පිය උරු­ම­යෙන් ලද කවි­ත්ව­යෙන් රටම ජය­ ගත් කිවි­ඳිය ශිරාණි ලේකම්ගේ | සිළුමිණ

පිය උරු­ම­යෙන් ලද කවි­ත්ව­යෙන් රටම ජය­ ගත් කිවි­ඳිය ශිරාණි ලේකම්ගේ

කවිය හා අපේ ජීවිතය අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. හිටිවන කවිය ඒ අතර සුවිශේෂ වෙයි. ඇතැමකුට මෙය පරම්පරාවෙන් උරුම වු දායාදයක් වුවත් ඒ අපූරු හැකියාව පිහිටන්නේ ඉතා අතළොස්සකට පමණයි. අපේ කවිත්වය ඉදිරියට ගෙනයන එවන් වූ සුවිශේෂ හැකියාවක් ඇති තවත් එක් කිවිඳියක පසුගියදා රසඳුනට ගොඩවුණා. ඇය ශිරාණි ලේකම්ගේ. 2018 වසරේ ලංකාවේ දක්ෂතම කිවිඳිය බවට පත් වන්නට වාසනාවන්ත සහ දක්ෂ වූයේ ඇයයි. ඇය පිළිබඳවත් ඇය ලද ජයග්‍රණ පිළිබඳවත් ‘රසඳුන‘ මේ සටහන ගෙන එන්නේ ඇගේ දක්ෂතාවට ගෞරවයක් ලෙසිනි.

“මම පරකඩුවේ ශිරාණි ලේකම්ගේ. මගේ ගම රත්නපුර. ඒත් මම ඉපදිලා තියෙන්නේ කොළඹ. මගේ පියාගේ ගම රත්නපුර. ඔහුගෙන් තමයි මට මේ උරුමය ලැබුණේ. ආරියදාස ලේකම්ගේ කීවම කවුරුත් දන්නවා. ඔහු දක්ෂ හිටිවන කවියෙක්. ගණකාධිකාරවරයෙකු විදිහට තමයි වැඩ කළේ.

මට සහෝදරියන් දෙදෙනකු හා සහෝදරයන් දෙදෙනකු හිටියත් කවිත්වය ජන්මයෙන්ම පිහිටියේ මට විතරයි.අවුරුදු නවයේ සිට මම කවි කියනවා. මට මතකයි ඉස්සර තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවම පාසල් අඩුපාඩු ගැන මම තාත්තට කියන්නේ කවියෙන්. එවිට තාත්තා ඒවට මට උත්තර දෙන්නේ කවියෙන්.

ඉතින් පාසල් බෑග් සපත්තු මට ඕනි දේවල් ඉල්ලන්නේ කවියෙන්. ගොඩක් වෙලාවට රත්නපුරේ තිබුණු හිටිවන කවි මඩුවලට මිනිස්සු ගොඩක් ආසයි. මොකද තාත්තයි මමයි එකට වේදිකාවට නගිනවා. අපි දෙන්නා එකම වේදිකාවේ කවි කියනකොට හොඳ ෆයිට් එකක් බලන්න පුළුවන් කියලයි මිනිස්සු කිවේ. මම විවාහ වෙන දවසේ දේපළ වලට අමතරව මට තව මිල කළ නොහැකි වටිනා දෑවැද්දක් දුන්නා.

ඒ තමයි කවිය. එයා කීවේ මගේ දුවට සල්ලි හොයන්න පුළුවන්. ගහෙන් ගෙඩියක් කඩාගන්න පුළුවන්. ඒත් පුතේ මේ හැම දේටම වඩා වටිනා දෑවැද්දක් මම දෙනවා. ඒ තමයි කවිය. ඒක ඉදිරියට ගෙනියන්න දුවට උදව් කරන්න. එයා වේදිකාවට නගිද්දි තනි කරන්න එපා කියලයි. ඇත්තටම එදා ඉඳලා අද වෙනකල් මගේ සැමියා මගේ වැඩවලට ශක්තියක් වුණා.”

වෘත්තියෙන් දේශීය ආර්යුවේද වෙද්‍යවරියක්වු ඇගේ කවිත්වය නිසා පසුගිය වසරේ දිවයිනේ දක්ෂතම කිවිඳිය ලෙස කිරුළු දැරීමට ඇයට හැකියාව ලැබුණා. ඒ විතරක් නොව ලෝක කවි දිනය වෙනුවෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය 2018 මාර්තු මාසයේ කණ්ඩාම් වශයෙන් පැවැත්වූ සමස්ත ලංකා හිටිවන කවි හොඳම කණ්ඩායම ලෙස ඇය නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම දිවයිනේ පළමු ස්ථානය හිමි කර ගැනිමටද සමත් වුණා.

පියාගෙන් උරුම වූ කවිය නූතන පරම්පරාවටද තීළිණ කරන්නට ඇය අමතක කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඇය කෑගල්ල දිස්ත්‍රික්කයේ කවියට දක්ෂතා දක්වන තරුණයින් පිරිසක් තෝරාගෙන කවිය පිළිබඳ ඔහුනට ගුරුහරුකම් ලබා දෙමින් සිටියි.

එසේම ඇගේ කාව්‍ය හැකියාව දැක කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳ කුඩා කල සිටම ගුරුහරුකම් ලබා දුන් පන්සලේ ස්වාමින් වහන්සේ සිහිපත් කරන්නට ඇය අමතක කළේ නෑ. තම අභිප්‍රාය ලෙස ඇය අප හා පැවසුවේ ඇයට උරුම වූ කවීත්වය මතු පරපුර වෙතද තිළිණ කරමින් තමා සතු කාව්‍ය ශිල්පය ඔවුනට ලබා දීම සිය එකම බලාපොරොත්තුව බවයි. 

Comments