාස්කු ඉරිදා ස්ථාන අටකට ත්‍රස්තවාදි ප්‍රහාරයන් එල්ලවුණා. එය මෙරට කලාවට පමණක් නොවෙයි සමස්ථ ආර්ථිකයටම බලපා තිබෙනවා. අපේ සිනමා කර්මාන්තයටත් මෙයින් බලපෑම් එල්ලවූ බව රහසක් නොවෙයි. සිනමාවට සිදුවූ බලපෑමට මේ වනවිට විසඳුම් සොයමින් සිටිනවා. ඉදිරියේදි ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

 

ඔබ පසුගියදා ප්‍රකාශ කර තිබුණා මේ කාලය තුළ ප්‍රදර්ශනය කෙරෙන සිනමා පට සඳහා සහනදායි පිළිවෙතක් අනුගමනය කරනවා කියලා.. ඒ පිළිබඳව වැඩි විස්තරයක් කරනවද?..

පසුගිය සති දෙකක පමණ කාලය තුළ මෙරට මහජනතාව පසුවූයේ භීතියෙන් සහ තැතිගැන්මෙන්. ඔවුන් සිනමාපට බලන්න සුදුසු මානසික මට්ටමක පසුවූයේ නැහැ. ඒ නිසා එම කාලය තුළ සිනමාහල්වලට කිසිවකු ගියේ නැහැ. එක දිනයක් ජාතික ශෝක දිනයක් නිසාවෙන් සම්පූර්ණයෙන්ම දිවයින පුරා සිනමාහල් වසා දැමුවා. නියමිත ආකාරයට සිනමාපට ප්‍රදර්ශනය කිරීම ඇරැඹුවේ පසුගිය සතියේ සිටයි. එනිසාවෙන් අපි සිනමාහල්වලින් ඉල්ලීමක් කළා මේ කාලය තුළ ප්‍රදර්ශනය කරන සිනමාපට සඳහා ප්‍රදර්ශන කාලය දීර්ඝකරන ලෙස. මණ්ඩල පහෙන්ම කළ එම ඉල්ලීමට මේවන විට රිද්ම මණ්ඩලය කැමැත්ත පලකර තිබෙනවා. මම හිතනවා අනිත් මණ්ඩල වලිනුත් එම යෝජනාවට කැමැතිවෙයි කියා. කෙසේ වෙතත් උපරිම සතියක පමණ කාලයක් තමයි දීර්ඝ කෙරෙන්නේ. එයත් ප්‍රේක්ෂකයන් තමයි තීරණය කළ යුත්තේ.

 

මේ තත්ත්වය දිගටම පැවතුනහොත් මෙරට සිනමාවට ශෝචනීය තත්වයක් උරුමවෙයි නේද?

ඒ තත්ත්වයෙන් සිනමාව මුදා ගන්න දැනටමත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යනවා. මෙරට සමස්තයම වෙනස්වෙලා. එම වෙනස යථා තත්වයට පත්කිරීමට පොදු ප්‍රතිපත්තිවලට යන්න සිදුවෙලා. එහිදී ආරක්ෂාව සැලසීම ප්‍රධාන කරුණක්. මේ සියලුදේට විසඳුම් ලබාදීමට මේවන විට ප්‍රතිපත්ති සැකසෙමින් පවතිනවා. ඒ පිළිබඳව ආරක්ෂක හේතුන් මත වැඩිදුර විස්තර කියන්න අපහසුයි.

 

සිනමා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මොනවද ඔබ සැලසුම්කර තිබෙන්නෙ..

මෙරට සිනමාහල් 191ක් තියෙනවා. එම සිනමාහල් වර්ගීකරණය අනුව ඒ ඒ සිනමාහල්වලට පහසුකම් ලබා දීමට සැලසුම් කරගෙන යනවා. එම ලැයිස්තුවට අනුව කොටස් තුනක් යටතේ සිනමාපට බෙදා වෙන්කළා.

