හැදෙන්ඩ - වදින්ඩ ගමේ උපහැරණ | සිළුමිණ

හැදෙන්ඩ - වදින්ඩ ගමේ උපහැරණ

සෑම කෙනෙකුටම ජීවිත කාලයේදී හරි වැරදි, හොඳ නරක, දුක සැප, නින්දා, ප්‍රශංසා වැනි අටලෝ දහම් ක්‍රියාවලියට මුහුණ දීමට සිදු වෙයි. මේවා හඳුනා දැන කියා ගැනීමටත්, නොසැලී සිටීමටත්, සුදුසු වූ චර්යාවන් තෝරාගෙන බැහැර කළ යුතු දේ බැහැර කිරීමටත් හැකි වන ක්‍රමවේදයක් ගමේ පැවතුණි. එය ව්‍යවහාරයේදී “උපහැරණ කථා” ලෙසින් නම් කෙරුණි. මේවා විවිධ හේතුකොටගෙන බිහි වී ඇත. ස්ථාන, පුද්ගල, ක්‍රියා ඇසුරින් කොටසකි. පොදුවේ සත්ව හැසිරීම් සමඟ තව කොටසකි. ගමේ ඇත්තන්ට සම්පතක් වූ ගවයන් හා බැඳුණ කතා, වැව, මාළුන් හා ගෙතුන කතා, කුරුලු කොබෙයියන් ගැන කතා, ගමේ ඇත්තන්ගේ දිවිපෙවෙතට සම්බන්ධ කතා සහ උපහැරණ පිණිස ම ගොතා ගත් කතා ද ඒ අතර වෙති.

මේ උපහැරණ වලට ගම්වල ඇත්තන් කීවේ මනුෂ්‍යයන්ට “හැදෙන්ඩ, වදින්ඩ” කරන කතා කියලා ය. ඍජු ලෙස උපදෙස් දෙන්ට නොහැකි අවස්ථා වැදෙන්ට, දැනෙන්ට කීව කතා ගමේදී “ඇනුම් කෙටුම්” වශයෙන් ද නම් කෙරුණි.

අද මෙන් නොව එදා කෙනෙක්ගෙන් ඇනුම් කෙටුම් වචනයක් ඇහ‍ුණොත් ඒක මුහත් වූ පිහි පහරකටත් එහා ක්‍රියාවක් ලෙස සැලකීය.

ඊට ලක් වූ කෙනා ජීවිත කාලයට ම ඒ වැරැද්ද, ක්‍රියාව, නැවත නොකරන්ට තරම් නිහතමානී ව, විනය ගරුක වී නිදොස් වූහ. අද නම් ඒ ඇනුම් කෙටුම ම මුල්කරගෙන හානිපත් සිදු කර ගන්නේ “ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාක්” මෙන් ය.

අද රටේ තොටේ, සමාජයේ සිදුවන දේත් ආණ්ඩු කරන ඇත්තන්ගේ ක්‍රියා කලාප දකින කොටත්, ඇහෙන කොට අපේ ගම්වල උප්පැත්ති වුණ උපහැරණ කොතරම් අගනේදැයි පෙනෙයි. ඒවා අදටත් ඔට්ටු ය.

“හත් අවුරුද්දක් දීග කාපු මිනිහගේ කන ඇහැ ගෑනී දැක්කෙ මැරුණටත් පස්සේලු” ‍ෙම් කතාව අදට හොඳටෝම ගැළපෙයි. අපේ ගම් සකි දැනමුත්තකු මේ ටික කීවේ අපූරු සිද්ධියක් මුල් කර ගෙන ය.

ගමක රුව ලක්ෂණයක් නැති, වටිනා කමකුත් නැති ගෑනු කෙනෙකු ගැන අනුකම්පා කරපු ඇත්තෙක් ඒ උන්දෑ අඹුකමට ගත්තේය. ගෑනු ඇත්තී අර මනුෂ්‍යාගෙන් ලාබ ප්‍රයෝජන ලබන කාලේ දෙවියකුට වගේ සැලකුවේය; වර්ණනා කළේය.

මනුස්සයා අන්තරා වුණ ගමන් මිනිහාගේ ඇහැක් නොපෙනෙන බවත්, ඒක නිසා දහසක් හිරිහැර තමා වින්ද බවත් කියා යම්තම් පැදුර කඩමල්ලක දවටා මිනිය ගෙයින් පිට කරගත්තා ය.

මේ කතාව දැනමුත්තා හිතේ තියාන ලාබ ප්‍රයෝජන ගන්න ‍කොට වැඩ ගමන් කරන කොට අගේ කරලා ඒවා නැති වූ ගමන් නව නිග්ගිරා, අවලාද කියන කොයිකාටත් “හත් අවුරුද්දක් දීග කාපු මිනිහගේ කන ඇහැ දැක්කාවාගේ නේදැයි” ඔය චෝදනා නඟන අයට කියා දුන්න‍ේ ය.

බලය, ධනය, පිරිවර වැඩි කර ගන්ඩ එකතු වන ඇත්තෝ වෙන්වූ ගමන් හොරමැර දූෂණ වංචා, සියල්ල ගැන ඔවුනොවුන්ට ඇඟිලි දික්කර ගැනීමත් හරියට මේ වගේමය. අපේ ගම්වල ඇත්තන් පවුල් ජීවිතයේ දුක් ගැහැට අවුල් ඇති වූ විට ද ඒ ගැන මෙසේ කියා දුන්නේය.

