දෙවි­යනි ඔබ මැවු ලොව පුදු­මයි! | සිළුමිණ

දෙවි­යනි ඔබ මැවු ලොව පුදු­මයි!

බක් මාසෙ 21 වැනි දා, පාස්කු ඉරිදා දෙවියන් සිහි වුණු දහස් ගණනකගෙ මුහුණු ඉන්ද්‍රචාප සමීපරූපෙන් දැක්කෙ. ඒ හැම මුහුණකම තිබුණෙ දුක කඳුළ ජීවිතේ ගැන බිඳ වැටුණු බලාපොරොත්තු. දෙවියන්ගෙ සමීපරූප කිව්වම කොච්චර කෝටියක් දෙවියොද කියලත් ඉන්ද්‍රචාපට කල්පනා වෙනවා. තිස්තුන් කෝටියක්ම දෙවියො ඉන්නව කියල කට්ටියක් විශ්වාස කරන කොට අනෙක්් අයත් නොපෙනෙන දෙවියො ගැන විශ්වාස කරන බව ඉන්ද්‍රචාප දන්නව.

පාස්කු ඉරිදා කොටහේනෙ මහ පල්ලියෙදි, මීගමුව කටුවපිටියෙ දේවස්ථානෙදි, මඩකලපුවෙ දේව මෙහෙයෙදි දෙවියන් ඉදිරියෙදිම ජීවිත පූජා කරපු හැමෝම දෙවියො ගැන විශ්වාස කරන, භක්තිමත් අහිංසක ගැහැනු මිනිස්සු, දරුවො. ඒ වගේම තමයි ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතර දකින හෝටල්වල දී ජීවිත පූජා කළ අයත්. ශ්‍රැංගිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංස්බරි හෝටල්වල වගේම දෙහිවල හෝටලේකදිත් මරුවට බිලි වුණ හැමෝම දෙවියො අදහන අය ද නැද්ද කියල ඉන්ද්‍රචාප හරියටම දන්නෙ නෑ.

ඒත් දැන් මොකටද ඒව ගැන හොයල බලල? 21 වැනිදා පල්ලිවලදි තරු පන්තියෙ හෝටල්වලදි සිය ගණනකගෙ ජීවිත අමු අමුවෙන් බිල්ලට ගත්ත කට්ටියත් ඒව කරල තියෙන්නෙ දෙවියන්ගෙ වුවමනාවට කියන කතාව ඉන්ද්‍රචාප බැහැර කරන්නෙ පිළිකුලෙන්. ඉන්ද්‍රචාපට නම් ඉතාම කෙටියෙන් කිසිම දෙවියෙක් නෑ. එහෙම දෙවියෙක් ඉන්නව නම් මෙහෙම ජීවිත විනාස සිද්ධවෙන්නෙ කොහොමද? විමලරත්න කුමාරගම කවියා අය්යනායක කියන කවි පන්තියෙ කිව්ව වගේ ඉන්ද්‍රචාපට දෙවියො ගැන විස්වාසයක් නොතිබුණාට දෙවියො විස්වාස කරන කිසිම කෙනකුගෙ භක්තියට, ගෞරවයට හිනාවෙන්නවත්, ගරහන්නවත් කැමැති නෑ.

 'මා නොකෙරුවත් නොකළෙමි එය ගැරහීම' ඉන්ද්‍රචාපත් විස්වාස කරනවා. ඒ මොනව වුණත්, උදේ හවා පල්ලි යන, සිකුරාදට මොන සක්‍රය කිව්වත් කඩ සාප්පු වහල ඔක්කොම වැඩ නවත්තල පල්ලියෙ යාඥාවට යන , පුළු පුළුවන් ඈයො අවුරුද්දකට වතාවක් මක්කමට ගිහිං දෙවියන් දැකල එන්න පුරුදු වෙච්ච ජාතියක් මොන හිතකින් පාස්කු ඉරිදා යාච්ඤාවට එකතු වෙච්ච අහිංසකයන් ස්වර්ගයට, දේව මෑණියන්ගෙ තුරුළට යැව්වෙ කොහොමද කියල ඉන්ද්‍රචාපට අදහගන්න බෑ තාමත්. තිස්තුන් කෝටියක් නෙවි එක දාහක දෙදාහක දේව හමුදාවක්වත් හිටිය නම් එදා 21 දා නැති වෙච්ච ජීවිත සිය ගණන අගේට බේර ගන්න තිබුණ නේද කියල ඉන්ද්‍රචාප අදත් කල්පනා කරනව. ‘දෙවියනි ඔබ කොහිද?‘ කියල ඉන්ද්‍රචාප අහන එකේ අසාධාරණකමක් තියෙනවද කියල නිකමට හිතල බලන්න.