චිත්‍රපට 99ක් වර්ගීකරණය කළා. ඒවා අතරින් ප්‍රමිතියෙන් යුතු නිර්මාණ ප්‍රධාන වේලාවන්හිදිත්, මධ්‍යස්ථ නිර්මාණ මැද වේලාවන්හිදීත්, අපේ ප්‍රමිතියට අදාළවන්නේ නැති නිර්මාණ ඉවත්කිරීමටත් පියවර ගන්නවා.

ඒ වගේම සිනමා පාසලක් ආරම්භ කිරීමටත්, නව චිත්‍රාගාරයක් ඉදිකිරීමටත් සැලසුම් සකස් කරමින් පවතිනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ පසුගිය ජන්ම දිනයදා ලෙස්ටර් කෞතුකාගාරයට සහ සිනමා පුස්තකාලයට මුල්ගල් තැබුවා.

එය කඩිනමින් ඉදිකිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම චිත්‍රපට සංස්ථාවේ සේවක පුරප්පාඩු බොහොමයක් පවතින නිසා එහි කාර්යභාරය නිසිලෙස සිදුවන්නෙ නැහැ. කඩිනමින් බඳවාගැනීම් සිදු කර මෙරට සිනමාලෝලීන් වෙනුවෙන් හොඳ සේවාවක් ලබා දීමට ක්‍රියා කරනවා.

 

නිර්මාණයන්හි පවතින ගුණාත්මකභාවය අඩු වීම නිසා සිනමාලෝලීන් සිමාහල්වලින් ඈත් වෙලා. රසිකයන් නැවත සිනමාහල්වලට ගෙන්වා ගැනීමට කිසියම් ක්‍රමවේදයක් සකසනවාද?

ඇතැම් නිර්මාණකරුවන් සිනමා අධ්‍යක්ෂවරයෙක් යැයි කියා හඳුන්වාදීමට චිත්‍රපට හදනවා. තවත් නිර්මාණකරුවන් ටෙලි නාට්‍යය පෙන්වගන්න බැරිවුණාම එම නිර්මාණය චිත්‍රපටයක් බවට පත් කරනවා. මෙවැනි හේතු නිසා ප්‍රමිතියෙන් තොර සිනමාපට ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ වගේම සිනමාහල්වල තිබෙන පහසුකම් ප්‍රමාණවත් නොවීම ඇතුළු හේතු නිසයි ප්‍රේක්ෂකයන් සිනමාහල්වලින් ඈත්ව සිටින්නෙ. ඒවාට විසඳුම් ලබාදෙමින් නැවතත් මෙරට සිනමා කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නවා.

 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සහනදායි පිළිවෙතක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා නේද?

අවුරුදු හැටට වැඩි වැඩිහිටියන්ට සිනමාපට නැරඹීම සඳහා නියමිත මුදලින් අඩක් එනම් සියයට පනහක අඩු කිරීමක් කර සිනමාපට පෙන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එම යෝජනාවට සිනමාහල් හිමියන් මේවන විටත් එකඟතාව පලකර තිබෙනවා. එමගින් අපගේ බලාපොරොත්තුව වැඩි පිරිසක් සිනමාශාලාවලට ගෙන්වා ගැනීමයි.

 

මේ දේවල්වලින් පණ අදිමින් සිටින සිනමා කර්මාන්තය ගොඩගත හැකිවේයැයි ඔබ විශ්වාස කරනවාද?

කිසිම රටක සිනමා කර්මාන්තය කියන්නේ පාඩු ලබන මාධ්‍යයක් නෙමෙයි. ලංකාවේ පමණයි සිනමාව පාඩු ලබන මාධ්‍යයක් බවට පත්ව තිබෙන්නේ. නැවතත් සිනමා කර්මාන්තය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය මගපෙන්වීම සංස්කෘතික ඇමැතිවරයාගෙන් ලැබෙනවා. අපිට ඕනෑ ආදායමක් ලැබෙන සිනමා කර්මාන්තයක්. එය රටේ මානව සංවර්ධනයට වගේම සමාජ සංවර්ධනය සඳහාත් යොදාගත හැකියි. ඒ කාර්යය සිදු කිරීම අපහසුවක් යැයි මම හිතන්නෙ නැහැ. ඒ ඉලක්ක සපුරාගැනීමට අපේක්ෂා සහගතව වැඩ කරනවා.

 

Comments