විදෙස් චිත්‍ර­පට | සිළුමිණ

විදෙස් චිත්‍ර­පට

සටනක් අරඹන්නේ පරාජය ගැන බියෙන් නම් ඔහුට හෝ ඇයට කිසිදා ඒ සටනින් ජය ගත නොහැකිය. ජය ලැබීම යනු යමක් හිමි කර ගැනීම පමණක්ද? තෙලිඟු සුපිරි තරුව මහේෂ් බාබු ‘මහර්ෂි‘ සිනමා නිර්මාණයේ රිෂි කුමාර් වෙමින් ප්‍රේක්ෂකයන්ට සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබේ.

රිෂි කුමාර් නව යොවුන් වියේ සිට සිහින මැව්වේ සාර්ථකත්වයේ ඉහළටම පියමං කර ලෝකය පාලනය කිරීමටය. සාර්ථකත්වය කරා පියවර නඟද්දී ඔහුට පූජා මුණ ගැසෙයි. ජීවිතය යනු මුදල් නොවන බව පියා පුතුගේ ඉලක්කය ගැන දැනගත් විට කියා දුන් පාඩමය. ඔහු රිෂිට අවවාද කළේ මුදල් පසු පස හඹා නොයන්නකු වන ලෙසය. එහෙත් රිෂි ඔහුට සමච්චලයෙන් සිනාසුණේය. දෛවයානුකූලව රිෂි ධනවත් බලවත් ව්‍යාපාරිකයෙකු විය. රිෂිට සිහි වුණේ මුදල ජීවිතය කර නොගන්නා ලෙසට පියා දුන් අවවාදයය. එහෙත් ඔහු මුදලේ බලය පෙන්වීමට පටන් ගත්තේය. ඉන් සමාජයට සිදු වන්නේ කෙබඳු බලපෑමක්ද ? මිලියනපතියකු ලෙස උපන් බිමට පැමිණෙන ඔහු පීඩිත ගොවි ජනතාවගේ වීරයා වන්නේ කෙසේද?

රිෂිගෙන් සමාජයට සිදුවන බලපෑම නම් සුවිශේෂීය.

මහර්ෂි ටීසරය ජනවාරි 1 වැනිදා මුදා හැරුණු අතර එය රසිකයන් වේගයෙන්ම නරඹන ලද ටීසරය ලෙස වාර්තා පොතට එක්වී තිබේ. නැරඹූ ජනකාය මිලියන 5 කට අධිකය. සිනමා පටයේ ට්‍රේලරය නිකුත් වී පැය 24 කදී මිලියන 8 කට වැඩි ජනකායක් මහර්ෂි ට්‍රේලරය නරඹා තිබේ. පැය 24කට පසුව ද අංක 1 ට වැඩිම පිරිසක් නරඹන සිනමා පටය බවට පත්වීමෙන් බහුබාලි 2 ජනප්‍රිය භාවයට සමාන ජනප්‍රිය බවක් මහර්ෂිට ද ඇති බව ඔප්පු කර තිබේ. රිෂි ගේ ලොවට පිවිසෙන්න යනුවෙන් මහේෂ් බාබු කළ ඉල්ලීම ප්‍රේක්ෂකයන් ඉහළින්ම පිළිගෙන වැඩිම පිරිසක් නැරඹූ තෙලිඟු සිනමා පටය බවට මහර්ෂි පත් කර අවසන්ය.

මහේෂ් බාබුට ක්‍රියාදාම වෘතාන්ත සිනමා පටයක් වන මහර්ෂි කීප අතකින්ම සුවිශේෂීය. මේ ඔහුගේ 25 වැනි සිනමා පටයයි. එනම් රංගනයේ රිදී ජුබිලියයි. ඉන්දියානු සිනමාවේ ආකර්ෂණීයම සම්මානනීය තරුවක වන මහේෂ්ට ටොලිවුඩයේ කුමරා, තෙලිඟු සිනමාවේ සුපිරි තරුව යනුවෙන් පටබැඳි නාමයන් ගණනාවකි. සැබෑ ජීවිතයේදී සිය වාර්ෂික ආදායමෙන් සියයට 30 ක් සමාජ සද්කාර්යට යොදන මහේෂ්, මහර්ෂි රිෂිගේ චරිතයට නෑකම් කියයි. සිනමා පටයේ අධ්‍යක්ෂ වම්සි පයිදිපල්ලි මේ නිර්මාණය මීට තෙවසරකට පෙර කිරීමට බලාපොරොත්තුවෙන් සිටිය ද මහේෂ්ගේ කාර්යබහුලකම නිසා බලා සිටීමට සිදුවිය. මෙවැනි අවස්ථාවක බොහෝ අධ්‍යක්ෂවරුන් කරන්නේ වෙනත් නළුවකු යොදා රූ ගත කිරීම් ඇරැඹීම වන නමුත් වම්සි තෙවසරක්ම ඉවසුවේ රිෂි චරිතයට මහේෂ් බාබුම යොදා ගැනීමට අවශ්‍යව තිබූ නිසයි. මහේෂ් අධ්‍යක්ෂවරයාගේ ඉවසීමේ ගුණයට ස්තුති වන්නේ කිසිදු අධ්‍යක්ෂවරයකු මෙසේ නොකරන බව පවසමිනි. ප්‍රථම වරට මහේෂ්ට සිනමා පටයේ අවසන් රූගත කිරීම් නිසා බිරිය නිළි නම්රතා ෂිරෝද්කාර්ගේ උපන් දිනය යෙදුණු ජනවාරි 22 වැනිදා නිවෙසට පැමිණීමට ද නොහැකි විය.

