රංගන ශිල්පිනියක් වුණාට මෝස්තර පස්සේ ගියේ නෑ | Page 2 | සිළුමිණ

රංගන ශිල්පිනියක් වුණාට මෝස්තර පස්සේ ගියේ නෑ

වේදිකාව, පුංචිතිරය, රිදී තිරය යන කලා මාධ්‍ය ත්‍රිත්වයෙහිම දශක තුනකට වැඩි කාලයක් රංගනයෙන් දායක වන රංගන ශිල්පිනියක ලෙස මල්කාන්ති ජයසිංහ හඳුන්වා දිය හැකියි. දශක ගණනක් පුරාවට මෙරට රංගන කලාව තුළ සිය රංගන දක්ෂතාව මැනවින් නිරූපණය කරන ඇය ගෙදර දොරේ වැඩ හොඳින් දන්නා දක්ෂ ගෘහණියක්. ඒ වග සියැසින්ම දැක ගන්න ලැබුණේ පසුගියදා අප තලවතුගොඩ පිහිටි ඇයගේ නිවෙසට ගොඩ වැදුණු විටයි. ‘අපේ කැදැල්ලට ගොඩ වුණාට රසඳුනට ස්තූතියි. ඉතින් අපි මොනව හරි බොන ගමන්ම කතා කරමු නේද? අපව ළෙන්ගතුකමෙන් පිළිගත් ‍ප්‍රවීණ රංගන ශිල්පිනී මල්කාන්ති ගෙතුළට පියමනියි. මඳ වේලාවකින්ම ඇය පැමිණෙන්නේ ප්‍රණීත බීම වීදුරු දෙකක්ද රැගෙනය. බීම බන්දේසිය පසෙක තැබූ ඇය පුටුවකට බරදෙයි.

'එහෙනම් දරුවෝ අපි කතාකරමු?' එසේ පවසමින් කතාබහට මුල පුරන ඇය ළෙන්ගතු සිනහවකින් මදෙස බලයි.

'මොනවද මේ දවස්වල කරන්නේ'

'ගොඩක් දේවල් කරනවා. නිර්මාණ ගැන කියනවා නම් නිරාශා, හුස්ම වැටෙන මල්, අමුතු රසිකයා, ලලනා, හංස පිහාටු වගේ ටෙලි නිර්මාණවලට දායක වී සිටිනවා. චිත්‍රපට නම් මේ දිනවල කෙරුණේ නැහැ. චාලක රණසූරියගෙ 'මාරක ළිඳ', කුමුදු නිශාන්තගෙ 'කළුම කළු මහත්වරු', අකිල සපුමල්ගෙ 'සමාජවාදි මඟුල් කපුවා' වේදිකා නාට්‍යවල රඟපානවා.

සමාජවාදි මඟුල් කපුවා වේදිකා නාට්‍යයේ රිහසල් මේ දවස්වල සිදු වෙනවා. ඕව තමයි නිර්මාණ පැත්තෙන් කරන වැඩ'

ඔබ කලාවට පිවිසෙන්නේ වේදිකාවෙන්. 'මම කලාවට පිවසිලා දැන් අවුරුදු 36ක්. වේදිකා නාට්‍යයක් රසවිඳින්නේ කෙසේද යන්න මැයෙන් සෝමලතා සුබසිංහ මහත්මිය පවත්වන වැඩමුළුවක් ගැන පුවත්පතක දැන්වීමක් පළ වී තිබුණා.

මමත් එම වැඩමුළුවට සහභාගි වුණේ නාට්‍ය බලන්න කුඩා කාලයේ සිටම ආසාවක් දැක්වූ නිසයි. දිනක් එම වැඩමුළුවට පැමිණි ධර්මසේන පතිරාජ මහතා ඔහුගේ නාට්‍යයකට ළමයෙක් ඉල්ලුවා.

එහිදී එතුමා මාව තමයි තෝරා ගත්තේ ඔහුගේ අලුත්ම වේදිකා නාට්‍යයට. ඉන් පසුව සෝමලතා සුබසිංහ මහත්මියත් ඇයගේ වේදිකා නාට්‍යයකට මාව සම්බන්ධ කරගත්තා. මගේ සැමියා මුණ ගැසෙන්නෙත් ඔය වැඩමුළුවේදීමයි. අපිට ශරීර සුවතාව රැකගන්න උපදෙස් ලබාදුන්නේත් වේදිකා සැකසීම් සඳහා සහාය වූයේත් ඔහුයි.'

අතීතයේ රසබර සිදුවීම් සිහිපත් කරද්දි ඇගේ දෑස් කාන්තියෙන් දිදුළයි. ඇය නැවතත් අතීතයේ පැමිණි ගමන් මඟ පෙළගස්වමින් කියන්නේ ආසාවෙනි.