අවුරුදු ගානකට ඉස්සර බක් මාසෙකම, ඊට පස්සෙ ආපහු කළු ජූලි මාසෙක, ඊටත් අවුරුදු ගාණකට පස්සෙ අපේ රටේ කතෝලිකයන්ට නත්තලක් නැති කළ, සමස්ත ශ්‍රී ලංකාවම අඳුරු, දුක්බර මාසයක් කළ සුනාමි දෙසැම්බරයකට පස්සෙ ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට ආ මේ අවාසනාවන්ත කුරිරු කළු පාස්කු ඉරිදාව උදා කළ ‘සිත්පිත් නැති මිනීමරුවන්ට ශාප වේවා‘ කියනව හැරෙන්න වෙන මොනව කියන්නද? ජීවිත නැති වුණෙ සිය ගණනකගෙ වුණත්, යාන්තම් ඔළුව උස්සගෙන ආපු අපේ රටට මේ දේශද්‍රෝහී අන්තවාදී මිනීමරුවො කළ විනාශය අවුරුදු ගණනාවකින් අපේ මේ පුංචි දූපතට ඔළුව උස්සන්න බැරි විදියෙ විනාසයක් විදියට ඉන්ද්‍රචාප සමීපරූප අතරින් දකින්නෙ.

21 ඉරිදා ඉඳල අද 12 ඉරිද වෙන කොට ඉරිදා 3 ක් ම ගෙවිල ගිහිං. 6 වැනි සඳුදා ඉඳලා ඉස්කෝලෙ එන්න කිව්වත් සතියෙ මුල් දවස්වල වෙනද ඉන්ද්‍රචාප දකින ඉස්කෝල දරුවන්ගෙ මූණු දැක්කෙ නෑ. අම්මල තාත්තලගෙ, වැඩිහිටියන්ගෙ බය සාංකාව තාම පහවෙලා ගිහිං නෑ. දවසෙ කුලියක් මලියක් හොයාගෙන ජීවත් වෙච්ච දහස් ගණනාවකගෙ බඩේ පාර වැදිල කියනව තමයි ඉන්ද්‍රචාපට ඇහෙන්නෙ. ත්‍රීවීල් මල්ලිලා කියන්නෙ බිස්නස් අන්තිමයි සර්, දවස්ටම හයර් දෙකයි, තුනයි, ඒවත් පණහෙ හැටේ කෑලි. ලොකු බිස්නස් කරන ඉන්ද්‍රචාපගෙ මිත්‍රයො කියන කතාවත් ඊටම දෙවැනි නෑ. වෙනද ලැබුණු ආදායමින් සීයට දහයක්වත් ලැබෙන්නෙ නෑ, හිතාගන්න බෑ කොහොමද මගේ ළඟ වැඩ කරන අයට මාසෙ අන්තිමේ පඩි ගෙවන්නෙ කියලා..? ජන ජීවිතේම අඩාළ වෙච්ච ස්වභාවයක් ඉන්ද්‍රචාප දකින්නෙ.

කලාව සාහිත්‍යය වගේ ක්ෂේත්‍රවලට සම්බන්ධ ඉන්ද්‍රචාපගෙ මිත්‍ර සමාගමයටත් මේ දවස්වල කිසිම නිර්මාණ කටයුත්තකට හිත දෙන්නෙ නෑ කියල මැසිවිලි නගනව මුහුණු පොත පෝස්ටුවල තියෙනව ඉන්ද්‍රචාප සමීපරූප අතරින් දැක්කා. මොන නිර්මාණ වැඩක් ගැන හිතන්න ද මේ වගේ අවිනිශ්චිත වෙලාවක? අලුත් නිර්මාණ කරන්න හිතක් එන්නෙ නෑ වගේමයි කළ නිර්මාණ එක්ක රසික ප්‍රේක්ෂකයන් අතරට යන්න පුරුදු වෙලා හිටපු, ඉන්ද්‍රචාපගෙ ගායක, ගායිකා, වේදිකා නළු නිළි මිත්‍ර සමාගම් මූණ දීල තියෙන අවාසනාවන්ත තත්ත්වය.

පොතක පතක දොරට වැඩුමක්, වේදිකා නාට්‍යයක් රඟ දැක්වීමක්, අලුත් ටෙලියක, චිත්‍රපටයක මුහුරත් උලෙළක්, කලා කටයුත්තක කතා බහක් ගැන අහන්න ලැබෙන්නෙත් නෑ, ඇහුණත් ඒ වගේ තැනකට යන්න තරම් හිත හදා ගන්න බැරි තත්ත්වයක් ඉන්ද්‍රචාපට විතරක් නෙවි අපි හැමෝටම තියෙනව කියලයි ඉන්ද්‍රචාප හිතන්නෙ. මේ හෝන්දු මාන්දු අඳුරු දවස් ඉවරවෙන්නෙ කවදද කියල දෙවියන්ගෙන් නම් අහල වැඩක් නෑ. ඒවට උත්තර දෙන්න ඕන අයගෙන් අහලත් වැඩක් තියෙනවද කියල ඉන්ද්‍රචාප කල්පනා කරනව. දෙවියන්ගෙම කතාවකින් සමීපරූප සටහන ඉවරකරන්න හිතුණා. ‘දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි - පහන ළඟයි ආලෝකෙ දුරයි...’ 

අදහස්