මහර්ෂි, 2016 වසරේ ඕපිරි සිනමා පටයට හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගත් වම්සිගේ පස්වැනි සිනමා අධ්‍යක්ෂණයයි. සිනමා පටයේ රිෂිගේ මිතුරා ලෙස රඟන්නේ තවත් දක්ෂ සම්මානනීය නළුවකු වන අල්ලාරි නරේෂ් ය. පූජා හෙජ් නිරූපණය කරන්නේ පූජාගේ චරිතයය. සිනමා නළු නිළි නාම ලේඛනයේ හොලිවුඩයේ තරු දෙකක ද නම් සඳහන්ය. ඒ තානෝස් නළු ජොශ් බ්‍රොලින්ගේ සහ ජේම්ස් බොන්ඩ් නළු ඩැනියල් ක්‍රේග්ගේය. සිනමා පටයට ගීත 6 ක් ඇතුළත්ය. මෙහි තනු නිර්මාණ සම්මානනීය සංගීත අධ්‍යක්ෂ, නළු දේවි ශ්‍රී ප්‍රසාද්ගේය. මැයි 9 වැනි දින සිට ඉන්දියානු රුපියල් කෝටි 100 ක් දරා නිපදවූ මහර්ෂි සිනමා පටය ඉහළම රසික ප්‍රතිචාර ලබමින් තිරගත වෙමින් පවතී.


ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2

බොලිවුඩයේ තවත් කලඑළි මංගල්‍යයක අසිරිය දැකීමේ වරම ප්‍රේක්ෂකයන්ට මැයි 10 දින උදා විය. දොරට වැඩි නවක තාරකාවන් වන්නේ අනන්යා පාණ්ඩේ සහ තාරා සුතාරියාය. අනන්යා ජනප්‍රිය නළුවකුවූ චන්කි පාණ්ඩේගේ දියණියයි. තාරා සුතාරියා ළමා වියේදීම ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර මේ ඇයගේ ප්‍රථම සිනමා රංගනය වෙයි. ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් සිනමා පටයේ එක් තරුණියකට සෙනෙහස දක්වන්නට පොර බඳින තරුණයන් දෙදෙනකු ගැන කියැවුණ ද දෙවැන්නේ කියැවෙන්නේ එක් තරුණයකුට පෙම් බඳින තරුණියන් දෙදෙනකු ගැනය. යොවුන් පරපුරේ දක්ෂ ජනප්‍රිය නළු ටයිගර් ෂෙරෝෆ් අනන්යාගේ සහ තාරාගේ ද්වන්ධ පෙම් සටනට මැදිවන තරුණයා ලෙස රංගනයෙහි යෙදෙන්නේය.

රොහාන් සේගාල් (ටයිගර් ෂෙරෝෆ්), ම්‍රිදුලා (තාරා සුතාරියා), ශ්‍රෙයා ඉගෙනුම ලබන්නේ සාන්ත තෙරේසා කොලීජියේය. ම්‍රිදුලා ධනවත් ව්‍යාපාරිකයකුගේ නොමඟ ගිය දියණියකි. ම්‍රිදුලා සාමාන්‍ය පවුලක නව යෞවනියක වූ අතර ඇය සිහින මවන්නේ නර්තනාචාර්යවරියක වීමටය. දෙදෙනාගේම සිත රොහාන් කෙරෙහි ඇදී යයි. රොහාන් පාසලට අලුත් සිසුවකු වන අතර නිහතමානී කැපවී වැඩ කරන නව යෞවනයෙකි. ඔහුගේ අභිලාෂය වන්නේ වසරේ සිසුවාගේ කුසලානය දිනා ගැනීමය. කුසලානය දිනා ගැනීමේදී රොහාන්ට මානව් මෙහ්රා (ආදිත්‍ය සීල්) දැවැන්ත අභියෝගයක් වෙයි.

2012 වසරේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් සිනමාවලියේ පළමු සිනමා පටයෙන් දොරට වැඩි ආලියා බාත්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ වරූන් ධවාන් මේ වන විට බොලිවුඩය ජය ගෙන අවසන්ය. නවතම නව යොවුන් සිනමා වෘත්තාන්තයේ ආලියා බාත්ගේ සොඳුරු නර්තනයක් ද හුක් අප් ගීයට අන්තර්ගතය.

ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2 පුනිත් මල්හෝත්‍රාගේ අධ්‍යක්ෂණයකි. ගීත 6 කින් සිනමා පටය රසවත් වී ඇත.


පෝක්මාන් ඩිටෙක්ටිව් පිකචු

දක්ෂ රහස් පරීක්ෂකයකුවූ හැරී ගුඩ්මෑන් අද්භූත ලෙස අතුරුදන් විය. ඔහුගේ විසි එක් හැවිරිදි පුතු ටිම් පියාට සිදු වූ දේ සෙවීම ඇරඹීය. ඔහු සහාය කර ගත්තේ හැරීගේ හිටපු පෝක්මාන් සහායක රහස් පරීක්ෂක පිකචුය. පිකචු සමඟ කතා කළ හැකි එකම පුද්ගලයා වූයේ ටිම්ය. ඩිටෙක්ටිව් (රහස් පරීක්ෂක) පිකචු ජපානයෙන් ඇරඹුණු ලොව පුරා අතිශයින් ජනප්‍රියවූ වීඩියෝ ක්‍රීඩාවකි. එහි ජනප්‍රියභාවය නිසාම පෝක්මාන් - ඩිටෙක්ටිව් පිකචු සිනමා පටය නිර්මාණය විය. විනෝදාත්මක, මායාකාර මේ සිනමා පටය මැයි 10 වැනි දින සිට අමෙරිකාවේ තිරගත වන අතර එය වැඩිම ආදායමක් ලබන සිනමා පටයක් වනු ඇති බව විචාරකයන්ගේ අදහසයි.

Comments