'ලාල් චන්ද්‍රසිරි (ඇගේ සැමියා) හඳුනාගෙන අවුරුදු පහකට පස්සෙ තමයි විවාහ වෙන්නෙ. දරුවො දෙන්න ඉපදෙන්න ඉන්න කාලෙදිත් මම රඟපෑවා. මහත්තයා කවදාවත් රඟපාන්න එපා කියල නැහැ. ඒකට හේතුව මම රඟපාන්න ගියා කියල ගෙදර දොරේ වැඩ සහ දරුවන්ගේ වැඩ අතපසු කරන්නෙ නැති බව ඔහු දන්නවා. පුතා හිරණ්‍ය චන්ද්‍රගුප්ත ඉපදී අවුරුදු දහයකට පස්සෙයි දුව අමන්දි නවෝද්‍යා ඉපදුණේ. අද ඔවුන් දකින විට මගේ මහන්සිය අපතේ ගියේ නැහැනේ කියා හිතෙනවා'

මල්කාන්ති කතාකරමින් සිටියදී ඇගේ දියණිය අමන්දි පැමිණ මව අසලින් හිඳ ගෙන අහිංසක ලෙස සිනා සෙයි. උසස් පෙළ සඳහා ඉගෙනුම ලබන ඇය සුන්දර රූ සපුවකින් යුතුය. හිරණ්‍ය පුතාද වෙළෙඳ ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙයි. කලකට පසුව අද සියලුදෙනාම නිවෙසේ සිටිති.

'දරුවො දෙන්න පුංචි කාලෙ රූගත කිරීම්වලට යනවිට දවස් තුනකට විතර කෑම උයල ‍ශීතකරණයේ දාල යන්නෙ. අපේ ගෙවල්වල වැඩට කට්ටිය හිටි‍යට අපේ අම්ම තාත්ත අපේ වැඩ තනියම කරන්න හුරු කළා. ඒ පුරුද්ද නිසා දෙයියනේ කියල පණහක් ආවත් උයල කන්න දෙන එක මහ දෙයක් නෙමෙයි. උයන්න විතරක් නෙමෙයි මහන්න, මල් වවන්න හොඳට පුළුවන්. මගේ ඇඳුම් මම මයි මහ ගන්නෙ. පසුගිය පෑවිල්ල දවස්වල ෂුටින් ඉවරවෙලා රෑ එකට, දෙකට ගෙදර ආවත් මල්වලට වතුර දාල තමයි නිදා ගන්නෙ. මට කියන්න තියෙන්නෙ වුවමනාව තියෙනව නම් අපිට කරන්න බැරි දෙයක් නෑ කියන එකයි'

අපේ කතාවට තවත් සාමාජිකයෙක් එකතු වෙයි. ඒ මල්කාන්තිගේ ආදරණීය සැමියා ලාල්ය. ඔහුටද මා සමග යමක් කීමට ඇති හැඩයි.

'මල්කාන්ති කියන්නෙ හොඳ කලාකාරිණියක් විතරක් නෙමෙයි; හොඳ බිරියක්, මවක්. ඇය හදන ඕනෑම කෑමක් බොහොම රසවත්. එය අත්ගුණයද කියල හිතෙනව. අපේ දුවට සහ පුතාටත් මල්කාන්තිගෙ ඉවුම් පිහුම් හුරුවෙලා ඒ දෙන්නත් රසට උයනවා. මල්කාන්තිද සැමියාගේ කතාවට රුකුල් දෙයි.

'මට මතකයි අපි විවාහ වූ දවසෙ ලාල්ගෙ ඥාතීන්ට මම උයල දුන්න මාළු ස්ටු එක රසවැටිල මගේ කෑම ගැන වර්ණනා කළා. දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න අමාරුයි. එහෙත් නිකම් ඉන්න පුරුද්ද මට නෑ.

සැබැවින්ම ඇය රංගන ශිල්පිනියක් වුවත් දක්ෂ ගෘහණියක් බව ඇගේ කතාබහෙන්ම තේරුම් ගත හැකියි.

මල්කාන්තිට මවගේ චරිතය විතරක් ලැබෙන්නෙ ඇයි?

