නිවේ­ද­න­යට යෞවන සම්මාන දිනූ විශ්ව | Page 2 | සිළුමිණ

නිවේ­ද­න­යට යෞවන සම්මාන දිනූ විශ්ව

කුරුණෑගල, අනුරාධපුර හා පුත්තලම යන දිස්ත්‍රික්ක තුනෙහිම මායිම් ගම්මානයක් වන වරාවැව ගම්මානයේ ඉපදුණු ඔහු නමින් විශ්ව ජයම්පති බන්ඩාර නම් වේ. දුෂ්කරතාවන්ගෙන් පිරුණු වරාවැව ගම්මානයේ වරාවැව පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ විශ්ව, උසස් පෙළ කලා අංශයෙන් හැදෑරීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළ සමත්ව කැලණි විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විද්‍යායතන විද්‍යා උපාධිය ලැබූ ඔහු අද ගුරුවරයකු ලෙසින් සේවය කරන්නේය.

අධ්‍යාපනයට අමතරව කලා අංශයට ළැදිව කටයුතු කළ විශ්ව දෙදහස් අට වසරේදී හොඳම නිවේදකයා ලෙස යෞවන සම්මානය දිනා ගන්නට තරම් දක්ෂ විය. පාසල් වියේ සිටම ලේඛන කලාවට ඇල්ම දැක්වූ ඔහු මුලින්ම මල්පියලි සඟරාවට යුද්ධය ගැන ඔහුගේ අත්දැකීම් ගීත ඇසුරෙන් විවිධ නිර්මාණ කළේය. රජරට සේවයේ නන්දන හේරත් මහතාගේ අනු දැනුම යටතේ නිවේදන කටයුතු වලටද සහභාගී වු ඔහු පසුව ස්වාධීන රූපවාහිනියේ ඉන්ද්‍රසිරි සුරවීරයන් යටතේ ‘දිව ඔසු‘ වැඩ සටහන් නිවේදන කටයුතු වලට දායක විය. වී එෆ් එම් හා ශ්‍රද්ධා ගුවන්විදුලි නිවේදකයකු හා නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු වර්තමානයේ නිදහස් මාධ්‍ය වේදියකු ලෙස කටයුතු කරයි.

‘‘මගේ කලා දිවියට අතහිත දුන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතරින් විශේෂයෙන් පාතේගම ඤාණිස්සර සහ ඉඳුරාගාරේ ධම්මරතන හාමුරුවරු දෙනම, අජිත් රූපසිංහ, කීර්ති ධර්මසිරි මහත්වරු ගෞරවයෙන් සිහිපත් කරනවා. නිර්මාණකරණයේදී මගේ අරමුණ වන්නේ සුභාවිත ගීත නිර්මාණය කිරීමයි. අද බොහෝවිට අපට අසන්නට, දකින්නට ලැබෙන්නේ හරසුන් නිර්මාණයි.‘‘

ඔහු රචනා කළ ගීත අතර අලුත් අවුරුදු කාලයේ අපට ඇසුණු ‘අලුත් අවුරුද්ද‘ නම් ගීතය හා ශ්‍රද්ධා ළමා වැඩසටහනේ තේමා ගීතය වන ‘මං හොඳ ළමයෙක්‘ ගීතය ප්‍රමුඛ වේ. මේ වනවිට මහනුවර පදිංචිව සිටින විශ්ව, නව නිර්මාණ කිහිපයක් ඉදිරියේ ගීත ක්ෂේත්‍රයට තිළිණ කරන්නට බලාපොරොත්තුවෙන් සිටී.

Comments