 

“එක්වුණ දාට උක්දණ්ඩෙ පැණි සේමා

වෙන්වුණ දාට යක් දණ්ඩෙ වද සේමා

ගොසින් ගොසින් කටු අත්තේ අග සේමා

ඉතින් ළඳේ කරවිල තිබ්බටු සේමා”

 

මිනිස්කම ගැන උපහැරණයක් එසේ දක්වද්දී සත්ව උපහැරණ විශාල සංඛ්‍යාවක් ද ගැමි සාහිත්‍යයේ පවතී. නුවර කලාවියට සින්න වෙච්ච ඒවාත් බොහෝ ය.

පිළිවෙළක්, සාර සොබාවයක් නැති කරන වැඩපළක් දුටුවාමත්, පිරිසක්, කණ්ඩායමක් එක්වී එක අයකුටවත් වැඩක්, ගමක්, රටක් පාලනය කරගන්ඩ ඉඩ නොදී පාලකයන් හැමෝම අත ගහ කරන්ට ගියාමත් ඇති වන්නේ අලාභයකි; හානියකි; අවුලකි.

එබදු අවස්ථාවක අපේ ඇත්තෝ බල්ලන් ගේ චර්යා නිද සුන්කොට උපහැරණ රාශියක් ම පවසති. ඒ අතර “තෙල්රෙද්ද බල්ලෝ කෑවා වගේ” කියන උපහැරණය ඉහළ අගයක් ගනී. අපේ ගෙවල්වල කිරි දීකිරි ගිතෙල්, තලතෙල් භාවිත කරයි.

ඒවා පිස දමන්නේ පිරිසිදු පිරුවට (රෙදි) කැබැල්ලකින්ය. මේ රෙද්ද ඉතා සුවඳ ය. බල්ලකුට අසු වූ විට රැගෙන පළා යයි. එය ඔහුට කෑමට නොදී අහල පහල සිටින හැම බල්ලකුම දුව විත් රෙද්ද සපයි. වැඩිපුර තෙල් ගෑවුණ තැන් කෑමට පොර කයි. ඒ රෙද්ද අයේ කිසිම දෙයකට ප්‍රයෝජනයක් නැති හිල් ගොඩක් වෙයි. අනෙක තෙල් රෙද්ද උදුරා ගන්ට පොර කෑමෙන් කෑලි කෑලිවලට කැබිලි වී ඉරී විනාශ වෙයි.

අදත් අපේ පවතින බොහෝ දේ බෙදා ගැනීමේ, තරගයෙන් අහිමි වී බල්ලන්ට අසු ව තෙල් රෙදි බවට පත්ව අහිමි වෙයි.

“ලූලා නැති වළට කණයා පණ්ඩිතයා” අපේ වැව් අමුණු වල සිටින (මිරිදිය) මාළු අතරින් ලූලා වටිනාම මාළුවෙකි. ලූල් බිත්තර සේම ලූල් මාළු බඩ දරු අම්මලාට සේම, දරුවන්ට කිරිදෙන අම්මලාට කිරි වැඩිකර ගැනීමට නිර්දේශිත ය. ලීලීගේ බිත්තර සේම පැටව් පොල රැක ගැනීම ඇය කරයි.

කන්හරි (සමවයස්) ලූලන් ද ඊට උපකාරි වෙති. අනතුර දුටු සැනෙන් පැටව් රැගෙන පලා යාම හෝ මූඛ යට ගෙන රැක ගැනීම ද කරයි. ඒ සමඟම අනෙකුත් ලොකු කුඩා සියලු මාළුන්ට තමුන් ගැවසෙන ඉසව්වේ නායකත්වය දෙන්නේ ද ලූලා ය.

මේ නිසාම කට බහේදී ලූලා පණ්ඩිත ඇත්තෙකි. ඌ පිරිසිදු වතුරේ හැසිරෙයි. අනතුරදී විදුලියක් සේ පළා යයි. කනයා මඩේ පතුලේ සිටීමට කැමතිම තැනියෙකි.

දියර රසැති මඩකණයි අහරට ද ප්‍රිය නැත. ලූලා සේම වටිනාකම් නැත්තෙකි. නායකත්වය ලූලා නැති වළක කණයා ලබා ගනී. ඇති පණ්ඩිතකමක් ද නැත. අපේ බොහෝ ආයතන, දේශපාලන පක්ෂවල ද අද ලූලන් නොව මඩ කනයින් රජවී පණ්ඩිතකම් පෙන්නමින් ජනප්‍රිය බවින් ඈත්ව සිටියි. පුරාණයේ උපහැරණ කිව් මුත්තලා තවත් සතුන්ගේ හා මිනිසුන්ගේ හැසිරීම් ද ගොනු කරත් ජන කවියකින් ම මේ කතාව ද එළිදරව් කර තිබේ.

 

“හිමියා නැති ගෙදර හොර හිමි රති මත යා

බළලා නැති ගෙදර මීයා ගිනි කෙළි යා

දිවියා නැති වනේ ගවයා හිතුමත යා

ලූලා නැති වළේ කනයා පණ්ඩිත යා”

 

තවත් බොහෝ උපහැරණ ඇති නමුත්, මනුෂ්‍යා හැදීමට මෙන් ම වැදීමට ඒවා යොමු වී ඇති සැටි දැනගැනීමට ඉහත කරුණු ටික වුවද ප්‍රමාණවත් යැයි සිතමි.

 

අදහස්