'මම නිතරම අම්මලාගෙ දුක දකිනවා. ඔවුන්ගෙ සිතුවිලි මට තේරෙනවා. ඒ දුක මගේ චරිත මැනැවින් නිරූපණය කරන නිසා වෙන්න ඇති අම්මලාගේ චරිත වැඩිපුර ලැබෙන්නේ. මට ඕනෑ ජීවත්වෙලා ඉන්න කාලය සතුටෙන් ගෙවා දමන්න. මොන චරිතය ලැබුණත් එය මැනවින් නිරූපණය කරන්නෙ නැත්නම් එම චරිතයෙන් වැඩක් නෑ. මම හිතන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න හොඳයි කියන සෑම අධ්‍යක්ෂවරයකු යටතේම මට රඟපාන්න අවස්ථාව ලැබී තිබෙනවා'

ඇය එකදිගට කියාගෙන යන්නීය. ඔවුන්ගේ සුනඛ සුරතලා පැමිණ කකුල්වල වෙළෙමින් උගේ ආදරය ප්‍රකාශ කරයි. ඇය සුරතලාගේ හිස අතගාමින් ඌ සනසන්නීය.

'මම හැමදාමත් උඩුගංබලා යන්න හදන කාන්තාවක්. රංගන ශිල්පිනියක වුණා කියා කවදාවත් මෝස්තරවලට ගියේ නෑ. මෝස්තර කරන්න ගියොත් මට හම්බ කරන තුට්ටුදෙක නැතිවෙනවා. මම හිතනවා මට ඕනෑම ඇඳුමක් හැඩයි කියා. ගෙදරට රෙදි ගෙනත් මමම මහගන්නවා. ඒ වගේම තැනේ හැටියට අදින්නත් අපි දැනගන්න ඕනෑ. අපි හැම වෙලේම හිතන්න ඕනෑ තමුන් ජීවත් වෙන්නෙ තමුන්ට ඕනෑ විදිහට මිසක් රටේ ලෝකෙ මිනිසුන්ගෙ හිත් හදන්න නෙමෙයි කියලා'

අප කතාකරමින් සිටියදී අමිත් අලංකාර ඡායාරූප පෙළක්ම ගෙන අවසන්ය. මෙම කැදැල්ලේ කාලය ගෙවද්දි සිතට පුදුම සැහැල්ලුවක් ගෙන දෙයි. තව බොහෝ වෙලාවක් ඉන්නට සිතුණද පිටත්වීමට කාලය පැමිණ තිබේ.

'මම දරුවන්ට නිතරම කියන්නෙ පුළුවන් තරම් ඉගෙන ගන්න එවිට තමුන් කරන වෘත්තියෙ ඉහළටම යන්න පුළුවන්. මට දැන් ඕනෑ ඉක්මනින්ම සංසාර ගමන කෙළවර කරන්න. නමුත් මට ආදරය කරන රසිකයන් මම මොනවද කරන්නෙ කියල අවදියෙන් ඉන්නවා. ඔවුන්ව රිද්දන්න කැමැති නැති නිසයි ඔවුන් වෙනුවෙන් රංගනයේ යෙදෙන්නෙ'. 'වෙන සම්මානවලට වඩා ජනතාවගෙන් ලැබෙන සම්මානයට මම ලෝබයි' ඇය අපෙන් සමුගත්තේ අවසානයට එසේ කියමිනි.

මල්කාන්ති කොහොමද රසට මාළු ස්ටුව හදන්නෙ?

'තලපත් හෝ තෝරා මාළු අරගෙන ඒවා සෝදා කහ, ලුණු, ගම්මිරිස් කුඩු, විනාකිරි, හෝ ඇඹුල් වර්ගයක් දමා විනාඩි පහළොවක් පමණ සීසන් වෙන්න තියනවා. ඉන් පසුව බී ලූනු රවුමට කපා භාජනයකට දමනවා. ඉන් පසු රතු ලූනු, අමු මිරිස්, කරපිංචා, සේර, තළාගත් සුදුලූනු, භාජනයකට දමාගන්නවා. පොල්කිරි කෝප්පයක් ලෑස්ති කරගන්නවා. තෙල් ටිකක් ළිපේ තබා රත් වූ පසුව තළාගත් සුදුලූනු, ඉඟුරු දමා රන්වන් පාට වන තෙක් බැද ගන්නවා. එයට සීසන් වෙන්න තැබු මාළු පෙති හෝ කුට්ටි එකතු කරනවා. එය හෙමින් සීරුවේ දෙපැත්ත දමමින් තෙලෙන් බැදගෙන එයට රතු ලූනු, සේර, රම්පෙ‍, ගම්මිරිස්, කහකුඩු, ප්‍රමාණවත් ලෙස දමා බැද ගන්නවා. එය රන්වන් පාට වු පසු වතුර මේස හැඳි දෙකක් පමණ දමා දෙපැත්ත දමා මඳ වේලාවක් තබනවා. පසුව එයට ‍කලින් සාදාගත් පොල්කිරි ටික දමා උකුවෙනතුරු පිස ගෙන එයට රවුමට කපාගත් බී ලූනු එකතු කරනවා. මෙය බත් පමණක් නෙවෙයි පාන් සහ ඉදි ආප්ප සඳහාත් කදිමයි'

 

 
 
 

Comments